සම්බුද්ධ ශාසනයේ සමඟිය

පෙබරවාරි 2021 කතු වැකිය

සම්බුද්ධ ශාසනයේ සමඟිය

සටහනේ අන්තර්ගතය

මෙකල නිරන්තරයෙන් දකින්නට තිබෙන කාරණයක් තමයි ශාසනය තුල පවතින අසමඟිය. අන් අයගේ මතයන්ට ඔවුන් දරන දෘෂ්ඨීන් ට කිසිදු ගෞරවයක් නො දක්වා එකිනෙකා බොහෝම අසමඟියෙන් විවේචන කරමින් නින්දා අපහාස කරමින් කටයුතු කිරීම සුලබ දෙයක් බවට පත් වෙලා. ඇත්තටම මේ සම්මා සම්බුද්ධ ශාසනයක ස්වභාවය ද? ඔබත් මේ අසමඟිය සිතේ දරන්නෙක් ද? කෙටියෙන් විමසා බලන්නට මෙවර කතු වැකිය යොදා ගන්නට සිත් විය.

නිගණ්ඨනාතපුත්‍ර කියන්නේ ගෞතම සම්මා සම්බුදු රඳුන් වැඩ විසූ කාලයේ වාසය කල ප්‍රසිද්ධ තවත් ශාස්තෘන් කෙනෙක්.  බොහෝ අනුගාමික ශ්‍රාවක පිරිසකුත් හිටියා.  නිරන්තරයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ සමඟ වාද විවාද කරන්නට ද යෙදුණ ශාස්තෘ කෙනෙක් තමයි නිගණ්ඨනාතපුත්‍ර කියලා කියන්නේ.  ඉතින් මේ නිගණ්ඨනාතපුත්‍රයන් මිය ගිය පසු, ඔහුගේ ශ්‍රාවක පරපුර වාද විවාද කරමින් කල්ලි ගැසෙන්නට පටන් ගත්තා.  “මම තමයි ධර්ම විනය දන්නේ... නුඹ මොනවද දන්නේ?... නුඹ වැරදියි... ඔය කියන දේ හි අර්ථය වැරදියි...” ආදී වශයෙන් නිරන්තරයෙන් කල්ලි ගැසී වාද විවාද කර ගත්තා. නිගණ්ඨනාතපුත්‍රයන් සරණ ගිය ගිහි පැවිදි දෙපාර්ශවයම මෙසේ විවාද කරමින් කල්ලි ගැසෙනවා.  හරිම කාලගෝට්ටියක් තමයි තිබුණේ.

නිගණ්ඨනාතපුත්‍රයන්ගේ නික්ම යෑමත් සමඟ එතුමන්ගේ ශාසනයට වෙච්ච මේ අකරතැබ්බය දුටු චුන්ද නම් තෙරුන් නමක් මේ ගැන ආනන්ද හිමියන්ට ද පවසා අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් මෙසේ විමසා සිටිනවා.

“බුදු පියාණෙනි, ඔබවහන්සේගේ නික්ම යෑමෙන් පසු අපගේ ශාසනයේ සංඝයා අතරත් මෙසේ සිදුවේද? එසේ සිදුවුව හොත් බොහෝ දෙනාට අහිත පිණිස අවැඩ පිණිස දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස නො වේවි...” ආදී වශයෙන් සම්මා සම්බුදු රඳුන්ගෙන් විමසා සිටියා.

ඉතින් අපේ බුදු පියාණන් වහන්සේ මෙසේ පෙන්වා දෙනවා...

“ආනන්දය, අනෙක් කාරණා වගේ නෙවේ මාර්ගය හෝ ප්‍රතිපදාව නිමිති කොට ගෙන යම් වාදයක් හට ගත හොත් එය නිසැකයෙන් ම දෙවි මිනිසුන් ඇතුළු බොහෝ පිරිසකට දුක් පිණිස අවැඩ පිණිස අහිත පිණිස ම වෙනවා."

යමෙක් ඔය ආකාරයෙන් අසමඟියෙන් විවාදයන් කරන්නට... වාද කරන්නට හේතු වන මූල කාරණා 6ක් තියෙනවා ලෙසින් කරුණු කාරණා රැසක් ද පෙන්වා දෙනවා...

යමෙක්, කිපෙන සුලුයි නම්... බද්ධ වෛර ඇතියේ වෙයි නම්... ගුණමකු බව ඇතියේ නම්... කුහක නම්... ඉරිසියා සහගත නම්... මසුරුයි නම්... මායා ගති පැවතුම් ඇතියේ නම්... තමන් ගත්ත දෘෂ්ඨියම නිවැරදියි ලෙසින් දැඩිව බැසගෙන සිටියි නම්...  ඒ තැනැත්තා ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරවයෙන් යුතුව යටහත් පහත් කමක් නැතිව වාසය කරන්නෙක්.  ධර්මය කෙරෙහි ද ගෞරවයෙක් නැතිව වාසය කරන්නෙක්, සංඝයා කෙරෙහි ද කිසිදු ගෞරවයක් නැතිව වාසය කරන්නෙක්, ශික්ෂාව පරිපූර්ණය කර ගැනීමට පිණිස පිළිපන්න කෙනෙකුත් නෙවේ.  මෙන්න මේ වගේ අය වාද විවාද කර ගන්නවා... අන්න ඒ විවාදයන් බොහෝ දෙනාට අහිත පිණිස දුක් පිණිස අනර්ථ පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස ම වෙනවා.

ඉතින් මේ ආකාරයෙන් බොහෝ අවවාද අනුශාසනා දෙමින් සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා

“ආනන්දය, මේ ආකාරයෙන් විවාද මූල තමා තුල හෝ අනුන් තුල හෝ දකින්නේ නම් මෙවන් වාද විවාදයන් සඳහා වන මේ මූල හේතු ප්‍රහාණය පිණිස වෑයම් කල යුතුයි.  නැවත මේ විවාද මූලයන් තමන් තුල නූපදින තැනට කටයුතු කල යුතුයි.”

ඒ වගේම තවත් බොහෝ අවවාද උපදෙස් රැසක්ම මේ අවස්තාවේදී ලබා දෙන අතර සූත්‍ර පිටකයේ - මජ්ඣිම නිකායේ - උපරිපණ්නාසකයේ - දේවදහ වර්ගයේ පවතින සාමගාම සූත්‍රයේ සඳහන් ඒ කරුණු තවත් අවස්ථාවක ගැඹුරින් විග්‍රහ කර දෙන්නට කටයුතු කරන්නම්.  මින් පෙර මෙම කොටසේම සඳහන් කින්ති සුත්‍රය ආශ්‍රයෙන් ද විස්තර විග්‍රහ කර දෙන්නට යෙදුණ අතර ඒවා නිරන්තරයෙන් අසා තම තමන්ගේ විමුක්තිය පිණිස උපකාර කර ගැනීමට දක්ෂ විය යුතුයි.

ඉතින් සිහිපත් කරන්නට තියෙන්නේ සම්මා සම්බුද්ධ ශාසයනක් කියන්නේ මෙත් සිත ප්‍රමුඛ ව... යථාර්ථය සම්බන්ධයෙන් වූ සතිය මුදුන්පත්ව... රාගය ද්වේශය මෝහය නම් වූ කෙලෙස් මූලයන් ප්‍රහාණය පිණිස කටයුතු සිද්ධ වෙන ශාසනයක්. 

ඔබට මොහොතකට හෝ ඒ ශාසනයේ ම යම් යම් දෑ නිසා වාද විවාද කර ගන්නට සිතෙනවා නම්... කල්ලි ගැසෙමින් අනෙක් පාර්ශවයට අපවාද උපවාද කරමින් උපහාස කරමින් කටයුතු කරන්නට සිතෙනවා නම්, එසේ කරනවා නම් ඔබ තවමත් ඉන්නේ නිගණ්ඨනාතපුත්‍රයන්ගේ වගේ අන්‍ය වූ ශාසනයක. 

ඔබ තුල තවමත් සම්මා සම්බුදු රඳුන් නම් වූ මහා ශාස්තෘන් වහන්සේ හඳුනා ගැනීමක් සිදු වෙලා නෑ.  ඔබ තුල තවමත් තථාගත ශ්‍රී සත්ධර්මය කවරක්දැයි හඳුනා ගැනීමක් සිදු වෙලා නෑ.  ඔබ තුල තවමත් සත්පුරුෂ ගුණ ආර්ය ගුණ පිහිටා ඇති බවක් සිදු වෙලා නෑ.  එසේ නම් ශාසනය වෙනුවෙන් තර්ක වාද විවාද ගෙන එන්නට තරම් ඔබ තවමත් සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ දක්ෂ වූවෙක් නොවේ.  ඔබ තුලින් දැන හෝ නො දැන ශාසනය යටපත් වෙනවා මිස සම්බුද්ධ ශාසනයකට සිදු වන යහපතක් නොවන බව නුවණැති ව හඳුනා ගත යුතුයි.

විමසන්න... නුවණින්... ප්‍රඥාවන්ත ව... සම්මා සම්බුද්ධ ශාසනයක් අති දුලභයි... ඒ තුල සතිය මුදුන් කරගත් මෛත්‍රී කරුණාව මුදිතා උපෙක්ෂා ආදී ගුණයන් ප්‍රමුඛ කර ගත් මහා ගුණ සමුදායක් ඔබ තුල ඉපදිය යුතුයි.  ඒ ගුණ සමුදාය තුල සිතිවිල්ලෙන්, ක්‍රියාවෙන්, වදනින් හැම මොහොතකම තථාගත සම්මා සම්බුද්ධ ශාසනයක ගැඹුර අති සුවිශේෂී බව ප්‍රකට විය යුතුයි.  වාද විවාද කර ගැනීම සම්මා සම්බුද්ධ ශාසනයක ස්වභාවය නොවේ.  යමෙක් අධර්මයක හැසිරෙන බව දකින්නේ නම් ඒ ගැන පෙන්වා දීමට එකින් එක පිළිවෙලින් අපූරු ක්‍රම රටාවක් බුදු රඳුන් විසින් ම පෙන්වා දී තිබෙනවා.  එහෙත් ඔබ සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ අදක්ෂයෙක් නම් ඔබට ඒ අවවාද අනුශාසනා පවා තවත් එක් විවාද මූලයක් ම පමණයි.

ප්‍රවේශමෙන්!  සම්මා සම්බුද්ධ ශාසනයක් යනු විමුක්තිය පිණිස වූවක් මිස කල්ලි ගැසී තර්ක වාද කරමින් සසර අනතුරට පත්වීම පිණිස වූවක් නොවේ!

ඔබට තෙරුවන් සරණින් සම්මා සම්බුද්ධ ශාසනයම විවර වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා