ඉවරයක් නැති බන්ධන
මැයි 2024 කතු වැකිය
සටහනේ අන්තර්ගතය
මේ විනාශකාරී සංසාර බන්ධනය අස්සේ සමහර පිරිස මුලාවෙන් අන්ධ වෙලා සිදු කරන වින බන්ධන... වශී බන්ධන... ආදී විවිධාකාර විනාශකාරී කටයුතු ගැනත් ඔබ අහලා ඇතිනේ නේද? යන්ත්‍ර මන්ත්‍ර සාස්තරය කියන්නේ ලංකාවේ හෝ ඉන්දියාව වගේ ආසියාතික රටවල් වල විතරක් තියෙන දෙයක් නෙවේ. ලෝකයේ සෑම රටක ම පාහේ මේ මන්ත්‍ර ගුරුකම් සාස්තරය ප්‍රකටව පවතිනවා. ඉතින්, ඒවා යොදා ගෙන තවත් පුද්ගලයෙක් ව කායිකව, මානසිකව විනාශයට පත් කරන මට්ටමටම කටයුතු කරන්නත් පුළුවන් නිසා මෙය බහුතරයක් පිරිස ගේ සිත් දිනා ගත් සාස්තරයක් නම් නෙවේ.
“නිර්වාණ ධර්ම“ ඔස්සේ මේ මාතෘකාව කතා කරන්නේ මොකද කියලා ඔබට හිතෙනවාත් ඇතිනේ නේද? ඒකට හේතුවත්... එය තමන්ගේ නිවන් මඟට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් අපි මේ කතු වැකියෙන් බලමු!
මේ ලෝකයේ අපි විශ්වාස කලාය... නො කලාය කියලා පවතින තත්වයන් වෙනස් වෙන්නේ නෑනේ. ඒ කියන්නේ ඔබ මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන බන්ධන ආදිය ගැන එතරම් විශ්වාසයක් නැති පුද්ගලයෙක් වෙන්නට පුළුවන්නේ. නමුත් ඔබයි මමයි විශ්වාස කලාය නො කලාය කියලා මේ සාස්තර ලෝකයෙන් බැහැර වෙන්නේ නෑ. මොකද ඒවා විශ්වාස කරන... ඒවා මත යැපෙන පිරිස ඕනෑ තරම් මේ ලෝකයේ ඉන්න නිසා. ඉතින්, කායිකව මානසිකව අධික දුක්ඛිත තත්වයන් මුහුණ දෙමින් මේ විනාශකාරී කටයුතු වල ගොදුරක් බවට පත් වූ ගිහි, පැවිදි දෙපාර්ශවයම අපටත් අපගේ ජීවිතයේ දී මුණ ගැහෙනවා. ඉතින්, අවාසනාවට වගේ ධර්මයේ හැසිරෙනවා ය කියන පිරිසත්, නිවන් මඟ පුහුණු කරනවා ය කියන පිරිස අතරත් මේ විනාශකාරී කටයුතු සරණ යන පුද්ගලයින් ඉන්න බව අපට දැක ගන්නට ලැබෙනවා.
අවිද්‍යාවෙන් අන්ධ වෙනවා කියන්නේ පහසු තැනක් නෙවේ. නිච්ච, සුඛ, අත්ථ, සුභ කියන්නා වූ විපරීත සංඥා කියන්නේ තමන් විනාශ වන හැටි තමන්ටවත් වටහා ගන්නට හැකි තත්වයක් නෙවේ. සම්පූර්ණ පැවැත්ම ම සකස් වෙන්නේ මේ විපල්ලාසය ඔස්සේයි. ඉතින්, මමය, මගේය, මගේ ආත්මය ලෙසින් වටිනාකම් ලැබෙන තැන “මගේ පාලනයේ තබා ගත යුතුයි“ කියන පාලනය කල හැකියි කියන අදහස අනුව තමයි මේ වගේ සාස්තර පවා ලෝකයට එන්නෙත්. අවිද්‍යාවෙන් උපදින මේ මනස කියන්නේ ලෝකයේ අති දරුණුතම ආයුධයයි! එයින් කල හැකි විනාශය තරම් විනාශයක් කල හැකි අවියක්, බෝම්බයක් තවමත් ලෝකයේ විද්‍යාමාන වෙන්නේ නෑ! එහි විනාශකාරී හැකියාව තමයි විවිධාකාරයෙන් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දපනයේ දමා නොගත් සංවර නොවූ මනසක් කියන්නේ මේ වගේ බොහෝ අකටයුතු කම්, අයහපත් දේ සිදු කරන ක්‍රියාවලියක්!
තමන්ගේ දරුවන් ව තමන්ගේ වසඟයේ තබා ගැනීමට විවිධාකාරයෙන් මේ මන්ත්‍ර ගුරුකම් සාස්තරය ඔස්සේ බන්ධන සිදු කරන දෙමව්පියන් පවා සිටිනවා. ඉතින්, ඒ අය දන්නේ නෑ තමන්ගේ වසඟයේ තබා ගෙන යහපතක් කරන්න කියලා හිතලා තමන්ගේ දරුවාට තමන්ගේ දෑතින් ම වහ දුන්නා කියලවත්. සමහර වෙලාවට ධර්ම මාර්ගයේ යන තම දරුවන් ව වළක්වන්නට පවා දෙමව්පියන් විසින්ම මේ කටයුතු කරන අවස්ථා තිබෙනවා. මේ විදියට මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සාස්තරය ඔස්සේ කරන කටයුතු ශරීරගත වුණා ම පසුකාලීනව දරුණු පිළිකා මානසික ආබාධ ආදිය ඇතිවන බව මේ කටයුතු සිදු කරන බොහෝ දෙනෙක් දන්නේ නෑ! තමන්ගේ වසඟයේ තබා ගන්නට යැයි සිතා අවසානයේ ජීවිත හානි සිදු කර ඇති බව මේ අය දන්නේ නෑ!
ඉතින්, කෙලෙස් විසින්ම තමයි සියලු මෙහෙයවීම්. මේ වගේ සාස්තර ඉගෙන ගන්නත්, ක්‍රියාත්මක කරන්නත්, මේ බන්ධන ආදිය සිදු කරමින් ඒ යන්ත්‍ර මන්ත්‍ර සරණ යන්නත්, ඒවායේ ගොදුරක් බවට පත්වීමටත් සියල්ලට මුල කෙලෙස් ම තමයි. රහත් ඵලය ලබන තුරු අප තුල ඇති විවිධාකාර කෙලෙස් මට්ටම් තුලින් ම මේවායේ ගොදුරක් වීමට අපට අවස්ථාව තියෙනවා.
උදාහරණයකට ඔබ අසා ඇති සියලු බන්ධන විනාශ කිරීම පිණිස යොදා ගන්නා “ජලනන්ද පිරිත“ සම්බන්ධ කතා පුවත. එය ථෙරවාද දහම් තුල දැක ගන්නට පවතින කතාවක් නොවුනත් හේතු ඵල දහමට අනුව එවැනි දෙයක් සිදු වන්නට නොහැකියාවක් නෑ. ඒ කතාවේ තියෙන්නේ මෙහෙමයි; අපගේ උත්තම ආර්ය ශ්‍රාවක ආනන්ද හිමියන්ව වශී කර ගන්නට වුවමනා වූ රොඩී කුලයේ කාන්තාවක් උන්වහන්සේට පානය කරන්නට දුන්න ජලය ඔස්සේ වශී බන්ධනයක් සිදු කර උන්වහන්සේගේ සිතේ ඇය කෙරෙහි කැමැත්තක් ඇති කරවා ගත්ත බවයි. මේ ගැන දැක්ක අපගේ සම්මා සම්බුදු පිය රජුන් උන්වහන්සේ ව ගලවා ගැනීම සඳහා උන්වහන්සේගේ පාරමී බලයෙන් සහ බුද්ධානුභාවයෙන් “සියලු බන්ධනයන් විනාශ වීම පිණිස“ අධිෂ්ඨාන තැබූ ආකාරයයි!
සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා තුල පවතින කාම රාග කෙලෙස් බන්ධනය කුළු ගන්වා මේ ආකාරයෙන් සිදු කරන වශී බන්ධන වලට මොහොතකට හෝ හසු වන්නට පුළුවන්. නමුත් ආර්ය ශ්‍රාවකයා හට ඇති ගැඹුරු අවබෝධය... සිහියට පත්වීමට ඇති හැකියාව නිසාම මේ දේවල් තුලින් මානසික ගොදුරක් බවට කවදාවත් පත් වෙන්නේ නෑ! උත්තම ආනන්ද හිමියන්ට ලැබුණා සේම සැබෑවටම අවංකවම නිවන් මඟ ගමන් කරන්නාට අදටත් ඒ උත්තම සම්මා සම්බුද්ධ රත්නය ප්‍රමුඛ කර ගත් ඒ සියලු බන්ධනයන් නැසීම පිණිස වූ ආරක්ෂාව අදටත් තිබෙනවා.
ඉතින්, සියලු බන්ධන කියන්නේ සියලු සංසාර බන්ධනයයි. ඒ සියලු බන්ධන විනාශ වීම පිණිස අවංකවම නිවන් මඟ ගමන් කරන සියල්ලෝ විසින් අධිෂ්ඨාන ඇති කර ගත යුතුයි. උත්තම සම්මා සම්බුද්ධ රත්නය විසින් බොහෝ අවස්ථා වල දී ඇත්ත සොයන්නේ නැති අශ්‍රැතවත් පෘතග්ජනයා ගේ සංසාර ගත බන්ධනය ගැන පෙන්වා දෙනවා.
විටෙක “බුද්ධා දී ආර්යයන් නො දක්නා... සත්පුරුෂ ධර්මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජනයා රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඤ්ඤාණ ආදී ස්කන්ධ ධර්මයන් ආත්ම විසින් අර්ථවත්ව ගෙන ඒවායේ ම බැස ගෙන, මේ අශ්‍රැතවත් පෘථග්ජන රූප බන්ධනයෙන්, වේදනා බන්ධනයෙන්, සංඥා බන්ධනයෙන්, සංඛාර බන්ධනයෙන්, විඤ්ඤාණ බන්ධනයෙන් බැඳුණේ, අභ්‍යන්තර බාහිර බන්ධනයෙන් බැඳුණේ, සංසාර චක්‍රය නො දැක, නිර්වාණය විමුක්තිය නො දැක ක්ලේශ බන්ධනයෙන් ම ඉපිද, බන්ධනයෙන් ම මැරෙමින්, බන්ධනයෙන් ම මෙ ලොවින් පරලොවට යයි“ ලෙසින් ද බන්ධන සූත්‍රය ආදියේ පෙන්වා තිබෙනවා.
ඉතින්, මේ නිවන් මඟ අවකංවම ගමන් කරන සැබෑම විමුක්තිය උදෙසා කැප වන ඔබට මේ ආකාරයේ වින බන්ධන වලට පවා මුහුණ දෙන්නට සිදු වේවි. නමුත් කර්ම විෂය ගැන, හේතු ඵල දහම් ගැන අවබෝධයෙන් යුතු තැනැත්තන් කිසිවිටකත් ඒ තමන්ට වින කල පිරිසට පෙරලා අයහපතක්, නපුරක් කරන්නේ නෑ. ඔවුන් කෙරෙහි මෛත්‍රී කරුණාවෙන් ම තමයි දකින්නේ. ඔවුන් ව මෙහෙයවූ ඔවුනුත් නොදන්නා අවිද්‍යා අන්ධකාරය නම් වින බන්ධනයෙන් ඔවුන්ට ඉක්මනින්ම මිදීමක් ලැබේවා යැයි තමයි මෙත් සිතින් සෙත් පතන්නේ.
