මග ඵල නෑනේ ඒකයි!

  24 අප්‍රේල් 2022

ඉතින් මල් වලට අල වලට පොර කන පැවැත්ම තෝරා ගත්ත පිරිසට නෙවේ මේ වදන්.  ඒ පොරයෙන් ඉවත් වෙන්නට උත්සාහ ගන්න ඔබට යි මේ වදන්.

මේ පැවැත්ම තුල යම් පොරයක් සාධාරණීකරණය කරමින් සාධාරණ අසාධාරණකම් දකින විට... ඒවාට හූ මිටි තබන්නට සිත ඉදිරිපත් වන විට... “අපි තවම මග ඵල ලබලා නෑනේ” කියන කියමන කියමින් තම තමන්ගේ කෙලෙස් සාධාරණීකරණය කර ගැනීමට පෙර විමසන්න... ඔබ, ඔබ වෙනුවෙන් විමසන්න!  ඔබ මේ විලේ අසරණ වෙලා සිටින නො දරුවන් වෙනුවෙන් විමසන්න!  නොදරුවන්ගේ පොරයට හවුල් වෙලා ඔවුන්ට තාවකාලික ජයක් ලබා දෙන්නට ඔබට හැකි වේවි.  නමුත් ඔබ ඔවුන් ව තවත් මේ විල නමැති මඩ ගොහොරුවේ ම අනාථ කර ඇති බව දකින්න!

“අපි තවම මග ඵල ලබලා නෑනේ ඒකයි මේ” කියන්නට කලින් බුදු වෙන්නට පතන මහ බෝසතාණන් වහන්සේටත් “සුවඳ හොරා” කියමින් කල්‍යාණ මිත්‍රත්වයක් ලබා දුන් දේවතාවිය ගැන සිහිපත් කර ගන්න.  ඇය ගෞතම බුද්ධ ශාසනයේ මග පල ලබමින් උතුම් අග්‍ර ශ්‍රාවිකාවක් වෙමින් මහ රහත් පදවිය ලැබූ උත්තමාවියක්.  නමුත් ඒ දේවතාවියක් ව සිටි අවදියේ මාර්ග පල ලබා ගෙන සිටියේ නෑනේ. 

තමන් තපස් දම් රකිනවා නම්... විලෙන් එතෙර වෙන්නට අවශ්‍ය නම්... සුගතියක වත් පිහිටන්න අවශ්‍ය නම්... සැබෑවට ම නිවැරදි දේ ම අගය කරනවා නම්...  තමන් ගේ අවංක වුවමනාව නිවැරදිව හඳුනා ගෙන සිටිනවා නම් විය යුත්ත කුමක් දැ යි නුවණින් දැක දැන හඳුනා ගන්නට මාර්ග ඵල ලබන්නට අවශ්‍ය නෑ. සත්පුරුෂ දහම් හඳුනන සත්පුරුෂයන්ටයි ආර්ය දහම් ලැබෙන්නේ.

තමන්ගේ ගැලවුම් කාරයා වීමට අවශ්‍ය පුද්ගලයා ඒ විමුක්තිය පිණිස කැපවීම් සිදු කර  ගන්නේ “ශ්‍රමණ ඵල” ලබන්නටත් පෙර සිට ම යි. 

ඉතින්, ඒ නිසා

මෙය ද බහුතරයක් වෙනුවෙන් ලියවූ “තවත් එක් බණක්” නොවේ.  අප ද අනතුරෙන් ගැලවෙන්නට දුවන අතර ආදරයෙන් ගෞරවයෙන් “ගැලවෙන්නට අවශ්‍යයි යැයි” කියන කල්‍යාණ මිත්‍ර ඔබ වෙනුවෙන් ලබා දෙන අනතුරු ඇඟවීම යි!  එයට කන් යොමු කිරීම හෝ නො කිරීම ඔබට භාරයි!

ඔබට අවශ්‍යයි යැයි පවසන දේ ලබා ගැනීම පිණිස, කටයුතු සිදු කර නො ගන්නා බව දැනෙන විට... දකින විට... එය සිහිපත් කර දීම සැබෑ මිත්‍රයා ගේ යුතුකමයි. ඒ තුල ඔබ තව දුරටත් මිත්‍ර කම් පවත්වයි ද නැත් ද යන්නවත් වැදගත් නෑ.  මිත්‍රත්වයේ යුතුකම එය යි! ඒ මිත්‍රත්වය හඳුනා ගන්නට දක්ෂ වුවහොත් අප තරම් වාසනාවන්තයින් මේ විල තුල නැති තරම්!