පිරිහෙන්නේ නැතිව ඉමුද?

පෙබරවාරි 2016 කතු වැකිය

පිරිහෙන්නේ නැතිව ඉමුද?

සටහනේ අන්තර්ගතය

මෙවර කතු වැකිය වෙන් වන්නේ ආර්ය ශ්‍රාවකයෙක් හෙවත් ධර්මාවබෝධයට පත්වෙච්ච අරිහත්ඵලයට නොපත් සෝතාපන්න ආදී මාර්ග ඵලයන් ලබා ඇති ආර්ය පුද්ගලයෙකුට පවා ප්‍රමාදය ඇතිකරවන කරුණු කීපයක් පෙන්වා දෙන්නටයි. ඉතින් මේ කරුණු බොහෝම කෙටියෙන් පැහැදිලි කරගන්නට උත්සාහ දරමු.

ධර්මයේ සඳහන් වන පිරිහීමට පත්කරන කාරණා ලෙස පහත කරුණු කීපය පිළිබඳව විමසා බලන්නට තමයි මේ යොමු වන්නේ. මේ කරුණු වලදී  පදයටම ඇලී ගැලී නොසිට ඒ අදහස කුමක්ද කියලා විමසා බලන්නට තරම් ප්‍රඥාවන්ත විය යුතුයි.

  1. ආවාසයන්හි මසුරුකම

  2. කුලයන්හි මසුරුකම

  3. ලාභයන්හි මසුරුකම

  4. ගුණ වර්ණනාවෙහි මසුරුකම

  5. ධර්මයෙහි මසුරුකම තමයි එසේ පෙන්වා දී තිබෙන්නේ.

ආර්ය ශ්‍රාවකයෙකුගේ මාර්ග ඵලයන් පිරීහීමට පත්වීමට හේතු නැති බව බුද්ධිමත් ඔබ දන්නවා ඇති.  ඇයි ඒ?

උදාහරණයක් විදියට මෙහෙම හිතන්නකෝ... ඔබ ලඟ පිඟානක් තියෙනවා.  ඒක රත්තරන් පාටයි. රත්තරන් වගේමයි.  දැන් ඉතින් ඔබ හිතාගෙන ඉන්නේ ඔබේ ඔය පිඟාන රත්තරන් බොහෝම වටිනා එකක් කියලා.  කෑම කනවාට අමතරව ඔබ ඒ පිඟානට බොහෝම වටිනාකමකුත් දීලා එය අනෙක් පිඟන් වලින් විශේෂ කරලා අමතර ආරක්ෂාවකුත් සපයනවා. 

ඉතින් මෙන්න මේ රත්තරන් කියලා හිතාගෙන හිටිය පිඟාන රත්තරන් නෙවේ ඒ පෙනුම තියෙන නොවටිනා ඉමිටේෂන් වලින් හදපු එකක් කියලා දැනගත්තොත් ඔබේ එතෙක් කාලයක් හිතාගෙන හිටිය දේට, ඒ පිඟානට දීලා තිබුණ වටිනාකමට මොනවා වෙයිද? 

ඔබ පරීක්ෂණයක් කරලා කව්රුත් කියන නිසාවෙන් පිලිනොගෙන ඔබම දැනගන්නවා ඒක ඇත්තටම රත්තරන් නෙවේ කියලා.  දැන් ඉතින් කව්රුවත් ඇවිත් පිඟාන දැකලා "අනේ රත්තරන් පිඟානක්" කිව්වාට වත් ඔබට එය රත්තරන් කියලා හැඟීමක් අදහසක් නැවත එයිද?  ඔබට ඔබත් එසේ සිතාගෙන සිටිය කාලය මතක් වෙලා සිනාවකුත් යාවි.  එහෙම නේද?

අන්න ඒ වගේ ලෝකය අසාරයි කියලා ප්‍රත්‍යක්ෂ වීමක් ආර්ය පුද්ගලයෙකුට සත්ධර්මය තුලින්ම ඇතිවෙනවා.  පිඟාන රත්තරන් නොවුනට කෑම කන්න පාවිච්චි කරනවා වගේ ලෝකයේ බොහෝමයක් වැඩකටයුතු වල නිරත වෙන්නටත් මේ ආර්ය පුද්ගලයන් ඒ ඒ අයගේ ප්‍රඥාවන්තකමේ මට්ටම් අනුව කටයුතු කරන්නට අවස්ථාව තියෙනවා. 

සමහර විට රත්තරන් නොවුන පිඟාන කෑම කන්න හෝ රැකගන්න ඕන කියලා අදහස තියෙන කෙනෙක් ඉන්න පුළුවන් වගේ ආර්ය ශ්‍රාවකයෙක් වුනත් අසාර ලෝකයේ ඒ ඒ මට්ටම් වලින් ඇලී ගැලී සිටින්නට අවස්ථාව ඕන තරම් තියෙනවා. 

අරිහත්වයට පත්නොවූ ආර්ය ශ්‍රාවකයන් ඒ ඒ ප්‍රඥාවන්ත මට්ටම් අනුව පැවැත්මට හිත තියන ආකාරය අපි ඕනෑ තරම් කථා බහ කරන නිසා ඒ ගැන නැවත කියන්නට අවශ්‍ය වෙන්නේ නෑනේ.

ඉතින් මට කියන්න ඕන වුණේ අර රත්තරන් කියලා හිතාගෙන හිටිය පිඟාන යම් දිනක රත්තරන් නෙවේ කියලා ප්‍රත්‍යක්ෂ කරගත්ත හැඟීම අදහස කුමක් නිසාවත් පිරිහෙන්නට නැතිවෙන්නට ඒක එහෙම නෙවේ කියලා නැවත ප්‍රත්‍යක්ෂ කරගන්නට අවස්ථාවක් එන්නේ නෑ වගේ තමයි ලෝකය අසාරයි කියලා සත්ධර්මය තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්ත පුද්ගලයෙක් ඒ අදහසින් ඒ ප්‍රඥාවන්තභාවයෙන් නැවත පිරිහෙන්නට හේතු යෙදෙන්නේ නැති වීම.

"ආර්ය ශ්‍රාවකයාගේ පිරිහීම" ලෙසින්  යම් තැනක සදහන් වෙනවා නම් යමෙක් කියනවා නම් කියන්නේ මෙන්න මේ අදහසින් මිස ඵලය / තමන් ලැබූ අවබෝධය පිරිහීමක් නෙවේය කියලා වටහාගැනීම වැදගත් වෙනවා. 

පැවැත්ම තුල යමෙක් කුමන හෝ හේතුවක් නිසා ප්‍රමාදයක් ඇතිවෙනවා නම් ඒ ඒ පුද්ගලයාට ඒ ඒ මට්ටමෙන් ඇත්තටම සිදුවන්නේ පිරිහීමක් තමයි.  අන්න ඒ නිසා තමයි වචනයට සීමා නොවී ඕනෑම වචනයකට අදාලව අදහස ගන්නට අපි නුවණ මෙහෙයවිය යුතු වෙන්නේ.  "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි" කියලත් කියමනක් තියෙනවානේ.  එතකොට තමයි ඒ කිව්ව දේ හරි අර්ථයක් උකහාගන්නට ධර්මයට අනුව ගලපා හැකියාවක් ලැබෙන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ පිරිහීම කියලා අදහස් කරන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රමාද වීමමයි ලෙසින් සිහිතබාගෙන මේ ප්‍රමාදයට හෙවත් පිරිහීමට හේතු වන කරුණු විමසා බැලිය යුතුයි. 

ඉතින් ආර්ය ශ්‍රාවකයෙක් වුවත් සාමාන්‍ය පුද්ගලයෙක් වුවත් මෙන්න මේ කියන කරුණු අවබෝධයෙන් තම තමන්ගේ ජීවිතය ගත කරනවා නම් එය ඒ ඒ පුද්ගලයාට නිවී සැනසීම ප්‍රමාද කරන කරුණක් වෙනවා.

මීලඟ කතු වැකියෙන් මේ පිළිබඳව වැඩි දුර විමසන්නට කටයුතු කරන තෙක් ඔබ සැමට නිවන් සුවයම වෙත්වා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා