සැබෑ රෝගය කොතැනද?

  18 නොවැම්බර් 2015

බුදු හිමියන් පෙන්වාදුන් රෝගී බව යනු කුමක්දැයි නිසි ලෙසින් හඳුනා නොගත් නිසාම නිවැරදි නීරෝගීකම හඳුනා නොගෙන, නිවැරදි බෙහෙත හඳුනා නොගෙන, නිවැරදි වෛද්‍යවරයා හඳුනා නොගෙන, "අනේ "නිරෝගීබව උතුම් ලාභයක් මැයි" පවසමින් විවිධාකාර බෙහෙත් ඖෂධ, වෛද්‍යවරුන් සොයමින් මිරිඟුවක් පසුපසම දුව යනවා. 

"මට පිළිකාවක් තියෙනවා... මට වකුගඩු රෝගයක් තියෙනවා... මගේ අක්මාව ලෙඩ වෙලා... මට හදවත් රෝගයක් තියෙනවා... මට අස්ථි අමාරු.... මට හිසේරදය... මට පීනස... මට දියවැඩියාව..." මේ විදියට කොතරම් නම් ලෙඩ රෝග පිළිබඳව පමණක් දිනකට කතා බහ කරනවාදැයි ඔබගෙන්ම අසා බලන්න.

"ඔය ලෙඩේට මෙහෙම ඉන්න ඕන... මේ විදියේ කෑම කෑවම මේ විදියේ ලෙඩ හැදෙනවා... අපෝ ඕවා මේ අර ලෙඩේට හොඳ නෑ... මේ බෙහෙත් නම් නියමයි... මේ ලෙඩේට ඔය බෙහෙත් හරියන්නේ නෑ... මේ බෙහෙත් වලට ඔය කෑම කෑවම විස වෙනවා... මේ වෙලාවට ඕවා බොන්න හොඳ නෑ...  ඉංග්‍රීසි බෙහෙත් තමයි හරියන්නේ... සිංහල බෙහෙත් නියමයි..." දිනකට කොතරම් නම් වතාවක් බෙහෙත් සහ ගුණ අගුණ කෑම පිළිබඳව මාතෘකා වෙනවාදැයි ඔබගෙන්ම විමසා බලන්න.

"ඔයා අර දොස්තර ගැන දන්නවද?  ඒ දොස්තර දියවැඩියාවට නියමයිලු... දොස්තරට මෙච්චර ගාණක් ගියා... මේ දොස්තර මෙතැනට එනවා..". මෙන්න මේ විදියට දොස්තරලා ගැන දිනකට කොතරම් නම් කතාබහට ලක්වෙනවාද කියලා විමසා බලන්න.

රෝගයක් තිබුණත් නැතත් හැමදෙනාම පාහේ මේ කායික ලෙඩ රෝග පිළිබඳව සිදුකරන කතාබහ වසංගතයක් සේ පැතිරිලා යනවා.  මේ වසංගතයට ප්‍රතිකර්මයක් යොදා නොගතහොත් ඔබට කාලය ශ්‍රමය ධනය ආදී බොහෝ ආකාරයෙන් අලාභයක්ම සිදුවෙනවා නියතයි. 

මෙසේ කායික වූ රෝගාබාධයන් සැබෑම රෝගය යැයි රැවටී ඒ පිළිබඳව කියමින් සිතමින් කටයුතු කරන ඔබ විසින් සෑබෑම රෝගාබාධායන් මොනවාදැයි හඳුනාගත යුතු වෙනවා. 

පිරිසිදු ධර්මය පුරාවටම සැබෑම රෝගය කුමක්දැයි විවිධාකාරයෙන් පෙන්වා දී තිබෙනවා.  මේ සටහන තුලින් රෝග නිදානයේ පටන්ගෙන අවසාන ප්‍රතිඵලය දක්වාම කෙටියෙන් හෝ විග්‍රහ කරගන්නට අප උත්සාහ කරමු.