පසු කතාව

  24 අප්‍රේල් 2022

ඉතින් මේ කතාව සම්මා සම්බුදු රඳුන් විසින් එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකුට තමයි පවසන්නේ.  මේ කතාව පවසන්නට හේතු වූ කාරණය මෙයයි. 

ඒ නෙළුම් විලේ සුවඳ හොරකමට හසු වූ සිද්ධියක් ඒ නිවන් මඟ වඩන භික්ෂුවටත් සිද්ධ වෙනවා.  ඒ හිමි නමත් විලක පිපී තිබූ නෙළුම් මලක සුවඳ ආඝ්‍රාණය කරන විට ඒ ක්‍රියාව දුටු දේවතාවෙක් ඒ හිමි නමට “ස්වාමීනි ඔබ සුවඳ සොරෙකි.  ඔබ කල ක්‍රියාව සොරකමට අයත් අංගයකි” යැයි පවසනවා. ඒ සිද්ධියෙන් සංවේගය පත් වූ ඒ හිමි නම වහාම සම්මා සම්බුදු රඳුන් සොයා ගෙන යනවා.  ඒ ගැන බුදු රඳුන්ට පවසා එහි ගැඹුර විමසන්නට තමයි ඒ හිමි නමට අවශ්‍ය වුණේ. 

සිද්ධිය පැවසූ පසු, බුදු රඳුන් ඒ හිමියන්ට මෙන්න මෙහෙම කියනවා;

“ඔබට පමණක් නොවේ මහ පඬිවරුන්ට පවා ඔවැනි අත්දැකීම් ලැබෙනවා”

ඒ විදියට තමයි අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ බෝසත් අවදියේ දී සිදු වූ ඒ පෙර කතාව ඒ හිමියන්ට පවසන්නේ. 

මෙහෙම මහ බෝසතුන් වහන්සේට ඒ ජීවිතයේ දී අවවාද දුන්න ඒ දේවතාවිය කව්ද දන්නවද?

ගෞතම බුද්ධ ශාසනයේ සෘද්ධිමත් භික්‍ෂුණීන් අතරෙහි අග්‍රස්ථානය ලැබූ අග්‍ර ශ්‍රාවිකා වහන්සේ වූ උත්පලවණ්ණා මහ රහත් ‌තෙරණිය යි.

ඉතින් මේ සුවඳ හොරකමේ ගැඹුර අවබෝධ කරන ඒ හිමි නම දේශනාව අවසානයේ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා තමයි ධර්මයේ තිබෙන්නේ.

ටිකක් හිතන්න, ඔව්... නුවණින් විමසන්න... මේ කිව්වේ නොකැඩූ මලක දුර තබා සුවඳ ආඝ්‍රාණය කිරීම සොරකමක් වන්නේ කෙසේ ද යන්න ගැනයි. එය නුදුන් දෙයකින් යැපීමක් වෙන්නේ කොහොමද කියන දේ ගැනයි. ලෝකෝත්තර කුසලය සහ අකුසලය ගැන අවබෝධ කර ගන්නට හැකි දහම් කොටසක්.  පෙර නො ඇසූ විරූ දහම් අවබෝධ කල හැකි දහම් කොටසක්.

ප්‍රඥාවන්තයා ට තමන් සංවේගයට පත් වන කාරණාවක් වේ නම් එය ම නිවන් මඟ විවර කර ගන්නට උපකාරයක්.  හරියට මේ හිමි නම, තමන්ට “සුවඳ හොරා” ලෙසින් පැවසූ විට එහි ගැඹුර විමසන්නට තීරණය කලා වගේ.