වාදයන් හමුවේ කටයුතු

සම්බුදු ඔවදනට අනුව වාදයන් හමුවේ කටයුතු කරන්නේ කෙසේද?

කුමන කාලයකදී වුවත් තර්කවාද විවාද කියන දේ බහුලවම සිද්ධ වෙන කාරණයක්.  විටෙක ලෞකික වූ පැවැත්මට සම්බන්ධ කරුණක් ගෙන හෝ වේවා විටෙක නිවෙන මඟ මුල්කරගත් ලෝකෝත්තර කාරණයක් මුල්කරගෙන හෝ  තර්ක වාද විවාද කරගැනීම ප්‍රකට කාරණයක්.  බහුතරයක් මේ කියන තර්කයට වාදයන්ට විවාදයන්ට ඉතාමත් ප්‍රියයි.  ඒවා යම් තැනකද ඒවාට ඇදී යන්නේ අසූචි පිඬක් දුටු කල ඇදී යන නිල මැස්සන් සේමයි.

සම්මා සම්බුදු පියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදීත් උන්වහන්සේ සමඟ තර්ක වාදයට පැමිණි පිරිස බොහෝමයි.  විටෙක ඒවාට හේතු ඇතිව පිලිතුරු දෙන සම්බුදු රඳුන් විටෙක නිහඬවම සිටින්නට තීරණය කරනවා.  බුදු පියාණන්වහන්සේගේ මේ කටයුතු අනුකරණය කරන්නට බොහෝ විට බොහෝ පිරිස් පෙළඹෙනවා. 

සම්බුදු ගුණයන්ගේ සීමාවකටවත් ලං විය නොහැකි තර්ක වාදයට හිතැති මේ කෙලෙස් බරිත තම තමන්ගේ කසල සිත හඳුනා නොගතහොත් අනතුර තමන්ටමයි.

එසේ නම්, නිවන් මඟ වඩන්නෙක් විදියට මේ ආකාරයේ කුමන හෝ  වාද විවාදයකට මුලපිරීම, තර්ක කරගැනීම, කොතරම් දුරට ගැලපෙනවාදැයි විමසා බැලීම නිවෙන්නට කැමති, ඔබගේ යුතුකමක් වෙනවා. 

සම්බුදු ඔවදනට අනුව නිවෙන්නට කටයුතු කරන ශ්‍රාවකයෙකු වශයෙන් තර්ක, වාද, විවාද ආදිය හමුවේ කෙසේ පිළිපැදිය යුතුද?  කෙසේ ඒවාට ප්‍රතිචාර දැක්විය යුතුද? සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් තුන්කල් දක්නා සියලු හේතුද තතු සේ දකිනා, මහා ප්‍රඥාවකින් පෙන්වූ සත්ධර්ම කාරණාද උපයෝගී කරගනිමින් මේ මාතෘකාවට සම්බන්ධයෙන් නන් අයුරින් විග්‍රහ කරන ලද දහම් කොටස් එකතුවකින් මේ කොටස පිරී තිබේවි.

විටෙන් විට එකතු වන සත්ධර්ම විග්‍රහයන් සමඟ රැඳී සිටිමින් තම තමන්ගේ නිවන් මඟ කල එළි කරගැනීමට ඔබට මේ කොටස උපකාර කරගැනීමට හැකියි!  සම්බුදු ඔවදන තම තම ජීවිතයට එකතු කරගෙන නිවී සැනසෙන්නට මේ වෑයමත් උපකාරයක්ම වේවා!!!