සියල්ල අතුරුදහන්වන සුළුයි!

මාර්තු 2024 කතු වැකිය

සියල්ල අතුරුදහන්වන සුළුයි!

සටහනේ අන්තර්ගතය

පසුගිය කතු වැකිය තුලින් බුදුන් උපන් දේශය ගැන විමසා ඒ ස්ථාන ගැන සොයා බලා ඒ ස්ථාන වලට සම්බන්ධ වීමෙන් ආර්ය මාර්ග ඵල ලබා ගත හැකි බව යමෙක් පවසනවා නම් ඒ ධර්මය නොවන අධර්ම කාරණාවක් බව හඳුනා ගත යුතු බව අප ඉතාමත් කෙටියෙන් විග්‍රහ කර ගත්තා නේ. ඒ ඔස්සේ තව දුරටත් හඳුනා ගත යුතු අනතුරු සහගත වූත් අධර්ම වූ කාරණා මොනවා දැයි කෙටියෙන් විමසන්නට මෙවර කතු වැකිය තුලින් උත්සාහවන්ත වෙමු!

අවිද්‍යාවෙන් සකස් වූ අපගේ මනස හොයන්නේ ම කෙටි ක්‍රම නේ.  ඒකයි මේ අවුල් ඔක්කෝම!  කෙටියෙන් නිවන් යන්න ක්‍රමයක් තියෙනවා නම්... සුළු වේලාවකින් සරල දහම් කාරණයක් අහලා අනන්ත සසර දුක් කෙළවර කර ගන්න තියෙනවා නම් එයිට වඩා දෙයක් නෑනේ ඉතින් නේද?  ඒ නිසා සම්මා සම්බුද්ධ රත්නය පැවසූ දහම් මඟ පැත්තක තියලා කෙටි ක්‍රම හොයා ගන්න නිතරම උත්සාහ කරනවා.  ඉතින්, මේ අවුලත් හඳුනා ගන්න ඕන හොඳේ!

බාහිර වූ ස්ථාන හෝ බාහිර වූ තත්ව මත පමණක් යැපෙමින් නිවන් අවබෝධ කර ගන්නට හැකි නම් සම්මා සම්බුද්ධ රත්නය ජීවමාන අවදියේ දී එය සියලු ලෝක සත්වයන් හට සිදු කර දෙනවා.  මොකද උන්වහන්සේ ජීවමානව වැඩ සිටින විට ඇති බුද්ධ ශක්තිය තරම් බුද්ධ ශක්තියක් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව යම්, යම් ස්ථාන වල ගැබ් වෙන්නට විදියක් තියෙන්න පුළුවන් ද? නිකම් තර්කයෙන් නෙවේ ඉතින්, නුවණින් විමසන්න!

අවිද්‍යාවෙන් බරිත සත්වයා මේ ආකාරයෙන් විපරීත අදහස් ගැනීමේ ස්වභාවය ගැන බාහිර වූ කාරණාවක් ම උපමා කර ගනිමින් පෙන්වා දෙන ගැඹුරු දහම් කොටසක් ත්‍රිපිටක ධර්මය තුල තිබෙනවා.  සම්මා සම්බුද්ධ රත්නය විසින් වේපුල්ල නම් පර්වතය උපමා කොට පෙර කාල වල දී එම පර්වතය විවිධ නම් වලින් හැඳින්වූ ආකාරයත්, ඒ කාලයේ මිනිසුන් ඒ පර්වතය නැඟීමට ගත වූ කාලයත් ආදී විවිධ ආකාරයෙන් විවිධ කාරණා රැසක් පෙන්වා දෙමින් ලෝක සත්වයා සංඥා විපරීතයට හසු වන ආකාරයත්, ඒ හඳුනා ගැනීම් නිච්ච, සුඛ, අත්ථ, සුභ වශයෙන් ගෙන සසර දුකට පත් වන ආකාරයත් පෙන්වා දෙමින් මේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිසි බව අප්‍රමාදීව අප විසින් අවබෝධ කල යුතු බව පෙන්වා දෙනවා.  ත්‍රිපිටකයේ - සූත්‍ර පිටකයේ - සංයුත්ත නිකායේ - නිදාන වග්ගයේ - අනමතග්ග සංයුක්තයේ -   දුග්ගත වග්ගයේ - 10. වෙපුල්ලපබ්බත සුත්‍රය කියවා වැඩි දුර මෙම දහම් කොටස තුල ගැබ් වන ගැඹුර හැකි නම් අවබෝධ කර ගැනීමට වෙහෙස වෙත්වා!

සම්බුදු පිය රජුන් විසින් වේපුල්ල නම් පර්වතය පෙන්වා මෙන්න මෙහෙම විස්තරයක් කර දෙනවා... “මේ පර්වතයට අතීතයේ තිබූ නම් පාචීනවංස කියන නමයි. ඒ කාලේ මිනිසුන් හැඳින්වූයේ තිවර කියන නමින්. ඒ කාලේ මිනිසුන්ට අවුරුදු 40,000ක් ආයුෂ තිබුණා. ඒ කාලේ ඔය පර්වතය නඟින්න දවස් හතරක් ගත වුණා... බහින්නත් දවස් හතරක් ගත වුණා.  ඒ කාලේ පහල වූ සම්මා සම්බුද්ධ රත්නයේ නම කකුසඳ... ඉතින්, මේ විදියට කලින් කලට මේ පර්වතයට තිබූ නම්... ඒ මිනිසුන් හැඳින්වූ නම්... ඒ තිබූ ආයු කාලය... ඒ පහල වූ බුද්ධ රත්නයේ නම් ආදිය පවසමින් පෙන්වා දෙනවා... කෝ දැන් ඒ පර්වතයේ නම්... කෝ දැන් ඒ මිනිසුන් හැඳින්වූ නම්... කෝ දැන් ඒ ආයු කාලය... කෝ දැන් ඒ බුද්ධ රත්නය... පේනවද ඒ සියල්ල අතුරුදහන් වෙලා කියලා... සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව... ස්ථිර වශයෙන් ම ගෙන ඒ මත යැපෙන්නට නොහැකි බව වැටහෙනවද... මෙන්න මේ අර්ථ තුලින් ද මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරීමට නිසියි... නො ඇලීමට නිසියි... මිදීමට නිසියි!

ඉතින් බලන්න, මේ ගැඹුරු වූ සත්‍ය වූ දහම් අවබෝධ කර ගන්නට කැප වෙනවා වෙනුවට ඔබ මොකද කරන්නේ?  අවුරුදු ගණන් ගත වෙලා... අතීතයට එකතු වූ දේ තවමත් නිත්‍ය වූ ස්ථිර වශයෙන් ම සත්‍ය වූ දේ වශයෙන් ගෙන, කැඩෙන බිඳෙන විනාශ වන... කැඩී බිඳී විනාශ වී යන... කඩන්න බිඳින්න විනාශ කරන්නට හැකි භෞතික තත්වය මත යැපෙනවා. 

වේපුල්ල පර්වතයට “පාචීනවංස“ කියන නම තියෙන කාලේ ඇත්ත නො දන්න බහුතරයක් පිරිසට දැනුණේ ම එය තමයි ඒ පර්වතයේ ඇත්ත නම කියලා.  තමන්ව තිවර නමින් හඳුන්වන විට ඒක තමයි අපේ නාමය කියලා මහත් මාන්නයකින් ඉන්න ඇති.  හරියට දැන් හෙළයන් යැයි කියා ගනිමින් මාන්නයකින් ඉන්නවා වගේ.  ඒ කාලේ අවුරුදු 40,000 දාහක් ආයු තියෙන විට ඒ අය හීනෙකින්වත් හිතන්න නැතිව ඇති ඒ ආයු කාලය 100 ගාණකටත් බහින්න පුළුවන් කියලා.  හරියට දැන් කිව්වාම පරම ආයුෂ අවුරුදු 10කට අඩු වෙන්නට නියමිතයි කියලා විශ්වාස කරන්නේ නෑ වගේ.

දැන් ඉතින්, මේ වගේ යථා ආකාරය ගැන අවබෝධයක් නැතිව රැවටිලා “ඇත්ත“ යැයි නිච්ච වශයෙන්ම... ස්ථිර වශයෙන්ම අදහස් අරගෙන බැස ගත්ත... අර්ථයක් තියෙනවා යැයි විශ්වාසයක් ඇති කරුණු කාරණා ටිකක් මත ම නේද මේ යැපෙන්නේ? 

ගෞතම සම්මා සම්බුද්ධ රත්නය තුන් ලෝකයට පහළ වෙලා... ධර්මය විවර කරලා දීලා... පිරිනිවන් පාලා අවුරුදු දහස් ගණනක් ගත වෙලත් ඉවරයි.  ඒ කාලේ තිබ්බ නම් ගම් මේ වන විට අතුරුදහන් වෙලා... ඒ කාලේ ජීවත් වූ මිනිසුන්ගේ තත්ව තානාන්තර දැන් අතුරුදහන් වෙලා... කෙටියෙන් ගත්තොත් “රජකම“ කියන තනතුර හා ඒ කාලයේ රජකම සම්බන්ධයෙන් තිබෙන තත්වය, ඒ ගරු සැලකිලි මේ කිසිවක් මේ වන විට ලෝකයේ කොතැනකවත් තිබෙනවා ද?  ඒවා අතුරුදහන් වෙලා. ආයු කාලය සිය ගණනින් හැට හැත්තෑවට බැහැලා... 

මගේ රට... මගේ දේශය... මගේ තත්වය... මගේ අරක... මගේ මේක කියමින් මොනවද මේ ඇත්ත කියලා හිතා ගෙන රැක ගන්නට පොර කන්නේ?  ඉතිහාසය පුරාවට ලෝකයේ සෑම රටක් ම යුද්ධ කරලා තියෙනවා.  ඒ යුද්ධ කලේ තමන් විශ්වාස කල ඇත්ත වෙනුවෙන් නේ? ඒ විදියට ජය පැරදුම ලද ඒ ඇත්ත කෝ දැන්? අතුරුදහන් වෙලා නැත්ද? 

ඉතින්, මේ ගැඹුරු සත්‍යාවබෝධය ලැබීමට ඇති කාලයත් විපරීත වූ සංඥා මත රැඳෙමින් ඒක තමයි විය යුත්ත... එය තමයි ඇත්ත කියලා විශ්වාස කරනවා නම් කොහොමද ගැලවෙන්නේ?  මේ පෙර නොඇසූ විරූ දහම් අවබෝධය පිණිස මේ ආකාරයෙන් තාවකාලික වූ භෞතික තත්වයන් ඇසුරු කල යුතුයි... මේ ආකාරයෙන් විපරීත වූ සංඥා මත යැපෙන්නට අවශ්‍යයි කියලා යමෙක් කියනවා නම්, එය සත්‍යාවබෝධය පිණිස අනිවාර්ය අංගයක් ලෙසින් දක්වනවා නම්, යමෙක් එසේ පවසන විට කිසිම විමසීමක් නැතිව ඔබත් එය පිළිගන්නවා නම්... ඉතින්, සියලු විපල්ලාස වලින් මිදීමට මඟ පෙන්වූ ඒ ගැඹුරු වූ තථාගත ශ්‍රී සත්ධර්මය ඔබට බොහෝ දුර බව වටහා ගත යුතුයි! 

අවිද්‍යාව ඔස්සේ සකස් වන මේ සියලු සංස්කාර වැඩපිළිවෙල හඳුනා ගෙන... විනාශකාරී සසරක් නිර්මාණය කරන තණ්හා, මාන, දිට්ඨි ජාලයෙන් මිදෙනවා වෙනුවට ඒවා තව තවත් තර වෙන ආකාරයෙන්, වැඩෙන ආකාරයෙන්, ඒ ජාලයට ම කොටු වන ආකාරයෙන් අප කටයුතු කරනවා නම්.... ගිහි වේවා පැවිදි වේවා යමෙක් එසේ පවසන විට ඒ ආකාරයේ කාරණා තථාගත ධර්මය ලෙසින් පිළිගන්නවා නම්, පිළිපදිනවා නම් අපට යථාවත් වූ පෙර නොඇසූ විරූ ආර්ය ධර්මය බොහෝ දුර බව සිහි එළඹිය යුතුයි!

ඉතින්, අවදි වෙන්න!  සම්මා සම්බුද්ධ රත්නයක් මේ තුන් ලෝකයට පහල වෙන්නේ මේ විකාර පැවැත්මෙන් ඉක්මනින් මිදෙන්නට අපට මඟ පෙන්වීමට බව හඳුනා ගන්නට දක්ෂ වෙන්න.  ඔබ ඒ උත්තම සම්මා සම්බුද්ධ රත්නයේ නාමයෙනුත් ගහ මරා ගන්නවා නම්, තර්ක වාද කර ගන්නවා නම්, භේද බින්න වෙනවා නම්, උන්වහන්සේ උපන් තැන් ආ ගිය මුල ගිය තැන් ස්ථාන වශයෙන්, භෞතික තත්වය වශයෙන් සොයනවා නම්, උන්වහන්සේගේ ජන්ම පත්‍රය බලමින් උන්වහන්සේ වැළඳූ දේවල් සොයමින්, උන්වහන්සේ කතා කල භාෂාව සොයමින්, උන්වහන්සේ පෙන්වා දුන් ධර්මයට තමන්ගේ පරාසය තුලින් පමණක් හසු වන දත්ත අනුව යමින් අර්ථ කථන දෙමින් කටයුතු කරනවා නම් ඔබට මේ සම්බුද්ධ ශාසනයත් මඟ හැරෙමින් පවතිනවා. 

මේ පැවැත්ම කියන්නේම මහා රැවටීමකට, මහා උගුලකට හසු වීමකට!  මේ තණ්හා බැම්ම... දිට්ඨි විපරීත... සංඥා විපරීත හරි හැටි හඳුනා නො ගැනීම තුලින් නැවත, නැවත අරමුණක් පාසා විනාශයට ම පත් වන මහත් වූ ඇමක් වගෙයි!  මේ විපරීතය ප්‍රඥාවෙන් හඳුනා ගැනීමට වැය කල යුතු කාලය, ඔබ විසින් විපරීත වූ භෞතික තත්වයන් සොයන්නට කැප කරනවා කියන්නේ ඉතින් ලෞකික පැවැත්ම තුල ජාති ධර්මයක්, ජරා ධර්මයක්, මරණ ධර්මයක් ම සොයන පෘතග්ජන වූ පර්යේෂණයක් ම සිදු වෙනවා පමණයි.  ඒ නිසා ආර්ය පර්යේෂණයට බැස ගැනීමට දක්ෂ වෙන්න!

කව්රුන් කෙසේ කුමන ආකාරයෙන් පැවසුවත්... ඒ කියන්නේ “කියන්නා කෙසේ කීවත්... අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව“ සිහිපත් වෙත්වා!!!

ඉතින්, මේ ගෞතම සම්මා සම්බුද්ධ රත්නය ඉපදුන බිම සොයන ඔබට, ඒ අනුව පිල් බෙදී තර්ක වාද කර ගනිමින් කාලය නිකරුණේ විනාශ කර ගන්නා ඔබට අනන්ත වූ බුදු සසුන් දැනටමත් මඟ හැරී ඇති බවත්, මේ ගෞතම බුදු සසුන ද මඟ හැරෙමින් පවතින බවත් නිති සිහි වෙත්වා!

හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවීම පසෙකලා විමුක්තිය සොයන්නා සේ අප්‍රමාදීව කැප වෙන්න යැයි සම්මා සම්බුද්ධ රත්නය පැවසූ බුදු ඔවදන පසෙකලා එකිනෙකා ගේ හිස් ගිනි තබා ගනිමින් උන්වහන්සේගේ උපන් බිම සොයනවා නම් එහි ඇති නැණවත් භාවය කොතරම් දැයි නැණවත් ඔබටම වැටහේවා!

අතිශයින්ම අප්‍රමාදීව සම්බුදු සසුනකින් කර ගත යුතු උත්කෘෂ්ඨ වූ නිවීම අවබෝධ කර ගෙන විමුක්තිය ලැබීමට කැමති ප්‍රඥාවන්තයින් උදෙසා පමණි!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා