රෝග නිදානය

  18 නොවැම්බර් 2015

මෙතෙක් වෙලාවක් කතා බහ කලාවූ දෑ තුලින් පෙන්වා දෙන්නට උත්සාහ කලේ ඔබ තවමත් ඔබගේ සැබෑම රෝග නිදානය දැක නැති බවයි. 

උදාහරණයකින් කියනවා නම්; රෝග නිදානය හඳුනා නොගෙන කොතරම් පිළියම් කලත් එය බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරනවා වගේ තමයි. 

බටහිර වෛද්‍ය ක්‍රමය පහත් කරනවා යැයි සිතන්න එපා... එහෙත් ලෞකික මට්ටමෙන් හෝ විමර්ශණයක් කරලා බැලුවොත් ඔබට වැටහේවි ඒ තුලත් පිළියම් කරන්නේ රෝග නිදානයට නොව මතුපිට රෝගී තත්වයටම පමණක් බව.  කෑල්ලක් කපා ඉවත් කොට හෝ,  අලුතෙන් කෑල්ලක් එකතු කොට හෝ, වේදනාව සඟවා නොදැනෙන්නට සැලැස්වීම තුලින් හෝ, විදුලිය අල්ලා හෝ, දෙන්න ඇති දස වධ සියල්ල ලබාදී තාවකාලික පිළියමක්ම කරන්නේ රෝග නිදානය පිළිබඳව වටහා ගන්නට හැකියාවක් නොමැති නිසයි. 

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී කයේ රෝග නිදානය සොයාගෙන එයට පිළියම් යොදනවා.  එවිට රෝගය උත්සන්න වෙනවා.  හේතුව තමයි සැඟවුණු තැන් වලින් රෝගය පිටදාන්න ගන්නවා.  එවිට හොය හොඳින්ම හසුකරගෙන නියම පිළියම යොදන්නට හැකියි. 

ලෞකික වශයෙන් පවා රෝග නිදානයට බෙහෙත් කරන ක්‍රමය මේ වන විට ප්‍රතික්ෂේප කරමින් තාවකාලික සුවයටම ඇඳී ගොස් විනාශ වෙනවා.  හරියට මොහොතක ආලෝකයේ අලංකාරයට, උණුසුමට ඇඳී ගිය පලඟැටියන් වගෙයි.  පලඟැටියාට අවසානයේ සිද්ධ වෙන දේ කියන්න අවශ්‍ය නෑනේ නේද?

ඉතින් අන්න ඒ වගේ මෙතරම් වෙලාවක් ඔබගේ රෝග නිදානය කයේ සැඟව ඇති දෙයක් නොවන බව පෙන්වා දෙන්නට තමයි උත්සාහ කලේ.  රෝග නිදානය මතුකරන විට වේදනාකාරී වගේ දැනටමත් ඔබට සිතට කණගාටුවක් කලකිරීමක් සමහර විට මේ සටහන තබන මාත් සමඟත් අමනාපයක් හෝ හටගන්නට හේතු තියෙනවා. 

කමක් නෑ... ධෛර්යමත් වන්න... ඔබ ශක්තිමත්ව මේ තිත්ත ඇත්තට මුහුණ දුන්නහොත් ඔබට ලැබෙන වාසිය ලාභය පිළිබඳව තමයි "ආරෝග්‍යා පරමා ලාභා - නීරෝගීකම උතුම් ලාභයයි" ලෙසින් බුදු හිමියන් පෙන්වා දුන්නේ. දැන් අපි රෝග නිදානය පරික්ෂා කරමු... සැබෑ රෝගී තත්වය හඳුනාගනිමු...