මෙහෙකාර සේවය

ඔක්තෝබර් 2023 කතු වැකිය

මෙහෙකාර සේවය

සටහනේ අන්තර්ගතය

කොතරම් බණ දහම් ඇසුවත් තවමත් බණ දහම් අසන බහුතරයක් පිරිසත් නුවණ මෙහෙයවා දැක ගන්නට අදක්ෂ වූ කාරණයක් මෙවර කතු වැකිය තුලින් කෙටියෙන් නමුත් විග්‍රහ කර දෙන්නට සිතුණා. බණ ඇසුවත් මේ ගැන නිසි සේ වටහා නො ගන්නා පිරිස වෙතටත්, තවමත් මේ කාරණය ගැන කිසිම ආකාරයකින් දැනුවත් ව හෝ සිතා බලන්නට වත් යොමු නොවූ සැම වෙතට යහපත පිණිස ම හේතු උපකාර වෙත්වා!!!

අපි සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි අනුන්ට වැඩ කීම.  පුංචි දරුවෙක් ගේ පටන් ගෙන රාජකාරි මට්ටමෙන් මෙහෙකාර සේවයේ යොදවා ගත් පිරිස දක්වා ම අන් අයගෙන් යම් වැඩක් කරවා ගැනීම අප සාමාන්‍යයෙන් කරන දෙයක්.  ගෙදර පුංචි දරුවන්ගෙන් නම් පුංචි, පුංචි වැඩ ගැනීම සාමාන්‍ය දෙයක් වගේ වෙලා නේ තියෙන්නේ.  මේ තත්වය පුරුද්දක් සහ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා නිසාම අප සමහර අවස්ථා වල දී අප අත් දැකලා  තියෙනවා පුංචි හාමුදුරුවරුන්ට පවා වැඩ කියන්නට ගිහි පාර්ශව දෙවරක් සිතන්නේ නැති බව.

ඉතින්, තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට අලස වීම නිසා මව් දෙමව්පියන්ගෙන් වැඩ ගන්නා දරුවන් ද ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලානේ.  අපි හැමදෙනාම අඩු වැඩි වශයෙන් ඒ විදියට කටයුතු කලා.  නමුත් වරද, වරද ලෙසින් හඳුනා ගෙන හැදෙන දරුවන් ද සිටිනවා.  තව කොටසක් තමන්ගේ දරුවන් පවා බලා ගන්නට දීලා දිගටම තම දෙමව්පියන් ව වහල් සේවයේ යොදවා ගන්නවා.  මේ විදියට මේ කාරණය අඩුවක් නැතිව සිදු වෙන්නේ තම තමන්ගේ පහසුව පිණිස බව වැටහෙනවා ද? 

යමක් කර ගන්නට දක්ෂ වුවත්... ශූර බව තිබුණත්... අශූර ලෙසින් කටයුතු කරනවා.  ඉතින්, මේ නිසා සකස් වෙන සතර අපා ගත උපත තමයි “තිරිසන්, ප්‍රේත, අසුර, නිරය” කියන සතරෙන් “අසුර” අපා ගත ජීවියෙක් වීම.  දැන් මේ අපායට යාමේ තත්වයටත් වඩා ඉතා සියුම් වූ කාරණයක් ගැන කතා කරන්නට තමයි ඇත්තටම මේ කතු වැකිය වෙන් කරන්නේ. 

ඒ තමයි, අපි බොහෝ වෙලාවට අපේ දේවල් කර ගන්නට පුරුදු වෙලා හිටියත් සමහර වෙලාවට මේ කර ගන්නට හැකි දේවල් කර ගැනීමට පවා අපි අපේ හිතු මිතුරන් ව... ලඟින් ඇසුරු කරන අයව යොදවා ගන්නා අවස්ථා තිබෙනවා.  අපි යම් වැඩක් කර, කර ඉන්න කොට තමන්ට ගන්නට හැකි වුවත් “ඔන්න ඕක මෙහෙට දෙන්න... අරක කරලා දෙන්න... මේක අරගෙන දෙන්න...” වගේ ඉතාමත් සියුම් අවස්ථා වල දී පවා තවත් කෙනෙක් ලවා අපට කර ගත හැකි දෙයක් කර ගන්නවා.  ඇයි එහෙම කර ගන්නේ?  අපිට හැකියාව තිබුණත් ඒ වෙලාවේ ඒ දේ වෙනුවෙන් ඒ කැප කිරීම කරන්නට අප කැමති නෑ... ඒ වෙනුවෙන් අපගේ වැඩ කටයුතු යම්, යම් ආකාරයෙන් වෙනස් කර ගෙන කැප වෙන්න අප කැමති නෑ.  ඉතින්, මෙහෙම වෙන්නේ අපට මේ වගේ පුංචි කාරණයක සැඟවෙලා තියෙන බරපතල අනතුර ගැන ඇති නොදැනුවත්කම නිසාමයි.  දැනුවත් කලත් ඒ ගැන හදවතට ම දැනෙන්නේ නැති නිසයි!

දැන් පුංචි කතාවක් කියන්නම් කෝ... සම්මා සම්බුද්ධ රත්නය විසින් ගිහි පරිසරයක වාසය කරමින් නිවන් මඟ ප්‍රගුණ කර ගන්නා කාන්තා පාර්ශවයට ආදර්ශයට ගන්න යැයි පැවසූ චරිත දෙකක් ඉන්නවානේ.  ඒ තමයි ප්‍රඥාවන්ත උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලැබූ ඛුජ්ජුත්තරා මහා උපාසිකාව සහ සෘද්ධිමත් උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලැබූ නන්ද මාතා මහා උපාසිකාව.  එයින් ඛුජ්ජුත්තරාව කියන්නේ දාසියක් ලෙසින් කටයුතු කල කෙනෙක්.  ඉතින්, මේ දාසියක් වීමට කර්ම විපාකය ගැන අහලා තියෙන අයත්, නැති අයත් මේ කියන කාරණයේ ගැඹුර හොඳින් අවබෝධ කර ගන්නට යොමු වෙන්න ඕන!  මේ විදියට මේ කර්ම කතාවන් අපට බණ දහම් ඇසුරේ දී ලබා දී තිබෙන්නේ ඒවා තුලින් අර්ථයක්, ධර්මයක් අප දැකිය යුතු නිසයි.

මේ ජීවිතයේ “ඛුජ්ජුත්තරා” නමින් වූ ඇය අපේ උතුම් කාශ්‍යප සම්මා සම්බුදු රඳුන්ගේ කාලයේ එක්තරා සිටු දුවණියක්.  ඉතින්, මේ සිටු දුව හවස් කාලයේ කැඩපතක් ඉදිරියේ සැරසෙමින් ඉන්නවා.  ඒ වෙලාවේ ඇයගේ හිතවත් එක් රහත් භික්ෂුණියක් ඈ දකින්නට එහි පැමිණියා.  ඉතින්, ඒ වෙලාවේ සිටු දියණිය ලඟත් දාසියක් හිටියේ නැති නිසා තමන්ට ඒ වෙලාවේ අවශ්‍ය කල ආභරණ පෙට්ටිය දෙන්න කියලා ඉල්ලුවේ අර රහත් තෙරණියගෙන්.  සිටු දුව “ආර්යාවනි, වඳිමි. මගේ අර පළඳනා පෙට්ටිය අරගෙන දෙන්න යැයි කීවා!”  ඉතින්, රහත් තෙරණිය දකිනවා “යම් හෙයකින් මේ පෙට්ටිය රැගෙන නො දුන්නොත් මා කෙරෙහි ආඝාත ඇති කරගෙන ගැටිලා නිරයේ උපදිනවා.  මෙය රැගෙන දුන්නොත් අනුන්ට වැඩ කරන දාසියක තත්වයෙන් නවතිනවා.  ඉතින්, අපා දුක් විඳිනවාට වඩා අඩුම ගානේ මනුස්ස ජීවිතයක් ලබා අනුන්ට මෙහෙකාර කම් කිරීම දුක් අඩුයි නේ” කියලා සිතලා ඈ කෙරෙහි අනුකම්පාවෙන් ම අර ආභරණ පෙට්ටිය රැගෙන දුන්නා. ඉතින්, ඒ කර්ම විපාකයේ තරම තමයි නැවත උපදින ජීවිත ගණනාවක් ම ඇයට දාසියක් වෙලා මෙහෙකාර සේවයේ නිරත වෙන්නට ම සිද්ධ වුණා. 

ඉතින්, මම පටන් ගන්න කොට ම කිව්ව තමන්ගේ වැඩ තමන් විසින් ම නොකර ගැනීම... තමන්ගේ සුඛ විහරණය පිණිස... තමන්ගේ පහසුව පිණිස... තමන් විසින් අමතර වෙහෙසක් දරා තමන්ට අවශ්‍ය දේ කර ගන්නවා වෙනුවට මොහොතකට හෝ අන් අය ලවා කරවා ගැනීමට දරන උත්සාහයේ විපාක මේ වගේ.  මේ විදියට සුළු හෝ වැඩක් කරවා ගන්නේ ආර්ය ශ්‍රාවකත්වය ට පත් වූ කෙනෙක් ලවා නම් ඒ කරන වැඩෙන් අප විශාලතම අනතුරට පත් වෙන වෙලාව තමයි ඒ.  කොට්ටෝරුවා ගස් වලට කොට කොටා ගිහින් කෙසෙල් ගහට කොටපු දවසට තමයි වැඩ වරදින්නේ කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ කියමනක් තියෙන්නේ අන්න ඒ වගේ!

ඉතින්, ආර්ය ශ්‍රාවකත්වය කියන්නේ, ඒ කියන්නේ සෝතාපන්න ආදී මාර්ග ඵල ලැබූ ආර්ය මහා සංඝ රත්නය කියන්නේ බැලූ බැල්මට බාහිර කාරණා වලින් හොයන්න පුළුවන් පිරිසක් නෙවෙයි.  ඒ අය භික්ෂුවක් අතරේ ඉන්න පුළුවන්... භික්ෂුණියක් අතරේ ඉන්න පුළුවන්... උපාසකයෙක් අතරේ ඉන්න පුළුවන්... උපාසිකාවක් අතරේ ඉන්න පුළුවන්... ඒ කියන්නේ අප ඇසුරු කරන පිරිස අතරේ ඉන්න පුළුවන් චරිතයක්.  මේ අයගෙන් පෙර අත්බැවයන් වල දී සෝතාපන්න වූ අය නැවත ඉපදිලා හිටියොත්, ඒ කියන්නේ “ජාත සෝතාපන්න” ආර්ය ශ්‍රාවකයන් ලෙසින් කුඩා දරුවෙක් ලෙසින් හෝ මේ ආර්ය මහා සංඝ රත්නය ඉන්න පුළුවන්. 

දැන් මේ ලෝකයේ පැවැත්ම තහවුරු කර ගන්නා පොරයට පත් වෙලා ඉන්න අපට නම් ඉතින් ඕවා මහ ලොකු දේවල් නෙවේ නේ.  බාහිරයෙන් බලලා “මේ ලමයා මොන ආර්ය ශ්‍රාවකයෙක් ද... මේ මගේ යාළුවා නේ මම දන්නේ නැත්ද මෙයා ගේ හැටි... ඔය පොඩි දෙයක් කරලා දෙන්න කිව්වා කියලා මහ ලොකු අවුලක් වෙන්නේ නෑනේ ඉතින්... මගේ මහත්තයා මොන ආර්යයෙක් ද, මයේ මිනිහාගේ හැටි මම නො දන්නවා යැ... මේ මගේ ගෑණි ආර්ය උත්තමාවියක්... වෙන්න බෑ...!” මේ විදියට දරුවන් ගැන... දෙමව්පියන් ගැන... සහෝදර සහෝදරියන් ගැන... සහකරුවන් ගැන... ඥාති හිත මිත්‍රාදීන් ගැන... දන්නා නොදන්නා සියල්ලන් ගැන බාහිරයෙන් බලලා මැන ගෙන අපට ඕන නිගමනයට ම පත් වෙලා, අපි අපේ වුවමනාව අනුවම කටයුතු කර ගන්නවා. “බුදු හාමුදුරුවෝ වැඩියත් ඉතින් අපි අපේ වැඩේ කරවා ගන්නවා” කියලා ඉතාමත් උජාරුවෙන් කියන සමහර පිරිස් අපට හමු වෙලා තියෙනවා.  ඉතින්, ඒ මානසිකත්වය තමයි මේ අඩු වැඩි වශයෙන් ඉදිරිපත් වන්නේ.  ඇත්තටම බුදු හිමියන් වැඩියත් වැඩක් කරවා ගනී... මොකද බුදු හිමියන් ව වුනත් බාහිරයෙන් හොයන්න බෑ. “අනේ ලස්සන හාමුදුරු කෙනෙක්!” කියලා වැඩිම ඕනේ නම් හිතෙයි... එහෙම වෙච්ච අවස්ථා බුද්ධ ශාසන වල තියෙනවා.  ඉතින්, මතු ඉපදී ලැබෙන විපාක කෙසේ වෙතත් තමන්ට මේ අනන්ත දුක් රැස අවසානයක් කර ගැනීමට ඇති ධර්මයක් අවබෝධ කර ගැනීමට ඇති මාර්ගයත් මේ සමඟම මේ ජීවිතයේ විතරක් නෙවේ තවත් කාලයකට වැසී යනවා.

ඉතින්, ආර්ය උතුමන් කියන්නේ උතුම් ගුණ ඇති පිරිසක් නිසා ඒ අය බලන්නේ වඩා සාපේක්ෂව හෝ වඩා යහපතක් කර දෙන්න.  හරියට අර ඒ රහත් තෙරණිය තමන්ට කියූ වැඩේ කරන්න බෑ කිව්වොත් එයට ගැටීමක් ඇති කර ගෙන අපා දුකට පත් වෙනවාට වඩා අඩු ගානේ මෙහෙකාරියක් වෙලා නතර වෙනවානේ කියලා තීරණය කලා වගේ.  ඒ නිසා ඔබ යමක් කියන විට අනෙක් පාර්ශව එය ප්‍රතික්ෂේප නො කරාවි.  ඔබ තුල ඇහුම්කන් දීමේ ගුණය වැඩි දියුණු නොවූ නිසාම තමයි ඒ වගේ ගැලවෙන්නට තිබෙන එවැනි අවස්ථා පවා ඔබට මඟ හැරී යන්නේ! 

“ඉතින්, ඔය කියන විදියට එහෙම බැලුවොත් ජීවත් වෙන්නේ බෑනේ අනේ... මනුස්සයාගෙන් වත් වැඩක් කර ගන්න බැරි ද අපිට... අපේ බිරිඳගෙන්... දරුවන්ගෙන් වත් වැඩක් කරවා ගන්න බැරි ද අපට... ඔහොම ජීවත් වෙන්න පුළුවන් ද? ඔය මොන බොරු බණ ද?”  මේ පැවැත්මට වහ වැටිලා ඉන්න ඔබට ඔහොමත් හිතෙන්න පුළුවන් නේ... ඉතින්, කරන්න බැරි නිසා නෙවේ කිව්වේ.  පැවැත්මේ අනතුර ගැන කිව්වේ.  මේ පැවැත්ම ඔබ සිතන තරම් සුන්දර තැනක් නොවන බව සිහිපත් කර ගන්නට තමයි මේ කිව්වේ.  ඔබට මේ දේවල් කරන්න එපා කියලා කව්රුවත් නීති දාන්නේ නෑ.  අනතුර පෙන්වා දීම විතරයි කරන්නේ.  කරන නොකරන එක අපේ වැඩක්!

ඒ නුවන ලැබූ අය තමයි මේ පැවැත්ම කියන්නේ මොහොතකට හෝ වර්ණනා කරන්නට හැකි... මොහොතකට හෝ ගැලවීමක් ඇති දෙයක් නෙවේ කියලා දැකලා මෙතැනින් ඉවත් වෙන ඥාන ලබා ආර්ය භාවයට පත් වෙන්නේ.  ඒ අයගෙන් දිගින් දිගට ම තමන්ගේ පැවැත්මට උපකාර ගන්න ඔබට පුළුවන්.  ඒ අයත් කිසිවක් කියන එකක් නෑ.  අන්තිමට අනාථ වෙලා ඉන්නේ තමන් ම බව නුවණක් වේ නම් හඳුනා ගන්නට තමයි මේ කියන්නේ. 

අනුවණකමින් “මම මෙහෙමයි... මේ මගේ අය... මට වැඩක් කියන්න බැරි ද මෙයා ල ට... මේ වගේ පොඩි උපකාරයක් වත් කරලා දෙන්න බැරි නම් යාළුවෙක් ද...” මේ වගේ නොදන්නාකම නිසාම... අනතුර ගැන නොදැනුවත් නිසාම... අප සසර පුරා අනාථ වූ බව... වෙමින් පවතින බව... අපි වත් දන්නේ නෑ!  ඉතින්, තමන් වටා ඉන්න පිරිසට ඔයිට වඩා කන් දුන්නා නම් ඒ අය මේ සසර දුක් කෙළවර  කර ගන්නට උපකාර කරන්නට හදන බව ඉඟියකින් වත් දැනුණා නම් ඒ ඉඟිය ඔස්සේ ගිහින් ඒ උපකාරය ලබා ගන්නවා වෙනුවට ඒ අයවත් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න වැඩපිළිවෙල උදව් කර ගෙන මෙහෙකාර සේවයේ යොදවා නො ගන්නට ඔබ ප්‍රඥාවන්ත විය යුතුයි!!!

තථාගත ධර්මය යනු හුදෙක් සිද්ධාන්ත රැසක මතක තබා ගැනීමක් නොව තමන් දරා ගෙන සිටින්නේ මොනවා ද ඒ අනුව තම තමන්ගේ චරියාව සකස් වී ඇත්තේ කෙසේ දැයි නැණවත්ව ප්‍ර‍ඥාවන්තව අවබෝධ කර ගැනීමක් බව වටහා ගැනීමට තෙරුවන් රැකවරණය ම ලැබේවා!!! ඒ ලැබෙන රැකවරණය හඳුනා ගැනීමට ද දක්ෂ වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා