සත්ධර්ම ප්‍රතිරූපක

අප්‍රේල් 2018 කතු වැකිය

සත්ධර්ම ප්‍රතිරූපක

සටහනේ අන්තර්ගතය

බුදු වදන සැඟව යන්නට... නිවෙන දහම සැඟවෙලා යන්නට... අර්ථය ධර්මය සැඟවිලා ගොස් ලෞකිකවූත් පැවැත්ම පිණිස වූත් ආශ්‍රව සහිතව නිවීම පිණිස නොවූ අර්ථ ධර්ම ප්‍රකට වෙන්නට කටයුතු යෙදෙන කාලයක් බව මොහොතක් මොහොතක් පාසා ඔප්පු වෙමින් තිබෙනවා. ඒ නිසා ඒවා ගැන උනන්දුවෙන් සිටීම ඉතාමත් වැදගත්. නැතහොත් පැවැත්ම නවත්වනවා යැයි සිතාගෙන පැවැත්ම තුලම සිරවී නැවතත් කාලය නාස්ති කරගන්නට සිදුවන්නේ තමන්ටමයි.

සූත්‍ර පිටකය > සංයුක්ත නිකාය 2 > නිදාන වග්ගය > 4 කස්සප සංයුත්තය > 1. කස්සප වග්ගය > 13. සද්ධම්මප්‍රතිරූපක සූත්‍රය > පිටුව 338 – 342 (පී.ඩී.ෆ් පිටුව 359 – 168) එක් අවස්ථාවක මහා කාශ්‍යප තෙරුණ් සම්මා සම්බුදු පියාණන්වහන්සේගෙන් මෙසේ විමසනවා. 

හොඳින් බලන්නකෝ ඔබත් මේ ප්‍රශ්ණයම ඇසූ වාර අනන්තවත් ඇති නේද?

 

බුදු හිමියන් බුදුවී වසර 20ක් යනතුරුත් ශික්ෂාපදයන් පනවමින් විනය නීති මාලාවක් තිබුනේ නෑ.  ඒත් ඒ කාලයේ තමයි අරිහතුන්වහන්සේලාත් බහුලවම පහල වුනේ.  එහෙත් ක්‍රමයෙන් ශික්ෂා පද විනය නිතී මාලාවක් පණවන්නට සිද්ධ වුණා වගේම එන්න එන්නම අරිහත්වයට පත්වෙන පිරිසත් අවම වුණා.  බුදු හිමියන් සිටින කාලයේදීම දැකගන්නට හැකිවූ මේ තත්වය ගැන තමයි මහ කාශ්‍යප මහ රහතන්වහන්සේ විමසුවේ. 

බුදු හිමියන් මේ කරුණ අනුමත කරමින් මෙන්න මෙහෙම පිළිතුරක් ලබා දෙනවා...

 

“සත්වයන් පිරිහෙන කල්හි සදහම් අතුරුදහන් වන කල්හි...” ඉතින් මේ කාරණය නිසා තමයි ශික්ෂා පද බොහෝමයක් තිබුණාට රහත්බැව්හි පිහිටන පිරිස අඩු වෙන්නේ.  ඉන්පසුව හරි අපූරු උපමාවක් ලබා දෙනවා. 

ඔයාලා රත්තරන් වලට ආදේශකයක් විදියට ගන්න ඉමිටේෂන් රත්තරන් බඩු ගැන දන්නවා නේද?  රත්තරන් වගේමයිනේ.  බැලූ බැල්මට හොයන්න පුළුවන්ද?  ලෝකයේ මෙන්න මේ රත්තරන් වලට ආදේශක බිහිවූ කල රත්තරන් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා.  එය හේතුවක් වෙනවා රත්තරන් ලෝකයෙන් නැතිවෙලා යන්නට.  අන්න ඒ වගේ සත්ධර්මය ලෙසින් සත්ධර්මය යැයි පවසන ආදේශක බහුල වෙන විට ඉල්ලුමත් ඒ අදහම් වෙනවා. 

බහුලව තියෙන නිසාත්... ලාභෙට ලැබෙන නිසාත්... පහසුවෙන් ලබාගත හැකි නිසාත් රත්තරන් ආදේශකම හොයනවා වගේ තමයි මිනිස්සු නිවන් දකින්න කියලා පහසු තෝරාගන්නට හැකි සරල දහම් හොයමින් ආදේශකයන්ට රැවටෙනවා.  එහෙමත් නැතිනම් වචන පද විතරක් අල්ලාගෙන වචන පද තේරෙනවා කියලා ගැඹුරු දහම් කියලා නැවතත් ප්‍රතිරූපකයකටම රැවටෙනවා.  අන්න ඒ නිසා සත්ධර්මය සැඟවෙලා යනවා.  අතුරුදහන් වෙනවා. 

 

ඒ නිසා ඔබ ඇසුරු කරන්නේ රත්තරන්ද, රත්තරන් ආදේශකයක්දැයි යන්න විමසිලිමත් වෙන්නට අවශ්‍යයයි.  පහසුවෙන් තෝරාගත හැකි නිසා හෝ වේවා... ගැඹුරු දහම් වචන තිබෙන නිසා හෝ වේවා... බැලූ බැල්මට දේවදත් හිමියන් අනුමත කලාවූ බාහිරවූ සීලවන්ත කාරණයන් තිබෙනවා යැයි හැඟෙන නිසා හෝ වේවා නොරැවටී මඟ නොමඟ කර නොගෙන ප්‍රවේශම්ව තම තමන්ගේ අරමුණට ලඟාවෙන්නට දක්ෂ විය යුතුයි.  එවිට ඔබට සත්ධර්මයේ, තෙරුවණේ ආශ්චර්ය කුමක්දැයි සැබැවින්ම අත්දැකගන්නට හැකිවේවි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා