ප්‍රඥාවන්තව මේ ගැනත් හිතලා බලන්න!

ප්‍රඥාවන්තව මේ ගැනත් හිතලා බලන්න!

කරන කියන හිතන හැමදේකින්ම තමන්ට බැලූ බැල්මට දැනෙන්නට ලාභයක්ම වාසියක්ම සෙවීම අතහැරීමද?  ප්‍රඥාවන්තකමක්ද?  හිස් වැඩ බොරු වැඩ කරනවා යැයි සිතෙන වාරයක් පාසා මේ දේ තමන්ගෙන්ම අහලා බලන්න!

විවේඡන අපහාස උපහාස තර්ක වාද කිරීම අන් අයව විවිධ සේ මැනගෙන තීන්දු තීරණ ගෙන ගැටි ගැටී හෝ ඇලී ඇලී සිටීම අතහැරීමද?  ප්‍රඥාවන්තකමක්ද?  අන් අය පින්කටයුතු කරනකොට බොරු වැඩ කරනවා මෝඩයින් කියලා සිතෙන වාරයක් පාසා මේ දේ තමන්ගෙන්ම අහලා බලන්න!

බුද්ධ පූජාව හෝ පින්කම් වලදී පූජා කරන කෑම බීම අපතේ යෑම අපරාධයක් කියලා හිතෙන සෑම වාරයකදීම තමන්ගේ සිතේ අත නොහැරුණු තණ්හාව මාන්නය විනිවිද දකින්නට උත්සාහවන්ත වන්න... මන්ද එය නම් ප්‍රඥාවන්තකමකි!  

බාහිරයට යොමු කරවන සිත තමන් කෙරෙහිම යොමු කරවා නැගෙන කෙලෙස් විමසන්නට උත්සාහවන්ත වන්න... මන්ද එය නම් ප්‍රඥාවන්තකමකි!  

අරුතක් ධර්මයක් නොදන්නාකම නිසාම සිතට නැගෙන විවිධ කුකුස් චකිතයන් හමුවේ නොසැලී සැඟව ඇති දහම් අරුත... ප්‍රඥාව සොයා ගන්නට ඔය අකුසල් වඩන්නට යොදන කාලය යොදවන්නට උත්සාහවන්ත වන්න... මන්ද එය නම් ප්‍රඥාවන්තකමකි!  

ඒ වගේම තමයි පින්කම් වල නාමයෙන් තමන්ගේ වාසියට... ලාභයට... ලෞකික ලාභ ප්‍රයෝජනයට ශාසනය පාවිච්චි කිරීම අතහැරීමක්ද?  ප්‍රඥාවන්තකමක්ද? යන්න තමන්ගෙන්ම විමසා බලන්න!

පැවැත්ම තුල අංශු මාත්‍රයක් තරම් වත් පවතින්නට යහපත් යැයි තැනක් වේ නම් එය පනවමි නිවනක් නොපනවමි කියූ මහා ශාස්තෘවරයාගේ ඒ ධර්මයම පැවැත්ම තුල පැවතීම පිණිස යොදාගැනීම අතහැරීමක්ද?  ප්‍රඥාවන්තකමක්ද? යන්න තමන්ගෙන්ම විමසා බලන්න!

පැවැත්මෙන් මිදීමට ලබාගත් අතහැරීම පිණිස වූ මහා ඥානයන් පැවැත්ම තුල ලෞකික විභාග ආදිය ජයගැනීම උදෙසා පාවිච්චි කිරීම... බුද්ධත්වයට පත්වෙන්නට සෙවණ දුන් බෝධියේ කිරණ ලැබ ඒ බුදු මඟ නොයා ලෞකිකව පවතින්නට බෝධිය වටා කරකැවෙමින් සිඟාකෑම මේ දේවල් අතහැරීමක්ද?  ප්‍රඥාවන්තකමක්ද? යන්න තම තමන්ගෙන්ම විමසා බලන්න!

එසේ නම් ශාසනය තමන්ගේ වාසිය පිණිස යොදාගැනීම ගැනත් ගැඹුරින් විමසා බලන්නටම සිද්ධ වෙනවා.  ඒ වගේමයි ශාසන කටයුතු වලට ගරහන සිත් ගැනත් විමසා බලන්නටම වෙනවා.  කුමන ආකාරයෙන් වුවත් කෙලෙසී ඇති සිත් හඳුනාගෙන නිවන් මාර්ගය සකසා ගැනීමට නිවැරදිව ගැඹුරු අරුත මතු කරගන්නට දහම මතුකරගන්නට කටයුතු කල යුතුම වෙනවා.  එහෙම නේද?  

එයමයි ප්‍රඥාවන්තව සිතන බොදුනුවන්ගේ ක්‍රමය! එයමයි මහා ප්‍රඥාවන්ත ශාස්තෘවරයෙකුගේ මඟ යන ශ්‍රාවකයෙකුගේ ස්වභාවය!  එසේ නම් විමසමු... කුමක්ද මේ කරුණා ශාසනය... කුමක්ද මෙහි ඇති විශේෂත්වය... මෙය බුද්ධ ශාසනය වන ආකාරය විමසා බලමු!