අනුන්ගේ පව් කර ගැසීම

  24 අප්‍රේල් 2022

හොඳයි සුවයි සැපයි කියලා ගත්ත අදහසක් නිසා අහක යන නඩුවකට අත දාලා අලුත් හේතු සකස් කර ගන්නවා තමන්ටත් ඒ අනුව දඬුවම් ලැබෙන්නට.  ලෝක සම්මතයෙන් දඬුවම් දෙන මොහොතක් පාසා අලුත් ගිවිසුම් වලට තවත් බොහෝ පිරිසක් අත්සන් තබා ගන්නවා. 

ඉතින් විටෙක පීඩකයා වෙනවා... විටෙක පීඩිතයා වෙනවා... විටෙක සොරා ද... විටෙක සොරකම ට ලක් වෙන්නා ද වෙමින්... විල තුල මහා පොරයක්.  විලේ ස්වභාවය හඳුනා ගන්නේ නැති තාක් මේ අරගලය කවදාවත් සංසිඳෙන්නේ නෑ.  හේතුවට අනුව ඵලය සකස් කරමින්... නැවත ඵලය ම හේතු කර ගනිමින්... ඉවරයක් නැති චක්‍රයකට හසු වෙලා.  අලුත් ම පොරයක් වගේ හැමදා ම එකම පොරය.

මේ දේවල් ගැන අංශු මාත්‍ර තරමින් පවා දැන ගත් සෑම ශාස්තෘවරයෙක් ම අපට මේ දේවල් අඩුවක් නැතිව කියලා දීලා තිබෙනවා.  සෑම ආගමක ම විවිධ ආකාරයෙන් මේ දේවල් කියලා තියෙනවා.  මේ විලේ ඉන්න පිරිස කෙරෙහි අනුකම්පාවෙන් විවිධ මට්ටමෙන් අනතුරු ඇඟවීම් ලබා දෙනවා.  පණිවිඩය ලබා දෙනවා.

“දෙවියන් වහන්සේ ඔබගේ පව් වලට කර ගසන්නම්... පව් කරන පිරිසට දෙවියන් දඬුවම් කරනවා ඔබ දෙවියන් විශ්වාස කරලා ඔබ ගේ කටයුතු කර ගන්න...” මේ විදියට ඔබ ට සෑම ආගමකින් ම පැවැත්ම තුල අඩුම තරමේ යම් මට්ටමකට හෝ ආරක්ෂිතව කටයුතු කර ගන්නට දේවල් පෙන්වා දෙනවා.  

 ඒත් නෑ... ඔබ මල් වලටයි... අල වලටයි කොතරම් වශී වෙලා ද කියනවා නම් එහි “දෙවියන්ගේ දඬුවම් කියමින් දඬුවම් නියම කර ගන්නෙත් අවසානයේ කිලිටි වූ ඔබමයි”. 

ඇත්තට ම කියනවා නම් ඔබ ට මේ ස්වභාව දහමේ නීතිය ගැන කිසිදු විශ්වාසයක් නැති හැඩයි.  උතුමන් යැයි සම්මත පිරිසක් ලෝකයේ තමන් නො දන්නා යමක් පවසන බව විශ්වාසයක් නැති හැඩයි.  ඉතින් ඔබගේ නැණ පමණින් සාධාරණය අසාධාරණය වෙනුවෙන් සටන් වැදීමට තීරණය කරන විට ඔබට උතුමන්ගේ පණිවිඩය මඟ හැරෙනවා. 

උතුමන්ටත් දොස් තබනවා ඔබ පීඩක පන්තිය නියෝජනය කරනවා කියලා.  පීඩිතයන්ට අනුකම්පා කරන්නේ නෑ කියලා.  එහෙත් ඒ උතුමන් දන්නවා දෙපාර්ශවය ම අන්ත අසරණ වෙලා ඉන්න නොදරුවන් පිරිසක් කියලා.  උන්වහන්සේලාට හැකි පමණින් විවිධ ආකාරයෙන් මේ විල ඇතුලේ ගනුදෙනුව යහපත් ව කර ගන්නට මඟ පෙන්වා දුන්නා.  අදටත් ඒ දහම් ජීවමානයි. 

ඉතින් මේ විදියට විල තමන්ගේ කර ගෙන මල් අල තමන්ගේ යැයි සිතා ගෙන ඒවාට අයිතිවාසිකම් කියමින් පොර කෑම මේ පැවැත්මයි.  ඒ නිසා මේ නො සංසිඳෙන අරගලය සංසිඳවා ගැනීම පිණිස විලෙන් එතෙර වන අයුරු කාලයකට සැරයක්  සර්වඥ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් පෙන්වා දෙනවා.  ඉතින් මේ සියලු ම මට්ටමේ ගැඹුරු දහම් අප අතරම අදටත් ජීවමානයි.

නමුත් හදවත්?

ඔව්... මල යි අල යි බෙදා ගැනීමේ පොරය අතර හදවත් මොට්ට වෙලා!