වහල් වූ ශ්‍රවණය

පෙබරවාරි 2023 කතු වැකිය

වහල් වූ ශ්‍රවණය

සටහනේ අන්තර්ගතය

සුපුරුදු පරිදි මෙවර කතු වැකිය තුලිනුත් නිවන් මඟ විවර කර ගැනීමට අත්‍යවශ්‍ය වූ කාරණයක් ඉතාමත් කෙටියෙන් ඉස්මතු කර දීමට උත්සාහ කරන්නම්. තම තමන් ව නැණවත් ව විමසා... තමන් තුල ද මේ කියන ආකාරයේ අඩුපාඩු තිබෙනවා ද යන්න විමසා බලා... තම තමන්ගේ නිවන් මඟ... තම තමන්ගේ විමුක්තිය උදා කර ගැනීම පිණිස කැප වීම තම තමන් ට ම භාරයි!

මෙකල සත්ධර්මය අසන පිරිස ගෙන් බොහෝ පිරිසක් තුල තිබෙන අඩුපාඩුවක් තමයි නිදහස් වූ... නිවහල් වූ ශ්‍රවණය ක් නොමැතිකම.  තවත් විදියකට කියනවා නම් සරලව ම ඇහුම්කන් දෙන්නට බයක් තිබෙන බව තමයි දකින්නට තියෙන්නේ.  ඇයි කියලා ඇහුවා ම කියන්නෙත් “මේ කාලේ එක, එක ජාතියේ බණ දහම් විග්‍රහයන් තියෙනවා නේ... ඒවා අහලා වැරදි වූ මිත්‍යා මාර්ගයක ගමන් කරන්නට වුනොත්... මිත්‍යා මාර්ගය ම දියුණු වුනොත්... වැරදි දහමක් නේ ඉතින් එතකොට ප්‍රගුණ කරලා තියෙන්නේ... ඒ නිසා ඒවාට අහු වෙයි කියලා බයයි” කියලා යි.  

දැන් ඉතින් මේ බය ඇතුලේ සැඟවුණු නිවන් මඟ වසා දමන වැඩක් සිද්ධ වෙනවා.  ඒ මොකක්ද?  “විචිකිච්ඡාව” හෙවත් “සැකය”  කියන නිවන අවබෝධය පිණිස අවශ්‍ය කරන පරිසරය නැති කර දමන නීවරණය, මේ බයත් එක්ක එකට බැඳිලා වැඩ කරන්නට පටන් ගන්නවා.  සත්ධර්ම තුල “විචිකිච්ඡාව” ගැන මෙන්න මෙහෙම තියෙනවා.  “විචිකිච්ඡා  යනු  “මෙසේ වූයේ ද? මෙසේ නොවී ද?” ආදී ලෙස පවතින සැකයයි. ධර්මයන් ගේ ස්වභාවය සොයමින් වෙහෙසේ. දුකට පත්වේ, යන - අරුතින් “විචිකිච්ඡා” නම් වේ”

ඉතින්, ඔබගේ විමුක්තිය පිණිස වූ සෙවීම අවංක නැති වූ විට තමයි මේ අනවශ්‍ය බය ඔබගේ සිතේ හට ගන්නේ.  බුදු හිමියන්ගේ කාලයේත් අද කාලයේ වගේ ම එක, එක අර්ථ කථන සහිත බණ දහම් තිබුණා නේ.  නමුත් මාර්ග ඵල ලාභීන් අඩුවක් වුනේ නෑනේ.  එහෙම වෙන්නට හේතුව හඳුනා ගත යුතුයි. 

ඔබට, ඔබට ම කියලා ප්‍රශ්නයක් නැති වූ විට... ප්‍රශ්නයක් විදියට තියෙන්නේ කොහෙන් හෝ අසා ගත්... කියවා ගත්... බලෙන් පටලවා ගත් ධර්ම සිද්ධාන්ත සම්බන්ධ ප්‍රශ්න වැනි තමන්ට අදාළ නොවන... තමන්ගේ ජීවිත අත්දැකීම් තුලින් තමන්ට ආවේණික නොවුන ප්‍රශ්න නම් ඔන්න ඔබට ඔය ඉහත කිව්ව වගේ බයක් එනවා.  “කව්රු හරියට උත්තර දෙයි ද දන්නෙ නෑ” කියලා.

ඉතින්, රැල්ලට බණ දහම් ඇසුවාට කමක් නෑ... නමුත් අසා ගන්නා දෙයින් ප්‍රතිඵල ලැබෙන්නේ තමන්ට ම ආවේණික වූ ප්‍රශ්නයකට උත්තර සොයන... ඒ ප්‍රශ්නයට අවංක විසඳුමක් සොයනා සිතකටයි.  එවැනි සිතක් නැති වුනා ම වහල් වෙනවා.  ඒ කියන්නේ, යමක් පෙන්වා දෙන පුද්ගලයා සරණ යනවා.  පුද්ගලයින්ට, තමන් නිවැරදි යැයි විශ්වාස කරන මතයන්ට, තර්කයට ලක් කල හැකි කාරණා වලට, වහල් වෙනවා.  එවිට ඇසීම නිදහස් නෑ.  සැම විටම තර්ක උපදිනවා.  මේ කියන දේ හරි ද දන්නේ නෑ... මේ කියන දේ මේ විදියට ගියොත් මෙහෙම වෙනවා.  මේ කියන පුද්ගලයා ඔය කියන විමුක්තිය ලබල ද දන්නේ නෑ.  මේ කියන කාරණය තුලින් විමුක්තිය ලබන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ.  මේ කියන කාරණය තුලින් මාව වැරදි අදහසකට හසු වෙයි ද දන්නේ නෑ...”

ප්‍රශ්න ගොඩයි! කිසිම නිදහසක් නෑ!  එහෙම ගිහින් ඉතින්, අන්තිමට මුලින් ම යමක් කියන පුද්ගලයාගේ ස්වභාවය තමයි විමසන්නේ. ඒ දේශකයා කිව්වොත් “ඔව්, මම විමුක්තිය අත්දකිනවා” කියලා ඔන්න ඉතින් වහල් වෙනවා.  ඇසීම නිදහස් නෑ.  “නෑ අපි අහ ගෙන යමු කෝ... කියන දේ හොඳින් අහ ගන්න කෝ” කිව්වොත් ඔන්න කැමති නෑ!  මේ විදියට අවුලෙන් අවුලට පත් වෙනවා. 

දැනටමත් නිවන පිණිස අප්‍රමාදී වීම පිණිස බණ දහම් විමසන කෙනෙක් නම් ඉතින් ඔබ හොඳට සිහි තබා ගන්න ඕන මේ කියන “නිදහස් භාවයක් නැති ඇහුම්කන් දීම වහල් භාවයෙන් යුතු වීම” සිදු වන බව ඔබටත් වටහා ගන්නට අපහසු වේවි.

ඒ නිසා හැකි තාක්... බණ දහම් කියලා වචන ගොඩක් අසා ගන්නවා වෙනුවට... සිද්ධාන්ත ගොඩක් අසා ගන්නවා වෙනුවට... කියන දේ හි අදහස අවබෝධ කර ගැනීම පිණිස නිදහස් ව ඇහුම්කන් දෙන්න උත්සාහ කරන්න ඕන.  තමන්ට ඇත්තටම ප්‍රශ්නයක් ගැටලුවක් අවශ්‍යතාවයක් ඇතිව නම් යමෙකුට ඇහුම්කන් දෙන්නේ, මේ කියන නිදහස් භාවය... නිවහල් භාවය සකස් වෙනවා. 

නැත්නම් විචිකිච්ඡා නීවරණය ක්‍රියාත්මක වෙලා ඇහුම්කන් දීම තුලින් ඇති විය යුතු ඥානයන් ඇති වීම පිණිස අවශ්‍ය කරන ධ්‍යාන චිත්ත සහිත සමාධිය සකස් වෙන්නේ නෑ.  හැමදාම ඉතින් හොය, හොයා වෙහෙස වෙන්නට සිද්ධ වේවි.  දුකට ම පත් වේවි. කොතරම් නිවැරදි වූ නිර්වාණය පිණිස ම වූ ලෝකෝත්තර වූ බණ දහම් අසන්නට අවස්ථාව ලැබුනත් මඟ හැරෙන බව තමන්ට වත් නො දැනේවි.

ඉතින්, යමක් ගැන තීන්දු තීරණ ගන්නට පෙර හොඳින් අසන්න එපැයි නේද?  ඇසුවොත් තමයි ඒ ගැන නිවැරදි වූ නැණවත් වූ විමසීමක් කරන්නට හැකි වෙන්නේ.  අහන්න කලින් ම අහ ගන්න යන එක ගැන සැක නම්... අහන අතරතුරත් අහ ගන්න එක ගැන සැක නම්... අසා ගෙන අවසානයේ ත් සැකයෙන් ම පිටත් වෙලා යන්න සිද්ධ වෙනවා මිසක් තමන්ගේ ගැටලුවට පිළිතුරක්... ප්‍රශ්නයට විසඳුමක්... ලෝකයෙන් එතෙර වීමට මාර්ගයක් විවර නොවේවි!

ඒ නිසා, බුදු හිමියන් ඇසුරු කල ඒ අවංකව ම තම තමන්ගේ ප්‍රශ්න ගැටලු වලට පිළිතුරු සෙවූ නැණවත් පුද්ගලයින්ගේ ස්වභාවය වටහා ගන්නට ප්‍රඥාවන්ත වන්න.  බලෙන් දමා ගත් ප්‍රශ්න වලට උත්තර සොයන්නට ගිය විට කවදාවත් හමු නො වෙන පෙර නො ඇසූ විරූ දහම් ගැන නුවණින් දකින්න.  තමන්ට යමක් අවශ්‍ය නම් ඒ සඳහා අවංකව ම වෙහෙස වෙන්න.  සිද්ධාන්ත කටපාඩම් කර ගෙන... දහම් කොටස් කට පාඩම් කර ගෙන ඒවාට ගලපමින් අසා ගන්නා කිසිවක් තුල නිදහස් වූ නිවහල් වූ ඇහුම්කන් දීමක් නැති බව දැක ගන්නට නැණවත් වෙත්වා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා