මත්වූ විට…

  18 නොවැම්බර් 2015

අරක්කු හෝ වේවා වෙනත් මත්වන දැයක් නිසාවෙන් මත්වූ විට කෙනෙකුගේ හැසිරීම කුමක්ද? 

අතපය කය තමන්ගේ පාලනයෙන් තොරයි නේද?  ඔහේ කියවනවා… වචනයට පාලනයක් නෑ… මත්වූ විට පියවි සිහිය නැතිවයි කටයුතු කරන්නේ.  උන්හිටි තැන් මතක නෑ… තමන් කව්දැයි සිහියක් නෑ… එහෙම නේද? 

දැන් නුවණින් හිතන්න… හොඳින් හිතන්න… ඔබට යමකට දැඩි ආශාවක් ඇතිවූ විටත් ඔබගේ හැසිරීම මේ හා සමානයි නේද? 

උදාහරණයකට කෑමකට දැඩි ආශාවක් ඇතිවූ විට… එය කෑමට ගන්නකම් සිහියක් නෑ නේද?  ඒ කෑම ලබාගන්නට කරන්නට හැකි සෑම දෙයක්ම කරනවා… ඒ ගැන කතා කරනවා… එය නොලැබුන විට තරහාවකින් ද්වේශයකින් කටයුතු කරනවා…

කය තමන්ගේ පාලනයේ නෑ… වචනයට පාලනයක් නෑ… පියවි සිහියෙන් තොරව තමයි කටයුතු කරන්නේ.

ද්වේශයක් ගැටීමක් තරහක් සිතේ හටගත් විට හැසිරීම කොහොමද?  ඒ අවස්ථාවේදීත් කය තමන්ගේ පාලනයේ නෑ… වචනයට පාලනයක් නෑ… පියවි සිහියෙන් තොරව තමයි කටයුතු කරන්නේ එහෙම නේද?  මමත්වයෙන් යුතුව කටයුතු සිද්ධ වෙන මොහොතක් පාසා ඔබ නොදන්නා නොදකින ඔබේ යථාර්ථයත් ඒ වගේම තමයි. 

එහෙනම් සෑම මොහොතකම ඔබ තුල මත් බවක්… පියවි සිහියෙන් තොර බවක්… ඔබ තුල ඇති බව… දැන් වත් අනුමාන වශයෙන්වත් වැටහෙනවද?

මේ මත්බව නිසාම පාලනයක් නැති කය, වචනය, සිත නිසා තමයි දස අකුසල් සිද්ධ වෙන්නේ.  ජීවිත හානි කිරීම, සොරකම, කාමයේ හැසිරීම, බොරුව, කේළම, සිත් රිදවන වචන, හිස් වචන, ලෝභය, ද්වේශය සහ මේ කිසිවක් පිළිබඳව නොදන්නා… පියවි සිහියෙන් තොර අනුවණ බව කියන දෑ ඔබ තුල හටගන්නේ මේ මත්බව නිසාමයි.