අදක්ෂකම ප්‍රදර්ශනය!

දෙසැම්බර් 2023 කතු වැකිය

අදක්ෂකම ප්‍රදර්ශනය!

සටහනේ අන්තර්ගතය

එදිනෙදා ජීවිතයේ කටයුතු කර ගෙන යන විට වයස් භේදයක් නැතිවම එක, එක ආකාරයේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ වගේ වෙලාවට ඔබ කටයුතු කරන්නේ කොහොමද? බුදු දහම වේවා... ක්‍රිස්තියානි කතෝලික දහම් වේවා... හින්දු දහම් වේවා... ඉස්ලාම් දහම් වේවා කුමන ආකාරයේ දහමක් අනුව ජීවිතය ගත කලත් මේ වගේ අවස්ථා වල දී ඔබගේ හැසිරීම කෙසේද? අපගේ තමන් ගැනම සිදු කරන මේ පර්යේෂණය සාර්ථක කර ගැනීමට උපකාර විය හැකි යැයි මම විශ්වාස කරන තවත් කාරණයක් මෙවර කතු වැකිය තුලින් විමසමු!

කාරණාව පටන් ගන්න කලින් අපේ ජීවිත වලට මහත් වූ ආශීර්වාදයක් වූ පූජනීය වන්දනීය වැල්ලවත්තේ සීලගවේසී හිමිපාණන් වහන්සේගේ අපට කියලා දුන්න කතාවක් එකතු කරන්නම්.  කුංෆු” කතා මාලාවේ “කේන්” ට “තණකොළ පෙත්තා කියමින් කතා කරන... ඉතාමත් කෙටියෙන් හරි අපූරු අවවාද අනුශාසනා දෙන “මාස්ටර් පෝ” මතකයි ද? අපේ මේ වන්දනීය සීලගවේසී හාමුදුරුවොත් අන්න ඒ වගේ තමයි ඉතින්. ඒ නිසා උන්වහන්සේට අපි නම් කියන්නේ “මාස්ටර් පෝ” කියලා.

කියලා දුන්න කතාවට යමු කෝ එහෙනම්... එදා ගොඩක් වැස්ස දවසක් නිසා ආරණ්‍යය හරහා ගලන ඇල්ල ගොඩක් සැරට තිබුණා... උන්වහන්සේ ඒක පෙන්නමින් තමයි මේ කතාව කිව්වේ.  “ටිකක් හිතන්න පුතේ, අම්මා කෙනෙකු යි දරුවෙකුයි මේ ඇල්ල ලඟින් යනවා.  මේ ඇල්ලට ඒ අම්මාගේ දරුවා වැටෙනවා.  ඒ වෙලාවට අම්මා අසිහියට පත් වෙලා කෑ ගහනවා... “මගේ ලමයා වතුරට වැටුණෝ... මෙන්න ලමයා මැරෙනවෝ” කියලා... උමතුවෙන් එහාට මෙහා ට දුවනවා මිසක් කරන්න ඕන වැඩේ ගැන මෙලෝ සිහියක් එන්නේ නෑ! ඉතින්, මොකෝ වෙන්නේ... එක්කෝ ලමයා මැරෙයි... අම්මට පිස්සු හැදෙයි... නැත්නම් අම්මත්, තමන් පීනන්නත් දන්නේ නෑ කියලා මතක නැතිව මේ ඇල්ලට ම පැනලා මැරෙයි... විනාශයක් නේද වුණේ?  දැන් ටිකක් හිතන්න පුතේ, මේ අම්මා උපේක්ෂාව ප්‍රගුණ කරලා තිබුණා නම්... ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්නට හැකියාවක් හදා ගෙන තිබුණා නම් මේ තමන්ගේ දරුවා වතුරට වැටුණ වෙලාවේ තමන්ට ගන්නට හැකි විසඳුම් ඉතාමත් වේගයෙන් හිතට ගලා ගෙන එනවා.  කෑ ගහන්නේ අර පිස්සුවෙන් විකාර වෙලා නෙවේ... තමන්ගේ ලමයා ව බේර ගන්න හැකි කෙනෙක් ව කතා කර ගන්න තමයි කෑ ගහන්නේ. මහා විනාශයක් වැළකෙනවා නේද?  ඒ නිසා පුතේ, උපේක්ෂා සහගත බව යෙදුනොත් තමයි ඕනෑම කාරණයක සාර්ථකත්වය ලබන්න පුළුවන් වෙන්නේ.  එතකොට තමයි යමක් කෙරෙහි කරන්නට හැකි සුදුසු ම දේ ගැන තීරණයක් ගන්න පහසු වෙන්නේ!”

ඉතින්, අපේ “මාස්ටර් පෝ” ගේ මේ ලස්සන කෙටි අවවාදයත් එක්ක මෙවර කතු වැකිය තුලින් මට කියන්න ඕන වුන කාරණයට මුල පුරන්නම් කෝ.  මේ කාලයේ ලොකු කුඩා සැමට ම ඉතින් මානසික ආතතිය විවිධ මට්ටම් වලින් තියෙනවානේ නේද?  වයස් භේදයක් නැතිවම ඉතින් ප්‍රශ්න... ප්‍රශ්න... ඉතින්, මේ වගේ ප්‍රශ්නයක් කියන වෙලාවට ඔබගේ හැසිරීම කොහොම ද?

තරහා ගිහින්... ඉතාමත් අසහනකාරී ලෙසින්... දුකට පත් වෙලා... කම්පා වෙලා... ජරමර ගොඩයි නේ ඉතින් නේද?  අනෙක් පාර්ශව වලට විවිධ මට්ටම් වලින් හානි කරන්න කටයුතු කරනවා.  පුංචි දරුවාගේ පටන් ගෙන වැඩිහිටි පාර්ශව දක්වා ම තමන්ගේ “ප්‍රශ්නයට මුල” කියලා හඳුනා ගත්තා වූ ජීවි වේවා... අජීවි වේවා සියල්ල කෙරෙහි ඉතාමත් ද්වේශ සහගත ව හැසිරෙන වෙලාවල් තමයි වැඩි.  ඒ මදිවට මේ “වෙඩි කෑව සතෙක් වගේ හැසිරෙන” මේ වැඩපිළිවෙල සාධාරණීකරණය කරන්නට ඉදිරිපත් කරන්න නිදහසට කාරණා මොනවද?  “මට ප්‍රශ්න නේ... මේ දවස් වල මගේ ජීවිතේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා.  ඒ නිසා තමයි මම මේ විදියට හැසිරෙන්නේ... නැත්නම් මම මෙහෙම නෑ... බණක් දහමක් අහන්නවත්... පන්සලකට පල්ලියකට යන්නවත් පුළුවන් ඒවා නෙවේ මට මේ සිද්ධ වෙන්නේ!” කියලා හරි උජාරුවෙන් කියමින් තමයි ඒ වැඩපිළිවෙල සාධාරණීකරණය කරන්නේ.

දැන් ඉතින්, පොඩ්ඩක් නැණවත්ව තමන් දිහා බලන්න.  මේ උජාරුවට කියන්න හැකි තත්වයක් ද ඇත්තටම? ලැජ්ජා වෙන්න එපැයි මෙහෙම කියන්න. ඇයි ඒ?  ඇත්තටම මේ ප්‍රදර්ශනය කරන්නේ තමන්ගේ අදක්ෂ කමක් නෙවේ ද?  සියලු තත්ව යහපත් වන විට යහපත් ආකාරයෙන් හැසිරෙන්න ඕනම කෙනෙකුට පුළුවන් නේ නේද?  ඕකට අමුතු දක්ෂ කමක්... අමුතු ආගමක දහමක අවබෝධයක් ඕන ද? 

කයේ ලෙඩක් දුකක් වේදනාවක් කියලා දෙයක් දැනෙන්නේ නැති වෙලාවට... වටේ ඉන්න හැමෝම ප්‍රශංසනීය ලෙසින් කතා බහ කරන වෙලාවට... කෑම බීම, ඉදුම් හිටුම්, වස්ත්‍රාභරණ ආදී සියලු අවශ්‍යතාවයන් තමන්ට රිසි සේ ලැබෙන වෙලාවට... රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේ කටයුතු හොඳින්ම සිදු වන වෙලාවට... ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න කටයුතු හොඳින්ම කර ගන්න පුළුවන් වෙන කොට... හැම දෙනාගෙන් ම සහායක් ලැබෙන විට... අතේ මිල මුදල් යහමින් ගැවසෙන විට... මේ වගේ තත්වය යටතේ සතුටෙන් සැනසීමෙන් ඉතාමත් ප්‍රශංසනීය චරිතයක් වගේ හැසිරෙන්න කාට බැරි ද?  ඉතින්, ඔබට හිතෙනවද මේක මහා විශාල දක්ෂකමක් කියලා? 

එහෙම හිතෙනවා නම් ඉතින් ටිකක් විතර මොට්ටයි නේද කියලා බලන්න ඕන.  මොට්ටයි කිව්වේ විදලා බලන්න හැකියාවක් නැති යම් කාරණයක් විනිවිද දැකලා එහි සැඟව ඇති යථා ආකාරය හඳුනා ගන්නට දක්ෂ නෑ කියන එකයි.  මොට්ට වුණා වගේ නෙවේ මොට්ටකම ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා ම හානිය තවත් අධිකයි! ඒ නිසා මේ ගැන හොඳින් අවබෝධ කර ගන්න ඕන හොඳේ!  මේ කිව්ව යහපත් යැයි කියන “තත්ව” එකක් හෝ හරියට නැති වෙන කොට මොකද වෙන්නේ ඉතින්? “වෙඩි කෑව සතෙක් වගේ හැසිරෙනවා”!  සැබෑවට ම දක්ෂකමක් තියේ නම් යෙදෙන්න ඕන මේ වගේ වෙලාවට නේද?

වාහනයක් තියා මනුස්සයෙක් සතෙක් වත් යන්නේ නැති පාළු පාරවල් වල වාහනය පැදලා දක්ෂ රියදුරෙක් කියන්න පුළුවන් ද?  හදිසියේ හුළඟ ටිකක් වේගයෙන් හැමුවත් ඇති වාහනය පාලනය කර ගන්න දක්ෂ නෑ... වාහන, මිනිස්සු, සත්තු ආදී හැමෝම ගැවසෙන ඉතාමත් කාර්ය බහුල පාරක වාහනය කිසිවෙකුටත් අනතුරක් නැතිව පැද ගෙන තමන්ගේ අරමුණ කරා නිසි වෙලාවට කිසිම  කම්පාවක් නැති මානසිකත්වයකින් ලඟා වෙන්න හැකි කෙනෙක් නේද ඇත්තටම දක්ෂ රියදුරෙක් වෙන්නේ?

පාරට වාහනය දාගත්ත වෙලාවේ ඉඳලා පදිකයන්ට බැන වදින... සත්තු වත්තම මතක් කර ගෙන අනෙක් වාහන වලට බැන, බැන අනතුරු නොවී නූලෙන් බේරී ගෙන... මාර්ග නීති ඔක්කෝම කඩා ගෙන... දඩ වදින කොට ඒවටත් බැන ගෙන... මේ මහා ජංජාලයක් එක්ක වාහනය පැද ගෙන යන එක දක්ෂ රියදුරු කමක් කියලා ඔබට හිතෙනවා නම් ඉතින්, ආගම දහම මොකක් වුණත් තමන්ගේ මේ තත්වය ගැන නම් ඉතින් තව ටිකක් හිතලා බලන්න වෙයි හොඳේ!  

අදක්ෂකම ප්‍රදර්ශනය කරන්නේ නැතිව දක්ෂ වෙන්නට තම තමන්ගේ ආගම් දහම් තුලින් පෙන්වා දෙන ගැඹුරු වූ යහපත් වූ කාරණාත් උපකාර කර ගන්න කොතරම් නම් හැකියාවක් තියෙනවා ද?  කොහෙද ඉතින්, පිස්සුවෙන් දඟලන කොට මේ කිසිම කාරණයක් උපකාර කර ගන්නටවත් වැටහෙන්නේ නෑනේ ඉතින්! නේද?

යම් ප්‍රශ්නයක් ගැටලුවක් කියලා දැනෙන කායික වශයෙන් ලෙඩක් දුකක් වේදනාවක් වේවා... බාහිර පාර්ශවයක් මුල් කර ගෙන මුහුණ දෙන්නට සිද්ධ වෙන ප්‍රශ්නයක් වේවා... ඕනෑම ඔය වගේ අවස්ථාවක දී ඔක්කොටම කලින් පිස්සුවෙන් වගේ දඟලන්නේ නැතිව පොඩ්ඩක් ඉවසීමෙන් ඒ අවස්ථාව දිහා බලන්න පුරුදු වෙන්න ඕන! අපේ “මාස්ටර් පෝ” ගේ උපමා කතාව තුලින් පෙන්වා දුන්නා වගේ “උපේක්ෂාව” ප්‍රගුණ කර ගන්න ඕන.  ඒ කියන්නේ ඕනෑම දෙයක් දැඩිව ග්‍රහණය කර ගන්නේ නැතිව මධ්‍යස්තව විමසන්න පුළුවන් වෙන්න ඕන.  එතකොට තමයි ඒ කාරණයට තිබෙන විසඳුම් කොච්චර තියෙනවා ද කියලා වැටහෙන්නේ.

ප්‍රශ්නයක් කියන්නේ ම උත්තරයක් තියෙන නිසා නේ.  උත්තරය හමු වෙන්නේ නැත්තේ පිස්සුවෙන් වගේ වටේ ට ම දොස් තබමින් දඟලන නිසයි.  තමන්ට මේ සිද්ධ වෙන සිද්ධිය වටහා ගන්නට නම් උමතු වෙලා බෑනේ... පැහැදිලි මානසිකත්වයක් ඇතිව කටයුතු කරන්න ඕන.  නැත්නම් ඇල්ලට වැටුණ ලමයටයි... පිස්සුවෙන් කෑ ගහ ගෙන ඇල්ලට පැන්න අම්මටයි  දෙන්නට ම ජීවිතය නැති වුණා වගේ තමන්ටත් අනුන්ටත් අනතුරක් කරදරයක් හිරිහැරයක් හානියක් ගෙන දෙන අවසානයක් ම තමයි හැම මොහොතක දීම ලැබෙන්නේ.     

එහෙනම්, “ප්‍රශ්න නැති වෙලාවට තමයි මානසිකත්වය පැහැදිලි... මේ ප්‍රශ්න එක්ක මොනවත් කර ගන්න බෑ” කියලා යම් ප්‍රශ්නයක් ගැටලුවක් එන විට සතෙක් වගේ උමතුවෙන් අදක්ෂ ලෙසින් හැසිරෙන්නේ නැතිව, තමන්ට ලැබූ මනුස්ස ජීවිතය... මනුස්සයෙක් වශයෙන් යමක් ගැන සිතා බලන්නට, විමසන්නට ලැබී ඇති හැකියාව දක්ෂ ලෙසින් ඔප මට්ටම් කර ගන්නට යොමු වෙන්න ඕන!  එතකොට ඔය මානසික ආතතිය කියන ඒවයි... ඒ හා බැදුණු කායික රෝග කියන බොහෝමයක් තත්ව වලට නිකම්ම විසඳුමක් ලැබෙයි! 

ඉතින්, මනුස්ස ජීවිතයක් ලැබූ අවස්ථාව යහපත් ලෙසින් ප්‍රයෝජනයට ගන්න!  එය ඔය කිව්වා වගේ විකාර ආකාරයෙන් භාවිතා කරන්නේ නැතිව නැණවත්ව භාවිතා කරන්න දක්ෂ වෙන්න ඕන!  “ප්‍රශ්න නිසා තමයි මෙහෙම හැසිරෙන්නේ!” කියලා කියන්න හිතෙන වෙලාවට “මම මේ දැන් මගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න තමයි යන්නේ” කියලා සිහියට පත් වෙලා... “ප්‍රශ්න ඇති වෙලාවට තමයි සිහියෙන් ම වැඩ කරන්න ඕන එතකොට තමයි එය නිවැරදිව විසඳගන්නට පුළුවන් වෙන්නේ” කියලා තමන්ට ම කියා ගෙන ඒ අනුව කටයුතු කර ගන්න ඕන හොඳේ! කරලා බලන්නකෝ වෙනස!  එහෙනම් ජය වේවා ඔයාලා හැමෝටම!!!  

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා