තුන් වරුවේ කෙලෙස් සිත්

ජූනි 2021 කතු වැකිය

තුන් වරුවේ කෙලෙස් සිත්

සටහනේ අන්තර්ගතය

මහණෙනි, දහම් තුනකින් යුත් මාගම බෙහෙවින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර තුනකින් ද යත්: මහණෙනි, මෙහි මාගම පෙරවරු මසුරු මල නැග සිටි සිතින් යුතු ව ගෙහි වෙසෙයි, මද්දහන තරහ නැගි සිතින් යුතු ව ගෙහි වෙසෙයි, සවස කාම රාගය නැගි සිතින් යුතු ව ගෙහි වෙසෙයි. මහණෙනි, මේ තුන් දහමින් යුත් මාගම බෙහෙවින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරය ට පැමිණේ යි.

එදිනෙදා ජීවිතයට ඉතාමත් වැදගත් වන කාරණයක් ඉතාමත් කෙටියෙන් විග්‍රහ කර ගන්නට මෙම දහම් කොටස තුලින් උත්සාහ කරමු.  ඉහත දැක්වූයේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ සළායතන වර්ගයේ මාතුගාම සංයුත්තය තුල තිබෙන තීහි ධම්මෙහි සූත්‍රයයි.  එහි දී බුදු පියාණන් වහන්සේ මෙන්න මෙසේ පෙන්වා දෙනවා.

උදේම නැඟිටින්නේ ලෝභ  සහගත අදහස් වලින් යුතුව නම් උදෑසන කාලය ගත වෙන්නේ ඒ ලෝභ සහගත සිතිවිලි වලින් යුතුව නම්...  මද්දහන වන විට තරහ පිරුණු සිතින් යුතුව දහවල් වරුව ගත කරන්නේ ද්වේශ සහගත සිතිවිලි වලින් යුතුව නම්... හවස් වන විට කාම රාගය පිරුණු... කාම අදහස් ඇතිව කාම ආශ්වාදයන් බලාපොරොත්තුවෙන් රාත්‍රිය ගත වන්නේ ඒ අදහස් වලින් යුතුව නම්... මේ ආකාරයට සිත වැඩ කරන කාන්තාව මරණින් පසුව අපාගත වනවා කියලා. 

දැන් ඉතින් පිරිමි පාර්ශවය සතුටු වෙන්න ඕන නෑ “හම්මේ ඇති යන්තම් ගෑණු අයට කියලා තියෙන්නේ අපිට නෙවේ” කියලා.  බුදු හිමියන් විසින් කාත්නා පාර්ශවය මාතෘකා කර ගෙන යම් යම් අවස්ථා වල දී කතා කරන්නට යෙදුණ දහම් කොටස් එකතුවකින් මේ “මාතුගාම සංයුත්තයේ - මාතුගාම වර්ගය” සකස් වී ඇති නිසා තමයි මෙහි කාන්තාව ප්‍රමුඛ වෙලා තියෙන්නේ.  ඒ නිසා ඕවා කාන්තාවන්ට කියූ දේවල්, ඕවා පිරිමි අයට කිවූ දේවල්, ඕවා පැවිදි පාර්ශවයට කියූ දේවල් ලෙසින් වෙන් වෙන් කරලා නො ගැලෙපන විදියට මේවායේ අර්ථ ගන්න සුදුසු නෑ.

ඔබ නිවෙන්නට කැමත්තෙක් නම් කාන්තාවක් වේවා, පිරිමියෙක් වේවා, පැවිදි පාර්ශවය වේවා මේ දේවල් තම තමන්ට ගැළපෙනවාද... ඒවා තමන්ගේ ජීවිතයේ යෙදෙනවා ද යන්න විමසා ප්‍රඥාවන්ත විමර්ශනයක් සිදු කොට, තම තමන්ගේ නිවීම පිණිස මේ දහම් කාරණා තමන්ගේ ජීවිත වලට එකතු කරගන්නට දක්ෂ වෙන්න ඕන.

එහෙනම් බලන්න කාන්තාවක් වුවත්... පිරිමියෙක් වුවත්... තවත් විදියකට කියනවා නම් ගිහි වේවා පැවිදි වේවා... උදෑසන අවදි වූ වෙලාවේ පටන් ගෙන දහවල් කාලය දක්වා ඔබගේ සිත වැඩ කරන ආකාරය විමසන්න. 

උදේ නැඟිට්ට වෙලාවේ ඉඳලා සිතිවිලි පහල වෙන්නේ රැස් කරන්න ද?  තමන්ගේ යමක් තව කෙනෙකුට දීමක් ගැන සිතිවිලි පහල වෙනවා ද?  අතහැරීමේ සිතිවිලි පහල වෙනවද?  උදාහරණයකට අපි ගමු ගෙදර ඉන්න පුංචි දරුවා සෙල්ලම් බඩුවක් අර ගෙන උදේම සෙල්ලම් කරන්න ලෑස්ති වෙනවා... ඒක කැඩෙන බිඳෙන විනාශ වෙන අදහස ඇතිව ඒ දරුවාට සෙල්ලම් කරන්න දෙනවද? “නැත්නම් මේක මේ ලමයා කඩයි ද දන්නේ නෑ... කියලා ටිකක් ලොකු වුනා ම දෙන්න අරං තියනව ද? මතු පරිහරණය පිණිස රැස් කරනවා නේ නේද?  ආහාර පාන වස්ත්‍ර කොච්චර නම් දේවල් ඉතින් රැස් කරනවා ද නේද?  උදේ නැඟිට්ට වෙලාවේ ඉඳලම සිහිපත් වෙන්නේ තමන් රැස් කර ගත්ත ඒවයි... මතුවට රැස් කර ගන්නට තියෙන දේවල් සහ තමන්ට තවමත් නැති දේවල් ද?

ගිහි වේවා පැවිදි වේවා නිවන් කැමත්තෙක් නම් ඉතින් උදෑසන කාලය මේ විදියට තම තමන්ගේ සිත් වල රැස් වන ලෝභ සහගත සිත් හඳුනා ගන්නට ම වෙනවා.  ඒ පර්යේෂණය කල යුතුයි.

උදේ වරුව මේ විදියට සිතන විට දහවල් කාලය වන විට සිත ගොඩක් දූෂ්‍ය වෙලා... කිලිටි වෙලා... රැස් කර ගත්ත දේවල් රැක ගැනීමට සහ රැස් නො කර ගත්ත දේවල් ගැන කම්පාවක් ඇවිත්.  ඒවාත් එක්ක ඔන්න දහවල් වරුවේ නැඟෙනවා දුක, අසහනය, ඉරිසියාව, සැකය, වෛරය, ක්‍රෝධය.. නිමක් නැති අසහනකාරී සිතිවිලි.  අපි හිතමු ගිහි පාර්ශවය නම්... විවාහක නම් ඒ අයට තමන්ගේ සහකාරයා හෝ සහකාරිය තමන්ට රැස් කල දේවල් සහ රැස් නො කල දේවල් ගැන මනින්න පටන් ගන්නවා... දැන් දවල් වෙන කොට ඔන්න එතකොට එනවා “මගේ පැත්තට මෙච්චරයි කරලා තියෙන්නේ... එයාගේ පැත්තට මෙච්චර කරලා තියෙනවා...” වගේ සිතිවිලි සමුදායක්... ඒ එක්ක ම සැකය මතු වෙනවා... ඉරිසියාව මතු වෙනවා... කෙලෙස් කෝටි ගණනින් මතු වෙන්නේ... අත්දැකීම් ඇතිනේ... විමසා බලන්න.  දෙමව්පියන් හෝ වේවා... දරුවන් හෝ වේවා... ඥාති හිත මිත්‍රාදීන් හෝ වේවා... රැකියා ස්ථානයේ හෝ වේවා... ඕනෑම සම්බන්ධයක් හා බැඳිලා මේ කෙලෙස් සහගත සිතිවිලි සමුදායන් හට ගන්නවා.

ඉතින් පැවිදි පාර්ශවය නම් තමන් වහන්සේලාගේ පැවිදි දිවිය තුල රැස් කල සහ රැස් නො කල දේවල්... තමන් අතහැරලා ඉන්න ස්වභාවය ගැන ඇතිවෙන මාන්නක්කාර රැස් කිරීම්... සීලය රැස් කල සහ රැස් නො කල සීලය ගැන... ප්‍රසිද්ධයි ද නැත්ද... දේශනා හැකියාව මත... ආදී පන්සල් ආරණ්‍ය කටයුතු හා බැඳුණු සිව්පසය හා බැඳුණු භෞතික දේවල් මත පමණක් නොවේ මේ විදියට ධර්මයට සම්බන්ධ කාරණා මුල් කරලා කෙලෙස් සහගත සිත් මතු වෙනවා.  උදේ නැඟිට්ට වෙලාවේ ඉඳලා මේ විදියට වැඩ කල සිත නිසාම දහවල් කාලයේ විද්‍යාමාන වන්නේ ඒ හේතුවට අනුව නැඟුන ඵලයක් වවන තරහ, සැකය, ඉරිසියාව ආදි කෙලෙස් සහගත සිත්.

උදෙත් ගත වුනා... දහවලත් ගත වුනා... සවස් කාලය එලඹෙනවා... දැන් මේ අසහනයෙන් නිදහස් වන්නට ආශ්වාදයක් ලබන්නට තියේ නම් කාම ලෝකයේ උපතක් ලබා ඇති මිනිස් අත්බැවයක් ලබා ඇති මිනිසුන් විසින් අග්‍ර කොට සලකන ආශ්වාදයට නිරායාසයෙන්ම සිත් පහල වෙනවා. විවාහ පත් වූවන් උදේ පටන්  සවස් කාලය දක්වා ඇති වූ අසහනයට පත් වූ සිත් වලින් මිදීම පිණිස ආශ්වාදයක් බලාපොරොත්තු වෙනවා.  සමහර විට මහා ලොකු දේවල් නෙවේ එකට කතා කරමින් නිදා ගන්න... ඇඳට වෙලා ඉන්න වගේ පුංචි මට්ටමෙන් පවා නැගෙන මේ ආශ්වාද සොයන කෙලේසය හඳුන ගන්න ඕන.  ඒවා මඟ හැරුනොත් නැවත පසු දින උදෑසන රැස් කර ගත්ත නො ගත්ත ගොඩට ඔන්න එකතු වෙනවා.

විවාහයට පත් නො වූ වන්... පැවිදි පාර්ශවයටත් මේවා පොදුයි... කාම ලෝකයේ අග්‍ර කොට සලකන මේවාට සම්බන්ධ සිතිවිලි හෝ සිතමින් ආශ්වාදයක් ලබනවා.  ඒවා තමන් ට අහිමි වී ඇති ආකාරය සහ හිමි කර ගන්නට සැලසුම්... මේ විදියට පසු දින රැස් කර ගත්ත නො කරගත්ත ගොඩට එකතු වෙනවා.

මම විශ්වාස කරනවා ගිහි වේවා පැවිදි වේවා මේ දහම් කොටස් ඇසුරු කරන්නේ නුවණැති ප්‍රඥාවන්ත ව විවෘත ව විමසන පුද්ගලයින් කියලා. අන්න ඒ නිසා මේ උදේ පටන් රෑ නින්දට යන තුරු ඇති වන මේ සිතිවිලි චක්‍රයේ දරුණු කම ඔබට දැනෙනවා ඇති නේද?  වටහා ගන්නට හැකියි නේද? මේ විදියට දවස පුරාම සිත් පහල වන විට හේතුවට අනුව ඵලයක් විදියට නිරයේ උපතක් ලබන්නේ නැතිව වෙන කොහෙන් නවතින්න ද නේද?  මේ විදියට දවසම ගත කරමින් චුති සිත හෙවත් මරණය හමුවේ දී දිව්‍ය ලෝකයේ හෝ මනුස්ස සිතක් හෝ දැහැන් සහිත බ්‍රහ්ම ලෝකයේ හෝ  අත හැරුණු නිවන් ලබන සිතක් පහල කර ගන්නවා කියලා සිහින මවමින් නැවතත් ලෝභයෙන් රැස් කර ගනිමින් ද්වේශයෙන් ගැටෙමින් මෝහ සහගත මොට්ට ජීවිත ගත නො කරන්නට ඔන්න මේ බුදු වදන ඔබගේ ජීවිතයට එකතු කර ගන්න.

ඔබට පහල වන සිතිවිලි ගැන උදේ වරුව සිහියෙන් ඉන්න... දහවල් වරුව සිහියෙන් ඉන්න... රාත්‍රී කාලය සිහියෙන් ඉන්න... මෙසේ මේ ආකාරයෙන් පහල වෙන්නේ නෑ කියලා සතුටු වෙලා සැනසීමක් ලබන විට අන්න ඒ හිමිකම ගැන ආඩම්බර වෙමින් මාන්නයක් ගැනීම කියන රැස් කර ගැනීම, එසේ නොවන අන් අය හා ගැටීම ආදී අති සියුම් කෙලෙස් සිත් ගැන අවධානය යොමු කරන්න.  

වරදින්නේ නෑ... නිවන් මඟ පිහිටන්නට... නිවන් මඟ ජය ගන්නට... නිවනින්ම නිවී සැනසෙන්නට හැකි වෙනවා නියතයි.  තෙරුවනේ අඛණ්ඩ රැකවරණය ලැබෙනවා නියතයි! 

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා