බුදු හිමි උපන් දේශය???
පෙබරවාරි 2024 කතු වැකිය
සටහනේ අන්තර්ගතය
මේ කාලේ බොහෝ දෙනෙක් හමු වූ විට අහන ප්‍රශ්නයක් තමයි බුදු හිමියන් ඉපදුනේ ලංකාවේ ද කියලා. එක පාර්ශවයක් එයට බොහෝම කැමැත්තෙන් එකතු වෙලා ඉන්නවා තවත් පාර්ශ්වයක් එයට විරෝධය පල කරනවා. අප දෙන පිළිතුර අනුව එක්කෝ ඇලෙන ව නැත්නම් ගැටෙන ව... ඉතින් “නිර්වාණ ධර්ම“ විග්‍රහයක් ඔස්සේ කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ කාරණය නිවන් මඟ ට අදාළ ද නැද්ද කියන දේ තමයි නේ නේද? අන්න ඒ නිසා අපි ඒ ගැන විග්රහ කර ගැනීමට මෙවර කතු වැකිය ඔස්සේ කටයුතු කරමු!
බුදුන් උපන් දේශය හා බුදු හිමි ප්රමුඛ සාසනික කටයුතු වලට සම්බන්ධ සාමාන්‍ය සම්මත ස්ථාන බොහොමයක් තිබෙනවා. ඒවායෙන් ප්‍රධානතම ස්ථාන රැසක් ඉන්දියාව ආශ්‍රිතව ඇති බව බහුතර දෙනෙක් පිළිගන්නා ප්‍රකට කාරණයක්. ඉතින් මේ අතරේ තවත් පිරිසක් බුදුන් උපන් දේශය ලංකාව බව පවසමින් බොහෝ තර්ක ගොඩ නඟනවා. ඉතින් අපි මේ ලිපිය තුළින් විමසන්න යන්නේ බුදු හිමි උපන් දේශය ගැන නම් නෙවේ ඔන්න.
“නිර්වාණ ධර්ම” විග්රහ තුළින් උතුම් තථාගත සාසනය ට හානි වන කාරණයක් වේ නම් එය විමසීම තමයි ප්‍රධාන කරන්නේ. යම් අධර්මයක් ප්‍රකාශ වන විට එය ධර්මය තුළින් පැහැදිලි කර දී ධර්මය සහ අධර්ම කාරණා වෙන් කොට පෙන්වා දීම තමයි සම්මා සම්බුද්ධ රත්නය විසින් අපට අවවාද අනුශාසනා සිදු කර තියෙන්නේ. අපි ඒ නිසා බුදු ඔවදනට අනුව විමසීම තමයි වඩාත් ම වැදගත් වෙන්නේ.
භාවනා ආදිය ප්‍රගුණ කරන පිරිස අතර සමාධි භාවනා බහුල පිරිස මේ ආකාරයෙන් විවිධ මාතෘකා ඔස්සේ විවිධ අදහස් දැක්වීම සාමාන්‍ය දෙයක්. නමුත් අප බියවිය යුත්තේ මේ වගේ අදහස් ප්‍රකාශ කිරීම් ගැන නම් නොවේ. ඇත්තටම අපි බිය විය යුතු වන්නේ මේ අදහස් අනුව යමින් අප කොතරම් අන්ධව කටයුතු කරනවා ද කියන කාරණයට තමයි!
බහුතරයක් පිරිස මේ වන විට කියනවානේ බුදු හිමියන් ඉපදුන ප්‍රදේශය මෙය යැයි කියමින් විවිධ රටවල් හෝ ප්‍රදේශ ගෙන හැර දැක්වීම ධර්මය විකෘති කිරීමක් කියලා. නමුත් ඒ විදියට විවිධ ස්ථාන ගැන අදහස් මත වාද පල කිරීම උතුම් තථාගත ශ්‍රී සත්ධර්මයට ඍජුවම සම්බන්ධ ධර්ම විකෘතියක් නම් නොවේ. එය එසේ කියන්නටත් නුසුදුසුයි. මේ ගැන සඳහන් කරන්න සිද්ධ වෙන්නේ බොහෝ දෙනෙක් තර්ක වාද විවාද කර ගන්නේ වැදගත් නොවන නොගැළපෙන කාරණා ඔස්සේ නිසායි. ඒ ආකාරයෙන් පදනම් විරහිතව චෝදනා කරන විට ඒ ආකාරයෙන් ප්‍රකාශ කරන පාර්ශව වලට වුණත් තමන්ගේ මතය සාධාරණීකරණය කිරීමට පවසන්නට ඕනෑ තරම් දේවල් තිබෙනවා. ඒ නිසා සම්බුදු හිමියන්ගේ ඔවදන් අනුව කටයුතු කරන්නෙක් නම් සැම විටම අර්ථ විරහිත තර්ක වාද විවාද නොකර ධර්මය සහ අධර්මය කියන කාරණා නිවැරදිව තෝරා බේරා ගෙන සම්බුදු අවවාද අනුශාසනා ඔස්සේ ම ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කල යුතුයි!
බුදුන් උපන් දේශය ලෙසින් හෝ වේවා බුදු හිමියන්ට සම්බන්ධ ස්ථාන ලෙසින් හෝ විවිධ ස්ථාන ගෙන හැර දක්වමින් මත ඉදිරිපත් කිරීම සත්ධර්මයට සෘජුවම සම්බන්ධ නොවන නිසා ධර්මය විකෘති කිරීම් කොටසට එකතු කරන්නට නොහැකියි. නමුත්, යමෙක් මෙසේ විවිධ ස්ථාන ගෙන හැර දක්වමින් මෙම ස්ථාන වලට නොගොස් මාර්ග ඵල අවබෝධ කල නොහැකි යයි පවසනවා නම් අන්න එය නම් ධර්මය නොවන ධර්මය විකෘති කර දක්වන අධර්ම කාරණාවක්! සෘජුවම ඔබගේ නිවන් මඟට බාධාවක් විය හැකි කාරණාවක්!
අන්න ඒ නිසා මේ සම්බන්ධයෙන් නැණවත්ව හොඳින් විමසන්න ඕන! ඉතාමත් සරල ආකාරයෙන් පහදා දීමක් කරනවා නම් මෙන්න මෙහෙමයි. සෝතාපන්න ඵලයේ පටන් ගෙන රහත් ඵලය දක්වාම ඒ කියන්නේ ආර්ය වූ විමුක්තිය ලැබෙන ධර්මය අවබෝධ කර ගෙන ඒ නම් වශයෙන් කියන මාර්ග ඵල අවබෝධය ලැබීම පිණිස කුමක් කල යුතුද යන්න සම්මා සම්බුද්ධ රත්නය විසින් පෙන්වා දී තිබෙනවා නේ. ත්‍රිපිටකය සත්ධර්මය තුල කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සත්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාව කියන කාරණා හතර දක්වා තියෙනවා.
මෙයින් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සත්ධර්ම ශ්‍රවණය කියන කාරණා දෙකක් බාහිරයි. යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාව කියන කාරණා දෙක අසන්නා තුලින් යෙදෙන අභ්‍යන්තර වූ ආධ්‍යාත්මික වූ කාරණා දෙකක්. බාහිර වූ තත්වයක් මත පමණක් යැපෙමින් අවබෝධයක් ලබන්නට හැකි නම්, සර්වඥයන් වහන්සේ විසින් පළවෙනි කාරණා දෙක පමණක් දෙනවනේ නේද? නමුත් එහෙම නැතිව කාරණා දෙකක් බාහිර වශයෙනුත් අභ්‍යන්තර වශයෙන් කාරණා දෙකක් ලෙසිනුත් කාරණා 4ක්ම අවශ්‍ය බව පෙන්වා දෙනවා. අභ්‍යන්තර වූ තමන්ගේ පැත්තෙන් යෙදිය යුතු කාරණා 2 ක් ම දක්වා තිබෙනවා.
කල්‍යාණ මිත්‍රයා ඇසුරේ බණ දහම් ඇසූ පමණකින් පවා ආර්ය භූමියට පත්වීම සිදු වන්නේ නැති නිසා තමයි මේ ආකාරයෙන් ධර්මය තුල මේ කාරණා දැක ගන්නට තිබෙන්නේ. චතු සත්‍ය අවබෝධ කර ගත් කල්‍යාණ මිත්‍රයෙක් ගෙන් බණ දහම් අසන මොහොතේ අප තුල සකස් විය යුතු ගැඹුරු චිත්ත සමාධියක් තියෙනවා. ඒ සමාධිය ප්‍රබල සමාධිය යෙදෙන විට තමයි යෝනිසෝමනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාව කියන අභ්‍යන්තර කාරණා දෙක අප තුල සකස් වෙන්නේ. මේ කාරණා 4 එක මොහොතක යෙදෙන අවස්ථාවක තමයි මූලික දහම් ඇස පහල වෙමින් දර්ශනයෙන් පිරිසිදු වීම සිද්ධ වෙන්නේ. මෙය අනුමාන මට්ටමින් සිද්ධ වන විට සෝතාපන්න මාර්ග අනුගාමික මට්ටමට පත් වෙනවා. ඉතින්, මේ විදිය ආර්ය භූමියට පත් වීම පිණිස සිදු කර ගත යුතු අනුපූර්ව ප්‍රතිපදාවක් ඉතාමත් අලංකාර අයුරින් අංග සම්පූර්ණ ව සම්බුද්ධ දේශනාව තුල තිබෙන බව දැනට අපට ඉතිරිව ඇති ත්‍රිපිටක දේශනා තුලින් පවා දැක ගන්නට හැකියි.
අශ්‍රැතවත් පෘතග්ජනයා තුල පවතින පර්යේෂණය තමයි අනාර්ය පර්යේෂණය... ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය ස්වභාව කොට ගත් දේ තුලින් ම සත්‍ය ගවේෂණය කරන්න උත්සාහ කිරීමක් තමයි මේ අනාර්ය පර්යේෂණය තුල තිබෙන්නේ. හරියට බාහිර වූ ශක්තීන් උපයෝගී කර ගෙන හෝ වේවා කැඩී බිඳී විනාශ වී යන ජාති, ජරා, ව්‍යාධි, මරණ උරුම කර ගෙන ඇති ස්ථාන හෝ තත්වය ඔස්සේ විමුක්තිය ලැබිය හැකියි කියන අදහස ඔස්සේ පර්යේෂණය කිරීම වගේ. ආර්ය පර්යේෂණය කියන්නේ කල්‍යාණ පෘතග්ජනයා ගේ මට්ටමේ පටන් ගෙන යමෙක් සැබෑම සත්‍ය ගවේෂණයට යොමු වෙලා ඒ අනුව කටයුතු කරනවා නම්... ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් මිදීම පිණිස ප්‍රඥාවන්තව සත්‍ය ගවේෂණය කරනවා නම් ඒ සඳහා ඒ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය උරුම කර ගත් තත්ව මත යැපෙමින් කාලය නාස්ති කර ගන්නේ නැතිනම්... අන්න ඒ තැනැත්තා ආර්ය පර්යේෂණයට යොමු වූ සැබෑම සත්‍ය ගවේෂකයෙක් වෙනවා.
ඉතින්, යමෙක් පවසනවා නම් පෙර නොඇසූ විරූ සත්‍යයක් බාහිර වූ ස්ථානයකට සම්බන්ධ වූ පමණින් අවබෝධ කරන්නට හැකියි කියලා, අන්න ඒ කාරණය ගැන නම් නැණවත්ව විමසුවේ නැති වුවහොත් ඔබ මේ බුද්ධ ශාසනයත් මඟ හැර ගෙන නැවතත් සසරේ අනාථ වන්නට සිදු වන බව නුවණින් ම දැක ගනිත්වා! ඉතින්, මේ විපරීත අදහස් මත යැපීමේ භයානකත්වය සහ දුර්ලභ බුදු සසුන මඟ හැරෙන්නට ඇති අවස්ථාව ගැනත් මෙහි ගැබ් වන අධර්ම කාරණාව ගැනත් තව දුරටත් මීළඟ කතු වැකියෙන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නම්!
පෙර පිටුවට
ගොම කුරුමිණියාගේ සුභ වසර!
මීළඟ පිටුවට
සියල්ල අතුරුදහන්වන සුළුයි!