විකල්පයක් නොවීම පිණිස

විකල්පයක් නොවීම පිණිස

විකල්පයක් කියන්නේ මොකක්ද?  උපමාවකින්ම පටන්ගනිමුකෝ.... කේක් වර්ග කීපයක් තියෙනවා කියලා හිතන්න... බටර් කේක්... චොකලට් කේක්... පළතුරු කේක්... පොල් කේක්... ඔන්න එක කේක් ජාතියක් කනවා... තව කේක් වර්ග 3ක් විකල්පයක් විදියට තියෙනවා... අර කේක් ජාතියෙන් සෑහීමට පත්නොවුනහොත් කාලා බලන්න තවත් කේක් වර්ග 3ක් තියෙනවා... මෙන්න මේ විකල්ප කේක් වර්ග 3ක් නොතිබුනොත්?

මේ උපමාවෙන්ම මේ කරුණ ගලපාගන්නට උත්සාහ දරමුකෝ...

අජීවි දේවල් වලට මේ ආකාරයේ විකල්ප තියෙන නිසාම බොහෝම සතුටින් ජිවිතය ගත කරන්නට හැකියි කියලා තමයි අප බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ.  එය තමයි අපේ විශ්වාසය.  ඒ නිසාම අපට විකල්ප බොහෝමයක් තියෙනවා. එකක් එපා වුණාම... තව එකක්... එකකින් එකකට... හැම තිස්සේම වඳුරෝ වගේ අත්තෙන් අත්තට පැන පැන ඉන්නවා... හේතුව තමයි විකල්ප බහුලයි! දැන් හිතන්න මේ ක්‍රමය ජීවි පුද්ගලයන්ට දමන්න ගියහොත් කුමක් වෙයිද? 

බොහෝ විට දෙමව්පියන්ට  සහෝදර සහෝදරියන්ට නෑදෑයින්ට දමන්න නොහැකියි... ඒ නිසා ඒ අය අපට ගැලපෙන්නේ නෑ වගේ හිතෙනකොට බොහෝම අසහනයෙන් දිවි ගෙවනවා... ඉතින් ප්‍රශ්ණ! හිත මිත්‍රාදීන්ගෙන් සෑහීමකට පත්නොවන විට වෙනත් හිතමිතුරන් හදාගෙන විකල්ප භාවිතා කරනවා... හතුරොත් මේ විදියට තමයි හැදෙන්නේ...

ලොකුම ගැටලුව එන්නේ විවාහයට.

තමන් විකල්ප බොහෝමයකින් එක් කෙනෙක්ව තමන්ගේ බිරිඳ හෝ සැමියා විය යුතුයි කියලා තෝරාගන්නවා.  ඒත් ටික දවසකින් තමන්ට එයින් සෑහීමට පත්විය නොහැකි විට තමන්ට මඟ හැරුණු විකල්ප ගැන හිතනවා. ඒ විතරක් නෙවේ තවත් අලුත් විකල්ප තිබේදැයි සොයනවා.  මෙන්න මේ විකල්ප භාවිතා කිරීම කාම මිත්‍යචාරය, මෛථුන්‍ය සේවනය ආදී ලෙසින් ධර්මයේ සඳහන් කරනවා.  තමන්ගේ බිරිඳගේ හෝ සැමියාගේ රසයට අකමැති වීම නිසා වෙනත් රසයක් සොයනවා වගේ වැඩක් තමයි මේ කාම මිත්‍යාචාරය කියන්නේ.  මිත්‍යා චරියාව... බොරුවක මිත්‍යාවක එල්ඹ ගෙන සිටීම... 

දැන් මේ සිද්ධියේ අනෙක් පැත්ත හිතන්න.

ඔබ ගැහැණියක් වශයෙන් මේ විකල්ප අතර එකතුවුණොත්?  ඔබ පිරිමයෙක් වශයෙන් මේ විකල්ප අතරට එකතු වුණොත්?  පනින රිලවට ඉනිමං බැන්ඳා වගේ නෙවේද? ගැහැණියක් විදියට ඔබ විවාහක පිරිමියෙකුට විකල්පයක් වුනොත්?  පිරිමියෙක් විදියට ඔබ විවාහක කාන්තාවකට විකල්පයක් වුණොත්? ප්‍රතිඵලය කුමක් වෙයිද?

මේ මාතෘකාව සම්බන්ධයෙන් මගේ ජීවිතයේත් අත්දැකීම් බොහෝමයක් තියෙනවා...

මම දන්නා බොහෝ වැඩිහිටියන්ට මේ වගේ විකල්ප ලැබුණා... ඒ නිසා ඒ අයගේ බිරිඳ වේවා, සැමියා වේවා තමන්ගේ සහකාරයාව අතහැර ඒ අය ඒ විකල්ප තෝරාගත්තා.  දරුවන් සිටින අවස්ථා වලදී ඒ සිද්ධ වෙච්ච අපහසුතාවයන් සහ අතහැරණු මඟ හැරණ දරුවන්  බොහෝ විට හිතන්නේ "තාත්තට... අම්මට... විකල්පයක් නොතිබුණා නම් මේ දේ මේ විදියට සිද්ධ වෙයිද කියලයි..."

ඒ වගේම ස්ත්‍රියක් නිසාම  තරුණ අවධියේදී බොහෝ පිරිමි පාර්ශව මාව විකල්පයක් කරගන්නට උත්සාහ කලා.  තම තමන්ගේ බිරිඳ සමඟ ඇති ප්‍රශ්ණ ආදිය පවසමින් සතුටක් හොයනවා... විකල්පයක් හොයනවා... ඒ අවස්ථාවන්වලදී මම කුඩා අවධියේදීම වෙනත් වැඩිහිටි පාර්ශව දෙස බලා අරගෙන තිබුණ තීරණය තමයි “තවත් කෙනෙකුට විකල්පයක් නම් වෙන්නේ නෑ“ කියන දේ.  ඒ දැඩි තීරණය නිසාම ඒ බොහෝමයක් පිරිමි පාර්ශවයටත් නිසි මඟ පෙන්වලා ඒ අයගේ ජීවිත වලට සහනයක් වෙන්නට හැකියාවක් ලැබුණා.  බොහෝ බිරින්දෑවරු අදටත් මට ස්තූතිවන්ත වන අවස්ථා තිබෙනවා ඒ ආකාරයට ප්‍රඥාවන්තව කටයුතු කරමින් විකල්පයක් නොවෙමින් ඒ අයගේ ජීවිත වලට නිසි මඟ පෙන්නුවට. 

ඉතින් මෙතෙන්දි විකල්පයක් නොවී සිටීමේ තීරණය ගැනීම බොහෝම සරලයි...  ටිකක් හිතන්න එක කේක් එකකින් සතුටු නොවන මනුස්සයෙක් තව කේක් කීයක් ලැබුණත් එයින් සෑහීමකට පත්වෙයිද?  විකල්පයක් වන්න තීරණය කරන තරමටම තවත් විකල්පයක් ලැබීම නිසාවෙන් අතහැරී කොන්වී යන චරිතයක් බවට ඔබටද පත්වන්නට සිදුවන බව සිහි තබාගැනීම බොහෝ කරදර දුක් අසහනයන් රැසක් පෙර සිටම හඳුනාගෙන සැනසීමට හැකිවේවි.

“මනමේ“ කියන ප්‍රසිද්ධ නාටකයෙත් ඒ වගේ කතාවක් තියෙනවා නේද?  දන්නවා ඇතිනේ වැදි රජුව විකල්පයක් විදියට තෝරගත්ත කුමාරිකාව... ඒත් වැදි රජු ගත්ත තීරණය කුමක්ද?  විකල්පයක් වෙනවා කියලද?

එක දෙයකින් සෑහීමකට පත්නොවිය හැකි මිනිසුන්ට කාන්තා පිරිමි බේදයක් නැතිවම අඩෝවැඩියා බොහෝමයක් තියෙනවා.  අනේ මට මෙහෙමයි... අනේ මට අරහමෙයි... මේ විදියට අඬා දොඩා තම තමන්ගේ සෑහීමකට පත් විය නොහැකි ස්වභාවය කියන විට එය තේරුම්ගන්නට නොහැකි බොහෝ කාන්තාවන් සහ පිරිමි දෙපාර්ශවයම මේ දේවල් වලට හසු වෙනවා.  ප්‍රතිඵලය කරදර දුක් අසහනයන් රැසක්ම තමයි. 

බුදු හිමියන් පෙන්වා දුන්නාවූ පිවිතුරු දහම මේ දේට උපකාර වෙන්නේ කොහොමද?

විකල්පයක් වුණත් කුමක් වුණත් මේ ලැබෙන දේහි යථා ස්වභාවය හඳුනාගන්නට අවබෝධ කරගන්නට උපකාර කරන දහමක් තමයි බුදු හිමියන් පෙන්වා දුන්නේ.

බටර් කේක් වේවා... චොකලට් කේක් වේවා... පළතුරු කේක් වේවා... පොල් කේක් වේවා ... කේක් යැයි යමක් යම් තැනක වේ නම් එය සියුම් වේවා ඝණ වේවා අනාගත අතීත වර්ථමාන වේවා මේ ආකාරයෙන් කුමන ස්වභාවයකින් තිබුණත් කේක් වල ඇත්ත මොකක්ද කියලා පෙන්නලා දෙන දහමක් තමයි සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දුන්නේ. 

සත්වයෙක් පුද්ගලයෙක් ද්‍රව්‍යයක් වස්තුවක් ලෙසින් අපගන්නා සංඥාවේ යථා ස්වභාවය පෙන්වා දෙන්නට බුදු හිමියන් විවර කල දහම තුලින් හැකිවෙනවා.  එවිට විකල්ප සෙවීම මෙන්ම විකල්පයක් වීමත් අපහසුවක් නැතිවම නවතිනවා.  ලද දෙයින් සතුටට පත්වූ සැනසීමෙන් යුතු ජීවිතයක් ලැබෙනවා.  හේතු නිරෝධ කලොත් ඵලය නිරෝධ වෙනවා!

ඉතින් කැමති නැත්ද එහෙම වෙන්න? 

ප්‍රඥාවන්ත ඔබට හුදු විකල්පයක් වීමට වඩා කරගැනීමට හැකි වටිනා දේ බොහෝමයි!  ඒ ගැන සිතා ඒ ගැන අවබෝධයෙන් ප්‍රඥාවන්තව කටයුතු කරගෙන සැබෑ විමුක්තිය සලසා ගැනීම ඔබටම භාරයි!