ඔබගේ වුවමනාව?

  24 අප්‍රේල් 2022

ඉතින්, දැන් ඔබ බලන්න ඔබගේ වුවමනාව මොකක්ද කියලා... සාධාරණව අල හාර ගෙන මලක් කඩා ගෙන ඉන්න නම් කැමැත්ත... ඔබගේ අරගලය ඒ මට්ටමෙන් නම් ගැටලුවක් නෑ.  ඔබ එය කර ගෙන යන්න.  නමුත් ඔබ ඔබට අවංක වීම වැදගත්!  

නිවන් දකින්නට ඕනෑ... දුක් කෙළවර කරන්නට ඕනෑ... චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න ඕනෑ... ආර්ය මාර්ගය පිළිපදින්න ඕනෑ කියමින් පැවැත්ම තුල සාධාරණ අසාධාරණකම් සොයමින් තවමත් පැවැත්මත් එක්ක ඔට්ටු වෙනවා නම් ඒ වැඩපිළිවෙළ ම අගය කරන්නට සිතෙනවා නම්, ඔබ කියන දේ සහ ඔබ කරන දේ අතර නොගැළපීමක් තිබෙනවා නේදැයි නුවණින් දැක ගන්න!

නෙළුම් විලෙන් එතෙර වෙන්නට අවශ්‍යයි ලු... නමුත් තවමත් මල්, අල එක්ක නම් ගනු දෙනුව අවශ්‍යතාවය ඉටු වෙයි ද?

කෙටියෙන් කියනවා නම් බුදු රඳුන් පෙන්වා දෙන්නේ මල් අල පැත්තක තියන්න දුර තියා හෝ නෙළුම් විලට සම්බන්ධ මල් සමඟ ඒවා හොඳයි, සුවයි, සැපයි, යහපත් යැයි සුවඳ, පෙනුම, ස්පර්ශය ආදිය වින්දනය කරමින් භුක්ති විඳීම ම නැවත නෙළුම් විලට සම්බන්ධ වන්නට හේතු සකස් කරන බවයි.

ජීවිතය තමන්ගේ... තමන්ට අවශ්‍යයි යැයි කියන විමුක්තිය... සැනසීම... සතුට... එය ලබා ගත යුත්තේ තමන්මයි.  තමන්ගේ ගැලවුම් කරුවා තමන්මයි! 

සම්මා සම්බුදු පියවරුන් අනන්ත ගණනින් පහල වෙලාත් අපව ගලවා ගන්නට බැරි වුනේ අපට ගැලවෙන්නට අවශ්‍ය නොවූ නිසාමයි!

එසේ නම් ඔබ “නිර්වාණ ධර්ම විග්‍රහයන්” ඇසුරු කරනවා නම්, ඔබගේ වුවමනාව නිවැරදිව හඳුනා ගෙන ඇසුරු කිරීම තුලින් ඔබට අප ලබා දෙන්නට උත්සාහ කරන පණිවිඩය නිවැරදිව හසු කර ගන්නට හැකි වේවි!  නැත්නම් තර්ක වාද පොදියක් විතරක් ඉතිරි වේවි!  කියන අපගේ ද අඩුපාඩු සොයමින් ඔබගේ වටිනා කාලය හමාර වේවි!