බුද්ධි මට්ටම් දෘෂ්ඨි මට්ටම්!

අප්‍රේල් 2012 කතු වැකිය

බුද්ධි මට්ටම් දෘෂ්ඨි මට්ටම්!

සටහනේ අන්තර්ගතය

මහා ව්‍යුහ සූත්‍රය කියවන්නට යෙදුන අවස්ථාවක බුදු හිමියන් බොහෝම අපූරුවට දේශනා කල බොහෝම කාලීන සිදුවීමක් විස්තර විග්‍රහ වී තිබෙන අපූරුව දැකගන්නට ලැබුණා. මම හිතුවා කතුවැකිය ලෙසින් එය ඔබ සැම සමඟ බෙදාගත යුතුයි කියලා.

මේ සිදුවීමට සම්බන්ධකම් ‍තියෙන පිරිස් නම් සමහර විට මෙවැනි වෙබ් අඩවි ඇසුරු කරන්නේ නැතිවෙන්නට පුළුවන්.  ඒ අයට මේ ‍වගේ වෙබ් අඩවි තුලත් බොහෝම ගැටෙන්නට කරුණු තියෙන නිසාම ඇසුර කලත් ඇසුරු කරන්නේ මෙවැනි අදසකින්ම වන්නට අවස්ථාව බොහෝම වැඩියි. 

ඉතින් ඔබ ඒ වගේ පිරිසක් අතර දූෂ්‍ය මනසක් ඇතිකර නොගන්නා සැබෑම මිනිසෙක් ලෙසින් තම තමන්ගේ ගැලවීම උදාකරගන්නට හැකියාවක් ඇති මිනිසෙක් වීම උදෙසා තවත් පහසුවක් ලබා දීම පිණිස මේ කරුණු ඔබත් සමඟ මෙසේ බෙදාගන්නට කටයුතු කරන්නම්.

සූත්‍ර පිඨකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතයට අයත් කොටසේ මේ කියන "මහා ව්‍යුහ සූත්‍රය" තිබෙනවා.

ඉතින් මේ සූත්‍රය තුල බො‍‍හෝම අපූරුවට පැහැදිලි කරලා තියෙන්නේ තම තමන් වැළඳගත් දෘෂ්ඨි ශ්‍රේෂ්ඨයි අන්‍ය දෘෂ්ඨීන් ලාමකයි ලෙසින් විවාද කරන දාර්ශනිකයින් සත්‍ය වටහා‍ නොගෙන නිවන් මාර්ගය පසෙක තිබියදී දෘෂ්ඨින් ගැන වාද විවාද කරමින් කාලය නාස්ති කරගන්නා ආකාරයත් එයින් ප්‍රතිඵලයක් නොලැබෙන හෙයින් සංසාර විශුද්ධිය පිණිස උත්සාහ ගත යුතු බවත් යන ප්‍රධාන කාරණායි.

ඉතින් මම බොහෝම කාලීන සිද්ධියක් කිව්වේ ඇයි කියලා දැන් ඔබට වැටහෙනවා ඇතිනේ.  අන්තර්ජාලය ඇසුරු කරන පුද්ගලයෙක් විදියට බොහෝම අවස්ථාවල මේ වගේ පුද්ගලයින් අනන්තවත් හමුවෙනවා.  ඔබටත් එවැනි අත්දැකීම් ඇති කියලා මම හිතනවා.  ඉතින් අන්‍ය ආගම් වලට පමණක් නොවේ එකම ආගම තුල එකම ධර්මය තුලත් ‍නොයෙක් නොයෙක් ආකාරයෙන් දෘෂ්ඨීන්ට එල්ඹගෙන වාද විවාද කරගන්නා ආකාරය දැකීම සැබැවින්ම අනුකම්පාසහගතයි.  හරියට බල්ලෙකුට මස් කට්ටක් ලැබුණා වගේ... තමන්ගේ දෘෂ්ඨිය වෙනුවෙන් පොර කන්නමයි බලන්නේ...

ඉතින් යමෙක් යම් දෘෂ්ඨියක් ගෙන එයම වර්ණනා කරමින් එයටම ඇලෙමින් ඒ ඔස්සේ සිත කය වචනය මෙහෙයවනවා කියලා කියන‍්නේ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමට ගෝචර වන පමණ එපමණ නිසානේ.  ඒ වගේ අයෙකුට තවත් එවැනිම කෙනෙක් කියනවා ඕක නෙවේ හරි මේක කියලා.  දැන් ඉතින් දෙන්නම ගැටෙනවා.  අන්තිමට මිනී මරාගන්න තත්වයට උනත් පත්වෙනවා.  කාටද පාඩුව සිද්ධ වුනේ?  තම තමන්ව තම තමන් ගත් දෘෂ්ඨීන් තුලින්ම විනාශ කරගන්නට මේ අය පෙළඹෙනවා.

ඉතින් මේ දැවෙන පුද්ගලයන් බොහෝමයක් ගිනි පත්තු කරනවා.  ඒ ගිනි අතර නොදැවී ඉන්න මානසිකත්වයක් හදාගන්නට සැබෑ මිනිසෙක් වෙන ඔබ බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.  ඔබ ගරු කරන මතයට අදහසට විරුද්ධව මේ අය කටයුතු කරනවා නම් ඒ අයට අනුකම්පාවෙන් යුක්තව ඉවසීමෙන් ඒ කියන කරන දෑ ඉවසාගෙන තම තමන්ගේ නිවී සැනසීමට සත්ධර්මය ප්‍රායෝගිකව භාවි තාකීරීමම ඔබට සැබෑම භාවනාවක්ද වන බව අමතක කරන්න එපා.  ඒ ඒ අයගේ බුද්ධියේ මට්ටම එපමණ නිසා තමයි ඒ ඒ අය ඒ ඒ දෘෂ්ඨි වල එල්ඹගෙන සිටින්නේ යන්න නැණවත්ව අවබෝධ කරගත යුතුයි. 

ඉතින් ඔබත් නිසි ලෙසින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව මේ නොයෙක් දෘෂ්ඨි වල එළ්ඹගෙන සිටින්නන්ට අනුකම්පාවෙන් ‍යුක්තව වාද විවාදයෙන් මිදි ඒවායෙන් සිත දූෂ්‍ය ‍කර නොගෙන නිවී සැනසීමට පත්වෙන්නට සිහියෙන් සිටින්නට නිතරම උත්සාහ ගැනීම වැදගත් වෙනවා.  ඒ සඳහා ඔබට තෙරුවනේ ආශිර්වාදය උපරිමයෙන්ම ලැබේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා