අකුසලයට තැනදීම!

ජූනි 2015 කතු වැකිය

අකුසලයට තැනදීම!

සටහනේ අන්තර්ගතය

අකුසලයට තැන දීම හෙවත් ප්‍රසිද්ධ කරන නිසාවෙන් කොතරම් නම් දස අකුසලය කරන්නට හිත් දෙන මිනිසුන් බිහිවෙනවා ඇතියි කියලාද හිතන්නේ? ටිකක් විස්තර කර බලමුකෝ මොකක්ද මේ ඇබැද්ධිය කියලා...

පුවත්පත් හෝ අන්තර්ජාලයේ හෝ වේවා මිනිසුන් අතරට යන මොනයම් මාධ්‍යයක් තුලින් හෝ වේවා ලෝකය පුරාම මුල්තැන දෙන්නේ වැරදි කරන දස අකුසලයේ නිරත වෙන මිනිසුන්ටයි.  

මිනිස්සු මිනීමරන හැටි පෙන්වන්නට, පරුෂ වචන කියමින් ගහ මරාගන්නා හැටි උද්ඝෝෂණය කරනා හැටි පෙන්වන්නට, තවත් කෙනෙක් විචචනය කරනා හැටි පෙන්වන්නට, අපට මේක නෑ අරක නෑ කියලා ලද දෙයින් කිසිවිටකත් සතුටු නොවන පුද්ගලයින් පෙන්වන්නට... 

හොදින් ඉන්න ගමක එක රණ්ඩුවක් ගියොත් එක් අඩුවක් නිසාවෙන් කීපදෙනෙක් කෑ කෝ ගැසුවොත් ඒ දේ තමයි මේ මාධ්‍ය තුලින් ප්‍රචාරය කරන්නේ.  ඒ අනුව මුළු ගමම රණ්ඩුවෙන කෑ කෝ ගසන මිනිසුන් සිටින තැනක් බව නිගමනයට පත්වී දැවෙන්නේ ඒවා බලන ඔබම නෙවේදැයි විමසා බලන්න... අපේ රටේ ගතහොත් මේ රටේ මෙහෙමයි කියලා කොච්චර නම් නරක දේවල් පෙන්වනවාද, පල කරනවාද කියනවාද...  ඒත් ඔබට එදිනෙදා ජීවිතයේදී මේ වගේ කීයෙන් කීයද අත්දැකගන්නට අවස්ථාවක් ලැබෙන්නේ? 

රණ්ඩුවක් නිසාවෙන් හෝ වේවා වරදක් නිසාවෙන් හෝ ප්‍රසිද්ධියක් ලැබෙනවා නම් නොදැනුවත් මිනිසුන් බොහෝම කැමැතියි. අන්න ඒ නිසා මේ විදියට වැරදිම ප්‍රචාරය කරන විට වැරදි කරන පිරිසත් වැඩිවෙන්නට පටන්ගැනීම සාමාන්‍ය දෙයක්.  දූෂණය කලා යැයි කියලා පිරිසක් ප්‍රසිද්ධ කලොත් ඒ ප්‍රසිද්ධිය නම් නියමයි කියලා තවත් පිරිසක් ඒ වගේ වරදක් කරලා තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්නට උත්සාහ ගන්නවා.  මේ වගේ සිද්ධියක් මෑතකාලයේදීත් වුණා මතක ඇති.  ඉන්දියාවේ පිරිසක් විසින් සිදුකල දූෂණයකට මහා ප්‍රසිද්ධියක් දුන්නා ඔබට මතක ඇති.  එතැනින් පසුව දූෂණ කීයක් නම් සිද්ධ වුණා කියලද හිතන්නේ?  ඇයි ඒ?  

දැනටමත් ලෝකය පුරාම ඔප්පු වෙලා තියෙන දෙයක් තමයි ප්‍රසිද්ධ වෙන අදහසින් වැරදි කරන්නට පෙළඹීම.  ඉතින් වැරදි කර හසුවූ බොහෝ දෙනෙක් පවසන්නේ ප්‍රසිද්ධ වෙන්නේ රූපවාහිනියේ පෙනෙන්නට, පුවත්පත්වල පින්තූර දාගන්නට ඒ වගේ දේවල් කලාය කියලයි.   

ඉතින් උදෑසන පිබිදුන වෙලාවේ පටන්ගෙන රාත්‍රී නින්දට යනතෙක් මාධ්‍ය ඇසුරු කරමින් මේ දේවල් ඔබගේ ජීවිතයට ලංකරගැනීම සුදුසුදැයි බුද්ධිමත් ජීවියෙක් විදියට විමසා බලන්නට උත්සාහ කරන්න...   

මේ දේවල් බලමින් මේ තමයි ලෝකයේ සිද්ධ වෙන එකම සිද්ධිය ලෙසින් පිළිගෙන ඒ අනුව ඔබත් දැවෙමින් කටයුතු කිරීම නතර කරගන්නට පිළියම් යොදාගන්න...   

දරුවන්ටත් ප්‍රවෘත්ති බලන්න කියලා පත්තර බලන්න කියලා ඔබෙන් කී දෙනෙක් නම් බලකරනවා ඇතිද?   

මේ දේවල් වලින් මිදී ඔබගේ අවට පරිසරය බලන්න... ඔබට මේ ආකාරයේ රණ්ඩු සරුවල් මිනී මැරීම් වලට වඩා යහපත් වූ බොහෝ දෑ සමස්ථයක් විදියට ඔබ අවට සිද්ධ වන බව ඔබට දැකගන්නට හැකිවේවි... 
ඉතින් මේ ලෝකයේ නරක දෑ ප්‍රසිද්ධ කරමින් ඒවායෙන් මිදීමක් සුවයක් ලැබේයැයි සිතනවාට වඩා පුංචි හෝ හොද දේ තෝරාගෙන ලද දෙයින් සතුටු වෙලා ඉන්න මිනිසුන්ව ප්‍රසිද්ධ කරනවා නම් සමාජයක් විදියට දූෂ්‍ය වීම පවා අවම කරගන්නට හැකිවේවි. 

කෙනෙක් සිදු කල යහපත් දෙයක් ප්‍රසිද්ධ කලාම ඒ පුද්ගලයාව ප්‍රසිද්ධ කලාම ඒ දේ බලාගෙන ඉන්න තව කෙනෙක් ඒ අනුව කටයුතු කරලා තමනුත් ප්‍රසිද්ධිය පත්වෙන අරමුණින් හෝ වේවා යහපත් දෙයක් කරන්නට කියන්නට සිතන්නට උත්සාහ ගනිවී.   

ඉල්ලීම් ඉල්ලා කෑ ගසන උද්ඝෝෂකයන් වෙනුවට ලද දෙයින්  සතුටු වෙන මිනිසුන්ව පෙන්වනවා නම් ඒ දේ දකින තවත් කෙනෙක් තමනුත් එසේ විය යුතුයි කියලා උත්සාහයක්වත් දරාවි... 

පාරේ හෝ වේවා තවත් තැනක හෝ වේවා කුණු දමා තිබෙන ජරා වෙලා තියෙන තැන් පෙන්වමින් හෝ වෙනත් වැඩක් කරවාගන්නට වගකිවයුතු බලධරයින්ට බැන බැන ඉන්නවා වෙනුවට ඒවා තමන් විසින්ම සුද්ධ පවිත්‍ර කරගන්නා තමන් විසින්ම කරගන්නා එක පුද්ගලයෙක් එක් පිරිසක් පෙන්වනවා නම් එය තවත් කෙනෙකුට ඒ දේ කරගන්නට මාර්ගය පාදාවි... 

දැනටමත් මේ වගේ දේවල් පෙන්වනවා ප්‍රසිද්ධ කරනවා තමයි ඒත් එහෙම කරන්නේ චෝදනාවක් විදියට තමයි... වගකිව යුතු බලධරයන් නොකල බවට චෝදනා කරමින් තමයි බොහෝ විට පෙන්වන්නේ... එහෙම නේද?

ඉතින් වැරදි කියන්නේ දස අකුසලයට සම්බන්ධ දේවල් කියන්නේ ප්‍රසිද්ධ කරන්න තරම් සුදුසු දේවල් නෙවේ නේද කියලා විමසා බලන්න.  අපි යමකට ලජ්ජා නම් භය නම් ඒ දේවල් සගවා ගන්නට උත්සාහ දරන එක තමයි වැඩියෙන්ම කරන්නේ.  මේ විදියට ප්‍රසිද්ධ කරන විට ඒවා සාමාන්‍ය දේවල් බවට පත්වෙනවා.  වැරදි කරන කෙනෙක්ට වුණත් අපෝ මේව කොච්චර අය කරනවද කියලා දැනීමක් සිතට දැනෙනවා මිසක් එය නොකල යුත්තක් වැරැද්දක් ලෙසින් හදුනාගැනීම පෙළඹෙනවා අඩුයි.  අන්න ඒ නිසා බුද්ධිමත්ව තම තමන්ගේ ජීවිත වලට ලංකරගත යුතු දෑ සහ නොකල යුතු දෑ තෝරාගන්නට කටයුතු කරනවා නම් ඔබට දැන් සිටිනවාට වඩා මහා සහනයක් ලැබේවි!

 ඉතින් බුදු පියාණන්වහන්සේගේ අවවාදයන් පිළිගන්නට කැමැති නම් ඔබ විසින් මේ දේවල් ගැනත් සිතා බලන්න... ඇත්තටම ඔබ නාමික බෞද්ධයෙක් විදියටවත් ඔබගේ සිත කය වචනය හසුරුවනවාද කියලා ඉතාමත් ගැඹුරින් විමසා බලන්න...

තෙරුවන් සරණින් සැම සතට නිවන් සුවයම වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා