ස්පන්දනය ලෙඩකි!

  18 නොවැම්බර් 2015

ඔබ සමහර වෙලාවට අත්දැකීම ලබා ඇති සමහර දේවල් දැක්කාම, ඇසුවාම, දැනුනාම හදවත ආශ්‍රිතව සීතල වෙලා යනවා... යමතමට සැලීමක් සිදුවුණා වගේ දැනෙනවා.  "මගේ පපුව සීතල වෙලා ගියා" කියලා සමහර වෙලාවට කියනවා නේද?  ඒ වගේ අවස්ථාවලටම තමයි කියන්නේ "ලේ වතුර වුණා" කියලාත්. 

"මමත්වය" නැමැති රෝගය නිසාමයි පෙර විග්‍රහ කරගත් පරිදි "කම්පනය" නම් වූ රෝගය වැළඳෙන්නේ... ඒ මමත්වය නිසාමයි මේ වගේ "ස්පන්දනයක් / සැලීමක්" කියන්නාවූ රෝගයත් හටගෙන තියෙන්නේත්.

ටිකක් හිතන්න ඔබට මෙසේ සීතල වෙලා යන්නේ කුමන අවස්ථාවන්වලදීද... එවන් වූ අවස්ථාවන් වැඩිවන තරමටම කොතරම් නම් අසහනයකින් පෙලෙන්නට සිද්ධ වෙනවාද?  කොතරම් පීඩාවක් කරදරයක් බරක් උසුලාගත් ස්වභාවයකින් සිත පෙලෙනවාද?

සමහර පුද්ගලයින් පිළිකා, හෘද රෝග ආදී රෝගාබාධයන් ගැන කතා කරන්නටවත් කැමති නෑ.  මරණය පිළිබඳව කතා කරන්නටවත් කැමති නෑ.  අසුභ දේවල් විදියට තමයි හිතන්නේ... ඒ දේවල් පිළිබඳව කතා කරන අවස්ථාවලදී සමහර විට මේ වගේ හීනියට පපුව සීතල වෙලා යනවා වගේ දැනෙන අයත් ඉන්නවා.  ඒ කරදරයට අසහනයට කැමති නැති නිසාම එවන්වූ දේ ගැන කතා කරන්නටවත් එපා යැයි කියනවා.

ඒ විතරක් නෙවේ යම් කෙනෙකුට ප්‍රශංසා හමුවේද මේ ස්වභාවය අත්දැකගන්නට හැකියි.  තවත් කෙනෙකුට නින්දා හමුවේද මේ ස්වභාවය අත්දැකගන්නට හැකියි. 

එහෙනම් ඉතින් මේ සැලීම නම් රෝගය යහපත් දෙයක් යැයි ඔබ හිතනවාද?  කායිකව නීරෝගී යැයි සිතන ඔබට දැන් හිතෙනවාද ඔබ නීරෝගී කෙනෙක් කියලා?