ඒ වගේම තමයි මේ වින බන්ධන ආදිය නිසාවෙන් කායික අපහසුතාවයන් ඇති වීම සාමාන්‍ය දෙයක්. ප්‍රඥාවන්තව නිවන් මඟ ගමන් කරන්නෙක් කියන්නේ “මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක්, පැවිදි රුවක්“ නම් වූ සතර පෙර නිමිත්ත අවබෝධයෙන් ම විනිවිද ගියා වූ පුද්ගලයෙක්. ඒ නිසා මේ කාරණා ඔස්සේ කොතරම් කායිකව අපහසුතාවයන් ට ලක් වූවත් පෙරලා තරහක්, වෛරයක් ඇති වෙන්නේ නෑ! ලෙඩ වීම උරුම කරගෙන ඉන්න නිසා ලෙඩ වුණා මිසක් ලෙඩ වෙන්නට නොහැකි නීරෝගී තත්වයක් උරුම වෙලා තිබුණා නම්... මරණය ඉක්මවා අමරණීය තත්වයක් තිබුණා නම් කිසිම බන්ධනයකට ලෙඩ කරන්නට, මරන්නට නොහැකියි නේ නේද? ඒ නිසා යථාර්ථය අවබෝධයෙන් කටයුතු කරන පිරිස බාහිරයට දොස් තබන්නේ නෑ!
ඉතින්, ධර්ම මාර්ගයේ යනවා ය කියන ඔබත් සියලු බන්ධනයන් විනාශ කර ගන්නවා වෙනුවට මේ බන්ධන සිදු කරමින් තමන්ගේ වසඟයේ දේවල් පවත්වා ගැනීම පිණිස මහා පොරයක ඉන්නවා නම් මේ කාරණා ඔබට උපකාරයක් වේවා කියන මෙත් සිතින් තමයි මේ මාතෘකාව සටහන් තැබුවේ. බුදුන්, දහම්, සඟුන් සරණ යන්නට උත්සාහවන්ත වෙන්න. ඔය වටිනා මිනිස් ජීවිත ආලෝකයෙන් අඳුරට අරගෙන යන්නට උත්සාහ කරන්නේ නැතිව මේ දුර්ලභව ශාසනයක් ලබා ඇති කාලයේ අප්‍රමාදී වෙන්නට උත්සාහයක් වත් දරන්න නොහැකි නම් අඩුම තරමේ තමන්ටත් අනුන්ටත් හානිදායක වන, අයහපතක් ගෙන දෙන වැඩපිළිවෙළින් ඈත් වෙන්නට වත් උත්සාහයක් දරන්න.
බැලූ බැල්මට හිත කියාවි මේ කරන්නේ යහපතක් කියලා. ඒ නිසානේ මේ අයහපත් දේ කරන්නට පෙලඹෙන්නේ නේද? හිත කියන, කියන දේ කරලා අමාරුවේ වැටෙන්නේ නැතිව වංචා සහගත මුලාවෙන් ම උපන් සිත හඳුනා ගන්නට ඔය වටිනා ජීවිත කැප කරන්නට උත්සාහයක් දරන්න එහෙනම්!
සත්‍ය වශයෙන්ම සියලු සංසාර බන්ධනයන් නැසූ... සියලු සංසාර බන්ධනයන් ගෙන් විමුක්ත වූ ඒ උත්තම සම්මා සම්බුද්ධ රත්නයේ බන්ධන නැසූ සත්‍යයේ බලයෙන් ඔබට ද මට ද අවිද්‍යා බන්ධනයෙන් ජනිත වූ සියලු බන්ධනයන් විනාශ කර සංසාරයෙන් විමුක්තිය ලබා නිවන් සුවයෙන් සුවපත් වෙන්නට ලැබේවා!!!
පෙර පිටුවට
කව්ද හොඳම මෝඩයා?
මීළඟ පිටුවට
දිනිය යුතු දිනුම් තුනක්