ක්‍රමය කියන්නකෝ!

ජූලි 2018 කතු වැකිය

ක්‍රමය කියන්නකෝ!

සටහනේ අන්තර්ගතය

මෙකල දහම් සොයන්නන් තුල තිබෙන දහම් අවබෝධයට ඉමහත් බාධාවක් වන ස්වභාවයක් තිබෙනවා. ඒ තමයි “කරන්න ඕන ක්‍රමය” සෙවීම. බොහෝ දෙනෙක් පවසන්නේ තමන්ගේ ගැටලුව විසඳාගන්නට අවශ්‍ය කරන ක්‍රමය සොයන බවයි. “නිවෙන ක්‍රමය කියලා දෙන්නකෝ!” කියලාමයි කියන්නේ. මේ සෙවීම නොගැලපෙන සෙවීමක් වෙන්නේ ඇයිදැයි මෙවර කතුවැකියෙන් සොයා බලමු.

මුලින්ම මෙකල බහුල දෙබස් කීපයක් කියන්නම්කෝ...

“මම මෙතරම් බණ ඇහුවා... මම මෙතරම් පොත පත කියෙව්වා... ඒත් මට ඒ කිසිවකින් කරන්න ඕන ක්‍රමය ලැබුනේ නෑ... ඒ නිසා;......”

මෙතැන් පටන්ගෙන මේ වැකිය සම්පූර්ණ කරන ක්‍රමය සැබැවින්ම ශෝචනීයයි... විටෙක යමෙක් මෙසේ පවසනවා...

“ඒ නිසා; මට මෙතැන තමයි හරියටම කරන්න දෙයක් කියලා දෙන්නේ කියලා වැටහුනා ඒ නිසා මම මේ මේ තැන බණ අහනවා (ක්‍රමය අහගන්නවා)... ඒ අනුව පිළිපදිනවා...”

විටෙක යමෙක් මෙසේද පවසනවා...

“ඒ නිසා; මට කරුණාකරල දැන් මෙතැනින් එහාට මොකද කරන්න ඕන කියලා දෙන්නකෝ... එච්චරයිනේ...”

මෙවැනි දේ ඔබතුලත් තිබෙනවාදැයි මේ මොහොතේ විමසා බලන්න.  ඔබත් ක්‍රමය සොයන කෙනෙක්ද? මඟ සොයන කෙනෙක් යන්නෙහි අදහස කුමක්ද?  ඔබත් මෙවැනි ස්වභාවයකින් යුක්ත නම් ඔබට වරදින්නේ කෙසේද?  මේ ආකාරයෙන් බොහෝ පිරිසක් සොයන්නේම ක්‍රමයයි.  ඒ නිසාම ප්‍රතිරූපක දහම් තුල අතරමං වෙනවා. 

කෙටියෙන් පෙන්වා දෙනවා නම් චතුරාර්ය සත්‍ය දහම තුල මෙන්න මේ ආකාරයේ පිළිවෙලක් තියෙනවා...

  1. දුක්ඛ ආර්ය සත්‍ය - දුක පිළිබඳ ඥානය
  2. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය - දුකට හේතුව හෙවත් දුක හටගැනීම පිළිබඳ ඥානය
  3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය - දුක නැතිකිරීම හෙවත් දුක හටගැනීමම නවතා දැමීමේ ඥානය
  4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ආර්ය සත්‍ය - දුක නැතිකරන මාර්ගය හෙවත් දුක හටගැනීමම නවතින ක්‍රමය පිළිබඳව ඇති ඥානය

දැන් මේ ක්‍රමය කියන්නකෝ කියලා හොයන්නේ මොකක්ද?  ඉහත කරුණු තුල 4වෙනි කාරණයයි.  ඇයි මෙහෙම වෙන්නේ?  අප දැඩි බොහෝ දෙනෙක් දැඩි ලෙසින් පටලවාගත්තාවූ කාරණයක් තියෙනවා.  ඒ තමයි දැනටමත් 1වෙනි කාරණය හෙවත් දුක පිළිබඳව ඥානය තමන්ට තියෙනවාය.  ඒ දුකට හේතුව ඉතින් ඇලීම බැඳීම ගැටීම මුලාවනේ.  ඒක නැතිකරගැනීම ඉතින් නිවනනේ... හැබැයි ඉතින් ක්‍රමය තමයි තාම පැහැදිලි නැත්තේ.  භාවනා කලා කලා තාම නෑ.... බණ අහනවා අහනවා තාම නෑ... ඒ නිසා නිවැරදි ක්‍රමය කියලා දෙන්නකෝ කියලාම තමයි හොයන්නේ. 

ඉතින් මෙතැන පටලවාගත් කාරණය තමයි මේ කාරණා 4 අවස්ථා 4කට දමාගෙන තිබීම.  මේ කාරණා 4 එකම මොහොතක අවබෝධයට පත්වෙන කාරණා 4ක්.  ඒ කියන්නේ සත්ධර්මය හෙවත් හේතු ඵල දහම නන් අයුරින් විග්‍රහ වන විට (අවිජ්ජා පච්චයා සංඛාර ලෙසින්වූ වචන නම් නොවේ...) ඒ පිළිබඳව තමන් තුලින්ම අත්දැකීමක් සමඟින් හටගන්නා ඥානයන් තමයි මේ පෙන්වා දෙන්නේ.

  1. ඵලය
  2. හේතුව
  3. හේතුව නිරෝධයෙන් ඵලය නිරෝධ වීම හෙවත් නිවීම
  4. හේතුව නිරෝධ වන ආකාරය / ප්‍රතිපදාව

ඉතින් මේ ටික නිකම්ම නිකම් සරල වචන ටිකක් නෙවේ.  චතුරාර්ය සත්‍ය කියන්නේ සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙකුට පමණක් ලෝකයට මතු කරන්නට හැකි මහා ගැඹුරු, අති සියුම්, පෙර නොඇසූ විරූ ධර්මයක්.  එය අප දන්නා දුක හෝ අප දන්නා දුකට හේතුවක් නොවේ.  අප වරදවාගන්නේ එතැනයි. 

ඒ නිසා නුවණ මෙහෙයවන්නට කම්මැලිකමට  පහසුවෙන් නිවෙන ක්‍රම සොයන්නට ගොස් අනාථ නොවන්නට දක්ෂ වෙන්න.  ක්‍රමයක් නොවැටහේ නම් හෝ යම් ක්‍රමයක් අනුගමනය කරනවා නම් පරිස්සම් වෙන්න.  මන්ද තවමත් තමන්ට මේ කියන හේතු ඵල දහම අවබෝධයක් නොමැතිකමින් එසේ මඟ නොමඟ වී තිබෙනවා වන්නට පුළුවන්.  ප්‍රඥාවන්තව ඇසුරු කල යුතු දහමක් ප්‍රඥාවන්තව විමසන්නට අප්‍රමාදීවන්න!   තෙරුවන් සරණ ලැබී නිවී සැනසෙන්න!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා