කරුණාවයි, මෛත්‍රියයි කියලා විශ්වාසද? (01 කොටස)

අප්‍රේල් 2016 කතු වැකිය

කරුණාවයි, මෛත්‍රියයි කියලා විශ්වාසද? (01 කොටස)

සටහනේ අන්තර්ගතය

කරුණාව මෛත්‍රිය ලෙසින් පටලවාගෙන අප තුල වැඩෙන සියුම් කෙලෙස් ධර්මයන් කිහිපයක් හඳුනාගන්නට මෙවර කතු වැකිය වෙන් වෙනවා.

ඔබ තුල තව කෙනෙක් වෙනුවෙන් කරුණාව පහළ වන විට ඒ කරුණ හේතුවෙන්ම තවත් කෙනෙකු කෙරෙහි හිත දූෂ්‍ය වෙනවා නම්... උදාහරණයක් වශයෙන්;

ගෙදර ඉන්න පූසා සතෙක් අල්ලනකොට ඒ සතාව බේරාගන්න මහා තරහකින් පූසාට තඩි බානවා නම් ඒ පූසව බඩගින්නේ තියන්න කටයුතු කරනවා නම් ඒ ඔක්කොමත් කරලා ඔබ හිතාගෙන ඉන්නේ “අනේ මම සියලු සතුන්ට මහා කරුණාවක් මෛත්‍රියක් ආදරයක් තියෙන කෙනෙක්නේ“ කියලා නම්?

අහිංසක සතුන් ගණනාවකගේ ජිවිත බේරගන්න ඕන කියලා මස් මරන්නන් හෝ මසුන් මරන්නන් හෝ මස් ආහාරයක් ලෙසින් ගන්නා අය කෙරෙහි පවා මහා වෛරයකින් කටයුතු කරනවා නම් ඒ ඔක්කෝම ගැටීම් අස්සේ ඔබ හිතාගෙන ඉන්නේ “අනේ මම සියලු සතුන්ට මහා කරුණාවක් මෛත්‍රියක් ආදරයක් තියෙන කෙනෙක්නේ“ කියලා නම්?

තමන්ගේ යැයි කියන ආගම ජාතිය රැකගැනීම පිණිස ආගම ජාතිය කෙරෙහි කරුණාවෙන් තවත් ආගමකට ජාතියකට හිරිහැර කරදර කරනවා නම් ඒ ඔක්කෝම ගැටීම් තුල ඔබ හිතාගෙන ඉන්නෙ “අනේ මම සියලු සතුන්ට මහා කරුණාවක් මෛත්‍රියක් ආදරයක් තියෙන කෙනෙක්නේ“ කියලා නම්?

ආරණ්‍යවාසී භික්ෂූන්වහන්සේලා හොඳයි දන්දීම කල යුත්තේ උන්වහන්සේලාට පමණයි යැයි සිතමින් නගර ආශ්‍රිතව පන්සල් වල ඉන්න භීක්ෂූණ්වහන්සේලා කෙරෙහි සිත් දූෂ්‍ය කරගන්නවා නම් ඒ කටයුතු එහෙම වෙත්දි ඔබ හිතාගෙන ඉන්නවා නම් “අනේ මම සියලුම සංඝරත්නයට සමසේ සලකනවානේ... සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝරත්නයේ ගුණ කියමින් අනේ මම සංඝරත්නය සරණ ගියාය“ කියලා හිතනවා නම්?

ලෝක අනුකම්පාවෙන් තමන් කියන ප්‍රසිද්ධ කරන ධර්මය සුදුසුයි එය හොඳයි වටිනවා යැයි සිතමින් ඒ හා සමාන අදහස් ඇති තවත් ඒ ලෙසින්ම කටයුතු කරන්නෙකුට ඒත් වචන වෙනස් නිසා ඒ ධර්මයට කියන නම වෙනස් නිසා ගරහනවා නම් අපවාද උපවාද කරනවා නම් ඒ ඔක්කෝමත් අස්සේ ඔබ හිතාගෙන ඉන්නවා නම් “අනේ මම සියලු යහපත් දේට ගරු කරනවානේ... යහපත පිණිස වූ සියලුම ධර්මය මම අගය කරනවා... මම ඉතින් සියලු සතුන්ට මහා කරුණාවක් මෛත්‍රියක් ආදරයක් තියෙන කෙනෙක්නේ“ කියලා නම්?

ඔබගේ අදහස පිළිගන්න ඔබගේ ආගමෙහි සඳහන් වන දෙවි දේවතාවුන් හොඳයි ඒ අයට පින් දිය යුතුයි අනෙක් දෙවියන් හොඳ නෑය ඒ අය මිත්‍යා දෙවියන්ය කියලා හිතෙනවා නම් ඒ ඔක්කෝමත් අස්සේ ඔබ හිතාගෙන ඉන්නවා නම් “අනේ මම සුගතිගාමී වෙන වැඩපිලිවෙලට හරි කැමතියිනේ... සතර අපායට පත්වෙනවාට වඩා සුගතිගාමී වෙන එක දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන එක කොච්චර හොඳද නිවන් දකිනා ජාති දක්වා සියලු සත්වයෝ සුගතිගාමී වෙත්වා“ කියලා නම්?

ඔබගේ ගෙදර ඔබගේ පිරිස ඔබගේ ආගම ඔබගේ ජාතිය ඔබගේ ගම ඔබගේ රට ලෙසින් මෙසේ තමන්ගේ තමන්ගේ දෑ පමණක් හොඳයි ඒ කෙරෙහි කරුණාවයි ඒ කරුණු හේතු කොටගෙනම අනෙක් දෑ කෙරෙහි වෛරයක්, සුළු හෝ තරහක්, ගැටීමක්, දූෂ්‍ය බවක් එනවා නම් ඒ හැමදේමත් එක්ක ඔබ හිතනවා නම් මම මෛත්‍රිය වඩන කරුණාව වඩන ධර්මයේ හැසිරෙන්නෙක්නේ කියලා...

ප්‍රවේශම් වෙන්න!

මෙවන් වූ ලෝක අනුකම්පාවකින් හෝ වේවා මෙවන් වූ කරුණාවකින් හෝ වේවා ඔබට කිසිදු යහපතක් සිදු නොවන බව සිහි තබාගැනීම ඔබට ඔබගේ ගැලවුම්කාරයා වීමට උපකාරයක්ම වේවි. යමකට ඇලීම නිසාම ඒ ඇලීමට පත්වූ දෑ තමන්ට ඕනෑ කරන ආකාරයට නැති වීමෙන්, තමන් කැමති සුවය සැපය ඒ තමන් කැමති දෑට නොලැබීම නිසාම ඇතිවන ගැටීම පමණයි ඔය වගේ අවස්ථාවල තියෙන්නේ. එහෙනම් එය බාධාවක්... අසහනයට පත්වෙන්නට හේතුවක්... මානසික පීඩාවන් දුක් රැසකට හේතුවක්... දස අකුසලයට ඉනිමඟක්. එහෙනම් සිහියෙන් නොසිටියොත් තමාටත් හොරා තමන්ගේ සිත තුල ඇතිවෙන මේ බොහෝම හොඳයි කියලා හිතෙන ගුණයන් ලෙසින් මතුවෙන කෙලෙස් හතුරන්ව අල්ලාගෙන සමූලඝාතනය නොකොලොත් ඔබත් මමත් සියල්ලෝමත් අමාරුවේ තමයි!  ඒ කොහොමද කියලා මීලඟ කතු වැකියෙන් කියන්නම්කෝ!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා