සැබෑම සැදැහැතියෙක් ද?

මැයි 2021 කතු වැකිය

සැබෑම සැදැහැතියෙක් ද?

සටහනේ අන්තර්ගතය

උත්තරීතර තථාගත ශාසනයක අති දුලභ ව ලැබෙන ශ්‍රද්ධාවන්තයෙක් වීමේ භාග්‍යය ඔබට ලැබී තිබෙනවා දැයි දැන ගන්නට කැමති ද? සර්වඥ වූ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් එක්තරා අවස්ථාවක පහන් වූ සැදැහැතියෙක්... එහෙමත් නැත්නම් ශ්‍රද්ධාවන්තයෙක් කියලා හඳුනා ගන්නේ කෙසේ ද කියන කාරණා කිහිපයක් පෙන්වා දෙනවා. අපි අනුන් ගැන බලන්නට නොවේ තමන් ගැනම විමසා දැන ගන්නට මේ සම්බුදු අනුශාසනාවත් උපකාර කර ගනිමු.

අපේ ශාස්තෘන් වහන්සේ... උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් මෙන්න මෙසේ පෙන්වා දෙනවා.

ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය 1 - තික නිපාතය - පඨම පණ්ණාසකය - 5. චුල්ල වර්ගය - 3.1.5.2 සූත්‍රය (සංගලක්ඛණ සූත්‍රය)

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...

දැන් මේ කාරණා 3 සම්බන්ධය සහ නිවැරදිව තමන් ව විමසා බලන්නට දක්ෂ වෙන්න ඕන.  මෙය බැලූ බැල්මට ඉතාමත් සරල කාරණයක් විදියට පෙනුනත් ඉතාමත් ගැඹුරක් මේ තුල දක්නට තියෙනවා.  

මේ වන බොහෝ දෙනෙක් සිල්වතුන් ලෙසින් මැන ගෙන හදා ගෙන සිටින රාමු හරිම දරුණුයි.  ඒ වගේම තමයි සත්ධර්මය ලෙසින් මැන ගෙන හදා ගෙන සිටින රාමුවත් හරිම අනතුරුදායකයි.  මෙන්න මේ අදක්ෂ බව නිසාම සිල්වතුන් දක්නට කැමති වීම, සදහම් අසන්නට කැමති වීම, මසුරු මල දුරලා විසීම කියන කාරණා 3ම රාමුවකට කොටු වෙනවා.  ඒ විදියට රාමුවකට කොටු වෙච්ච කෙනෙකුට නම් මේ කාරණාවේ දී සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන සැබෑම සැදැහැවන්තයෙක් කියලා කියන්නට නොහැකියි.  එහෙනම් දැන් හොඳින් තම තමන්ගේ හදවත... තම තමන්ගේ වැඩපිළිවෙළ... තම තමන් දරන අදහස ගැඹුරින් විමසා බලන්න ඕන.

තමන් ඇසුරු කරන්නට කැමති... දකින්නට කැමති සිල්වතුන් කව්ද බලන්න?  සිල්වතුන් ලෙසින් ඔබ මැන ගෙන සිටින්නේ කව්ද?  මෙන්න මේ අය දුසිල්වත් කියලා මැන ගෙන සිටින්නේ කව්ද බලන්න?

යමෙක් සිල්වතුන් ලෙසින් “නිර්මාංශ” පිරිස නම් කරනවා.  තවත් සමහර අවස්ථා වල දී යමෙක් පවසනවා “අපි නම් සිල්වතුන් කියන්නේ ආරණ්‍යවාසී හිමිවරුන් ට” කියලා. තවත් වෙලාවක තවත් යමෙක් පවසනවා “මෙන්න මේ ආකාරයේ දහම් කියන අය තමයි සිල්වතුන් ඒ භික්ෂූන් වහන්සේලාට නම් සිල්වතුන් කියන්න පුළුවන් අපි නම් දකින්නට කැමති ඒ භික්ෂූන් වහන්සේලා සහ එය ඇසුරු කරගෙන සිටින පිරිස තමයි” කියලා. 

තවත් විදියකට කිව්වොත් බලන්න ඔබ යම් යම් ආකාරයෙන් කල්ලි ගැසිලා කණ්ඩායම් හදා ගෙන පද්ධති හදා ගෙන ඒ පිරිස තුල පමණක් සිල්වතුන් දකිනවා ද, ඒ ඇසුර පමණයි සිල්වතුන් ඇසුර කියලා ගන්නේ කියලා.  යම් පුද්ගලත්වයක් මුල් කරගෙන සකස් කර ගත්ත පද්ධතියක් තුල පමණයි නම් සිල්වතුන් දකින්නේ තවමත් ඔබට තෙරුවන මුල් වෙලා නෑ. 

ඒ කියන්නේ ඔබට ශාස්තෘන් වහන්සේ ව ගිලිහිලා.  කොතැනක තිබුණත් ඒ ශාස්තෘන් වහන්සේ විසින් ප්‍රකට කල සත්ධර්මය උකහා ගන්නට තරම් තවම දක්ෂතාවය ක් නෑ.  ආර්ය සංඝ රත්නය කියන සීලවන්තයින් දැක ගන්නට තරම් තවම දක්ෂතාවය ක් නෑ.

මෙන්න මේ හේතුව නිසාම ඔබගේ සිතේ දන් දීමට කැමැත්ත ඇති වෙලා තියෙන්නෙත් තමන් තෝරා ගත්ත භික්ෂූන් වහන්සේ නමකට හෝ පිරිසකට පමණයි.  “අපි නම් දෙන්නේ මේ ආරණ්‍යයට... අපි නම් දෙන්නේ මේ වගේ බණ කියන හාමුදුරුවන්ට... අපි නම් දෙන්නේ මෙන්න මේ පද්ධතියට සම්බන්ධ පිරිසට...” මෙන්න මේ විදියට බෙදා ගෙන රාමුවකට කොටු වෙලා තමයි දන් දෙන්නේ.  එයින් බාහිර කෙනෙකුට දන් දීම ට සිතේ අති සියුම් ආකාරයෙන් මසුරු මල යෙදිලා. 

දැන් බලන්න ඔබ ඔබව ම රවටා ගන්නවා වෙන්න පුළුවන් මම නම් සිල්වතුන් දකින්නට කැමති, සත්ධර්මය අහන්නට කැමති, මසුරු මල දුරලා දන් දීමේ ඇලී සිටින කෙනෙක් කියලා.  එහෙත් ඇත්තට ම තවමත් ඔබ ශාසනයේ සැදැහැවන්තයෙක් නම් වෙලා නෑ.  ඔබ යම් පුද්ගලත්වයකට, කල්ලියකට, පද්ධතියකට කොටු වෙච්ච පුද්ගල සරණ ගිය ඒ කොටසේ සැදැහැවන්තයෙක් මිස ශාසනයේ තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්තයෙක් නෙවේ.

ගැඹුර වැටහෙනවා නේද?  හැම මොහොතකම අති සියුම් යෙදෙන වංචනික ධර්මයන් හඳුනා ගන්න.  සිතට එකඟ ව නෙවේ ධර්මයට එකඟ ව විමසන්න.  තෙරුවන් සරණ ගිය සැබෑම සැදැහැවන්තයෙක්... සැදැහැවන්තියෙක් වෙන්නට කැප වෙන්න!  ඔබට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා