සියලු ලෝ සතට සම මෙත

  24 අප්‍රේල් 2022

මේ විල තුල කව්රු විසින් කාට චෝදනා කරන්න ද...? පීඩකයා කව්ද...? පීඩිතයා කව්ද...?

සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගි වෙත්වා... සුවපත් වෙත්වා නමුත් හොර මැර වංචා දූෂණ කරන පිරිස හැර...එහෙම ද???

ඇත්ත දුටු විට මෛත්‍රිය කරුණාව බෙදෙන්නේ නෑ... එය සියලු සත්වයන් කෙරෙහි සමානව යෙදෙන්නට පටන් ගන්නවා.  එවැනි සැබෑ මෛත්‍රියක් කරුණාවක්, යම් පාර්ශවයකට ඇලීමක් සේ යමෙක් දකිනවා නම්, ඒ විලේ මඩේ එරුණ මල් වලට අල වලට පොර කන සාමාන්‍ය බහුතරය ගේ මානසිකත්වයයි. කිරි මවුන්ගේ කිලිටි වස්ත්‍රය හා සමාන සිත් ඇති රළු නපුරු මානසිකත්වයයි!

නමුත් සැබෑ මෛත්‍රිය කරුණාව ඒ සෑම සියලු දෙනාට ම සම යි!  මේ විල තුල වරදකරුවන් හෝ නිවැරදිකරුවන් නොව, සිටින්නේ තම තමන් කියපු / කියන, කරපු / කරන, හිතපු / හිතන දේවල් වලට හොඳ හෝ නරක විපාක විඳින, ලෝකයට බැස ගෙන අනතුරට පත් නොදරුවන් පිරිසක් පමණ ම යි!

ඉතින් පුංචි දරුවෙක් ගින්දර එක්ක සෙල්ලම් කරන විට ගින්දරේ අනතුර දන්න වැඩිහිටියන් ඒ දරුවන්ට ඒ අනතුර ඇසුරු කරන්නට රුකුල් දෙන්නේ නෑ වගේ... මේ නොදරුවන්ගේ ලාමක වැඩ වලට යම් ගැඹුරක් දුටු වන් සහාය වෙන්නේ නෑ.  දරුවෝ නම් ඉතින් අඬනවා... බනිනවා... ගහන්නත් හදනවා... චෝදනා කරනවා... නමුත් ඔවුන් නො දන්නා, නො දැක්ක අනතුර එයිට වඩා දරුණුයි නේ, ඒ නිසා දන්නා, දක්නා පිරිස ඒ දේවල් අගය කරන්නේ නෑ.  වචනයකින් වත් උපකාර කරන්නේ නෑ. සිතිවිල්ලකින් වත් අනුබල දෙන්නේ නෑ!

ඉතින් අවංකව ම විලෙන් එතෙර වන්නට කැමති ඔබ, වරද වරද සේ දැක.... අනතුර නිවැරදිව හඳුනා ගෙන... හික්මීම පිණිස අප්‍රමාදී වෙත්වා! 

පෙනුමෙන් ඉන්නේ ගිහි භූමියේ ද පැවිදි භූමියේ ද කියන දේ වුවත් අදාළ නෑ!  පැවිදි භූමියේ ඉන්න අපට ගිහියන්ගේ බණ එපා කියලා හෝ... ගිහි වතේ ඉන්න අපට ඔච්චර ගැඹුරින් දහම් එපා කියලා හෝ... මොන මොනවා හෝ හේතු ඉදිරිපත් කරමින් මේ සාසනයත් මඟ හරවා ගන්නට කටයුතු නොකර ගැනීම ප්‍රඥාවන්ත ඔබට භාරයි! ගිහි වේවා පැවිදි වේවා අපි හැමෝම ඉන්නේ මේ මඩ ගොහුරේ...!  එකිනෙකාට කලණ මිතුරන් වෙමින් එයින් ගොඩ ඒමට උපකාර කර ගැනීම අපට ම භාරයි!

මෙසේ පවසන අපටත් කලින් ඔබට නිවනින් නිවෙන්නට ප්‍රඥාව ම ලැබෙත්වා!  හරියට මහ බෝසතාණන් වහන්සේ ට “සුවඳ හොරා” යැයි පවසා සතියේ පිහිටන්නට උපකාර කල දේවතාවියට... තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ සසරේ පෙර නො ඇසූ විරූ සොරකමේ ගැඹුර පෙන්වා දුන්නා සේ...

“නුදුන් දෙය ගැන්ම හැර, නුදුන් දෙය ගැන්මෙන් වැළකුණ... දුන් දෙය ම ගන්නා සුලු වූයේ, දුන් දෙය කැමති වන සුලු වූයේ... සොර නොවූ පිරිසුදු වූ සිතින් වාසය කරන...” ඒ උතුම් මහ රහත් ඵලයේ සුව ලබන්නට මඟ පෙන්වා දුන්නා සේ...

ඔබටත් ඉක්මනින් නිවී අපටත් මඟ පෙන්වා දෙන්නට හැකි වේවා යන්න මෙත් සිතින් සෙත් පැතුමයි!   

හික්මීම... සංවරය... තමන්ට යි... සිත, කය, වචනය සංවර ව හික්මීම පූර්ණ වන්නේ යම් මොහොතක ද ඒ‌ මොහොතේ පටන් ගෙන ඔබ ඔබගේ ම ගැලවුම් කරුවා වී හමාරයි!  සිහියෙන් නුවණින් විරියෙන් පෙර නො ඇසූ විරූ දහම් විමසන්නාට අමා මහ නිවන් දොර විවර වීම නියතයකි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා