ලබන්නට හැකි නීරෝගීබව

  18 නොවැම්බර් 2015

"අපිට ලෙඩ රෝග හැදෙනවා... අනේ අපිට ලෙඩ රෝග නොහැදී තියෙනවා නම් තමයි හොඳ" ලෙසින් ඔබට හෝ මට හෝ වෙනත් සත්වයෙකුට හෝ කැමැත්තක් ඇතිවෙනවා.  එහෙත් තමන්ගේ කැමැත්ත එය වුණාට ඒ කැමැත්ත ඉටු වන්නක් නොවේ.  එය ඔබ මේ වන විටත් අත්දැකීමෙන්ම දන්නවා. 

අන්න ඒ නිසා ඒ කරුණත් "යමක් කැමැති සේ නොලැබීම දුකකි" යන දුක් ස්වභාවයට ඇතුලත් කල හැකි තවත් දුක් ස්වභාවයයක් යැයි ධර්මය තුල පෙන්වා දෙනවා. 

ඒ වගේම තමයි මරණයත්... අනේ අපි නොමැරේවායි පැතුවත්... අනේ අපිට දුක්ඛිත මරණයක් නොවේවායි පැතුවත්... මරණය මට කැමති සේ සිදු වේවා යැයි පැතුවත්... ඒ කිසිවක් තමන්ට කැමති සේ නොලැබෙන බව මේ වන විට ඔබ අත්දැකීමෙන්ම දත යුතු වෙනවා.  මෙතරම් කාලයක් ඔබ ලෝකයා පිරික්සත්දී ඔබට මේ අත්දැකීම් ලැබෙන්නට ඇති. 

එහෙනම් ඇයි මේ තවමත් අන්ධයෙක් වගේ කටයුතු කරන්නේ?  තවමත් ඔබගේ හිත මේ ඇත්ත පිළිගන්නට කැමති නැත්තේ ඇයි?  තවමත් අන් අයට එකක් ඔබට තවෙකක් යැයි හැඟෙන්නේ ඇයි? 

එයට හේතුව තමයි ඔබේ කය කොතරම් නීරෝගී වුවත් ඔබගේ හිත අසාධ්‍ය ලෙසින්ම රෝගී තත්වයේ පසුවීම.  එකකින් දෙකකින් නොවේ බොහෝ රෝගකාරක ඔබගේ සිත තුල වසංගතයක් සේ පැතිරෙනවා.  මේ වන විට අසාධ්‍ය තත්වයේ පසුවෙනවා. 

අන්න ඒ නිසා නිවැරදිව රෝග නිදානය හඳුනා ගැනීම ඉතාමත් වැදගත්.  ඒ වගේම ඒ රෝග නිදානය කයේ නොවෙ සිතේ ඇති බව අවබෝධ කරගැනීම වැදගත්.  අන්න ඒ සිත තුල රෝග නිදානයට බෙහෙත් ලබාදීම ඉතාමත් වැදගත්.  අන්න ඒ සිතේ රෝගයන්ගෙන් මිදී නීරෝගී වීම මේ ජීවිත කාලය තුලදීම අප්‍රමාදීවම කරගත හැකි දෙයක් බව අවබෝධ කරගැනීම වැදගත්.

ඒ වෙනුවෙන් කැපවී ඒ රෝගී සිත සුවපත් කරගැනීම "ආරෝග්‍යා පරමා ලාභා - නීරෝගීකම පරම ලාභය" බව බුදු හිමියන් පෙන්වූ බව නුවණින් දැකීම වැදගත්!