නිවෙන්නට මංපෙත් විවර කරමු!

මැයි 2011 කතු වැකිය

නිවෙන්නට මංපෙත් විවර කරමු!

සටහනේ අන්තර්ගතය

"නිර්වාණ ධර්ම" වෙබ් අඩවියේ පළමුවැනි කතු වැකියයි. මෙම වෙබ් අඩවිය ඇසුරු කිරීමේදී සිත රඳවා ගත යුතු කරුණු කාරණා කීපයක් මේ සටහනේ අන්තර්ගතයයි.

මුල්ම කතු වැකිය තුලින්, ඔබට දිය යුතු මුල්ම සහ වැදගත්ම පණිවිඩය නම්  "නිර්වාණ ධර්ම" වෙබ් අඩවිය යනු අවිචාරවත් වාද විවාද සහ ද්වේශය මුල්කරගත් මුලාසහගත ක්‍රියා වදන් සඳහා වෙන් වන වෙබ් අඩවියක් නොවන බව සිහිතබාගැනීමේ වැදගත්කමයි. පංච නීවරණ ධර්මයන්ගෙන් දූෂණය කරගත් මානසිකත්වයකින් සද්ධර්මය කොතෙක් ඇසුරු කලද ඔබට නිසි ඵල නොලැබෙනු ඇත.

මෙහි එන ධර්ම කරුණු කිසිවක් එකවර පිළිගෙන හෝ එකවර ඉවත නොදමා  බුද්ධිමත්ව ඔබේ නැණ පමණින් විමර්ශණය කිරීමම ඔබගේ විමුක්තිය පිණිස බොහෝ උපකාර වේ. 

එකවර පිළිගැනීම යනු අන්ධ භක්තියක් වැනිය. එකවර ඉවත දැමීම යනු අවිචාරවත්ව මුලා සහගතව කටයුතු කරන අනුවණයන්ගේ වැඩ පිලිවෙතකි.

සංයමයෙන් යුතුව කරුණු එකින් එක විමසා තම තම නැණ පමණින් විමසන්නට උත්සූක වීම වඩාත් සුදුසුය. සම්මා සම්බුදු පියාණන්වහන්සේලා විසින් පෙන්වා දෙන්නේ ඉතාමත් සියුම් සත්ධර්මයක් එව පංච ඉන්ද්‍රීය ගෝචර නොවන නිසාම යමෙකුට එය එක්වර වටහාගන්නට අනුමාන වශයෙන් හෝ තෝරාගන්නට අපහසු වන්නට පුළුවන්. 

ඒත් එසේ වූ පමණින් ඒ පුද්ගලයා තීරණය කරනවා නම් මේ සද්ධර්මය නොවන බවට එය කොතරම් දුරට සුදුසු නිගමනයක්දැයි තීරණය කිරීම බුද්ධිමත් ඔබටම භාර කරමි.

ඉතින් ඔබ අතරින් එක් අයෙකුට හෝ මේ සසරේ භයංකාරත්වය වැටහී මේ සත්ධර්මය අනුමාන වශයෙන් හෝ වැටහේ නම් නිවන පිණිසම කටයුතු කල යුතු බව තෝරා බේරාගන්නේ නම්, ලෞකික ජීවිතය යහපත් ලෙසින් ගත කරන්නට තෝරා බේරාගත යුතු කරුණුත් වටහාගෙන කටයුතු කරන්නට තීරණය කරන්නේ නම් මේ පුංචි උත්සාහයෙන් ඉහලම ප්‍රථිඵල ලැබෙනවා නොඅනුමානයි!  ඔබ සැමටම තෙරුවන් සරණින් නිවනම වෙත්වා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා