මෝඩයෝ දුශ්ශීලයෝ කව්ද?

ජූනි 2012 කතු වැකිය

මෝඩයෝ දුශ්ශීලයෝ කව්ද?

සටහනේ අන්තර්ගතය

මෙවර කතුවැකිය වෙන් වන්නේ අප විසින් සිතා බැලිය යුතු තවත් අපි දැන හෝ නොදැන සිදුකරන කරන්නට නුසුදුසු වරදක් පිලිබඳව සාකච්ඡා කිරීමටයි.

වාද විවාද කරගන්නා සහ ධර්ම සාකච්ඡා පවත්වන පිරිස අතර පවා බොහෝ දක්නට ලැබෙන දෙයක් තමයි අන් අයව පහත් කරලා කථා කරන්නට යෙදීම.  සමහර විට සම‍හරෙක් එය නොසිතාම නොදැන කටට එන නිසා කියනවා වෙන්නටත් පුළුවන්.   ඒත් සමහර කෙනෙක් තමන් දන්නවා අන් අය නොදන්නවා කියලා හුවා දැක්විමට යොදාගන්නවා වෙන්නටත් පුළුවන්.  කෙසේ හෝ දැන හෝ නොදැන සිදුවන දේ තෝරාගැනීම වැදගත් වෙනවානේ නේද?

"මෝඩයා" කියන වචනය ගොඩක් ධර්ම සාකච්ඡාවලදීත් භාවිතා කරන පිරිස් මම දැකලා තියෙනවා.  සමහර වෙලාවට   "මෝඩයෝ ඔහොම නෙවේ මෙහෙමයි" කියලා කියන්නෙත් ධර්මානුකූල නොවෙන හේතු ඵල දහමට නොගැ‍ලපෙන දෙයක් නිවැරදියි කියලා මතු කරන්නටයි.  සමහර වෙලාවට ‍ "මෝඩයා" කියලා කියන්නේ සත්ධර්මය හේතු ඵල දහමට ගැලපෙන ලෙසින් පෙන්වා දෙන පුද්ගලයන්ටයි.  "මෝඩයා" විතරක් නෙවේ "දුශ්ශීලයා" කියන වචනයෙන් සමහර සංඝයා වහන්සේලාවත් වෙන්කර හුවා දක්වා ගරහන්නට සමහර පුද්ගලයන් කටයුතු කරනවා.

කෙසේ හෝ වේවා අවසානයේ මෙවැනි ක්‍රියාවන් සාධාරණීකරණය කරන්නේ "බුදු හිමියනුත් මෝඝ පුරුෂය කියලා කිව්වනේ... බුදු හිමියනුත් දුශ්ශීල භික්ෂුව කියලා කිව්වනේ... බුදු හිමියනුත් මෙහෙම කලානේ" ආදී වශයෙන් බුදු හිමියන්ට සංසන්දනය කරගැනීමෙනුයි.  ඉතින් මෙතැනදී සිතා බැලිය යුතු කරුණු බොහෝමයක් තියෙනවා.

බුදු හිමියන් කොතරම් නම් වාරයක් දේශනා කරලා තියෙනවාද සම්මා සම්බුදු කෙනෙක් සංසන්දනය කරන්නට හැකියාවක් තියෙන්නේ තවත් සම්මා සම්බුදුරජාණන්වහන්සේ කෙනෙකුටම පමණයි කියලා. 

කෙටියෙන් කියනවා නම් අරිහතුන්වහන්සේ කෙනෙක්වත් තමන්වහන්සේව බුදු පියාණන්වහන්සේත් මෙහෙම කලා මමත් කරනවා කියලා කියන්නට, කරන්නට, සිතන්නට යෙදුනේ නෑ.  එහෙම කරන්නට ඇත්තටම හේතුත් නෑනේ.  එහෙම කරනවා නම් කරන්නේ අවිද්‍යවෙන් තවමත් පෙලෙන සසර රෝගියෙකුම තමයි.  එහෙම නේද?

මේ සසර බොහෝම භයානකයි... මේ දුක්ඛිත සසරේ ඔබත් මමත් "මෝඩයන්" වී ඇති බව ඔප්පු වී හමාරයි.  ඒ කොහොමද කියලා මොහොතකටවත් සිතුවද?  අනේ ඔබත් මමත් තාමත් සසරේ.  අපට හේතු තියෙනවා මතු පැවැත්මකට.  ඔබත් මමත් තවමත් නිවන් අවබෝධයට පත්වූ අරිහත්වයට පත්ව සසර කෙලවර කර ප්‍රඥාවන්තයින් නෙවේනේ. 

එහෙනම් ඔබටවත් මටවත් කොයින්ද අයිතියක් තවත් අපි වගේම සසර අනාථයෙකුට මෝඩයෙක් කියලා කියන්න?  ඔබත් මමත් තවමත් රාගයන් යුක්තයි ද්වේශයෙන් යුක්තයි මෝහයෙන් යුක්තයි කියලා කියන්නේම තවම අපේ සීලය පරිපූර්ණ වෙලා නෑ කියන එකනේ එහෙනම් අපට කොයින්ද අයිතියක් සීලය හෝ දුශ්ශීලය මනිමින් තවත් අප වගේම සසර අනාථයෙකුට සිල්වත් නෑ කියලා කියන්න?

මෙන්න ‍මේ නිසා තමයි බුදු හිමියන් සැමවිටම දේශනා කලේ තමන් තුල බලන්න කියලා.  තමන්ගේ වරද හදුනාගෙන නිවැරදි කරගන්න කියලා.  මේ ධර්මය තුල සම්පූර්ණයෙන්ම පෙන්වා දෙන්නේ තමන්ව සොයාගන්නා, තමන්ගේ ඇත්ත දැකගන්නා, තමන්ව අධ්‍යනය කරගන්නා මාර්ගයක්.   තමන්ගේ කන්දේ සිට කෙන්ද දක්වාම නිවීමක් නැතිකර දමන ගින්න සොයාගන්නා මාර්ගයක්...

අනුන්ගේ කෙන්ද සොයමින් කාලය නාස්ති කරගන්නට කාලයක් ඇත්තේම නෑ කියලා වටහාගෙන සෑම මොහොතක්ම ‍තමන්ගේ සත්‍යය සොයාගන්නට මේ සත්ධර්මය තමන් දන්නා තරමින් තමන්ට වැටහෙන තරමින් යොදාගෙන කටයුතු කරන්නට උපරිමයෙන් උත්සාහ කල යුතුම වෙනවා. 

ඒ පිලිවෙත තවත් මම වැනිම ඔබ වැනිම සසර අනාථයෙක් සමඟ බෙදාගන්නා විට තම තමන්ගේ අනුවණකම් කථා කරගන්නා විට සැබැවින්ම තම තමන් කෙරෙහිම අනුකම්පාවක් මිදීමේ වුවමනාවක් ඇතිවම සාකච්ඡා කරන්නේ නම් තවත් කෙනෙකුට සිත්රිදවීමක් නොවී තවත් කෙනෙක්ට තමන් පහත්වූවා යන හැඟීමක් නැතිවම මේ ධර්මයේ ඵල උපරිමයෙන් නෙලාගැනීමට හැකිවේවි! 

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා