අනුන්ට දහම් දෙසුමට පෙර

ජූනි 2018 කතු වැකිය

අනුන්ට දහම් දෙසුමට පෙර

සටහනේ අන්තර්ගතය

අවස්ථාවත් ඇති නිසාවෙන්... තාක්ෂණයත් දියුණු නිසාවෙන්, මෙකල බොහෝ පිරිසක් තම තමන් දහම් යැයි හැඳිනගත්තාවූ දෑ තවත් පිරිස් වෙත ලබාදෙන්නට කටයුතු කරනවා. සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ ඔවදන වූයේ නම් අනුන්ට දහම් දෙසුම එතරම් පහසු කාරණයක් නොවන බවත්, එසේ දෙසන්නට මත්තෙන් තම තමන් තුල මෙම කාරණා තිබේදැයි විමසා බැලීම වැදගත් බවත්ය. මෙවර කතු වැකියෙන් ඒ වැදගත් කරුණු විමසා බලා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන්නට උත්සාහවන්තවෙමු.

එක්තරා අවස්ථාවක උදායී තෙරුන් විසින් විශාල ගිහි පිරිසක් රැස්කරගෙන සත්ධර්මය දේශනා කරනු දැක ආනන්ද හිමියන් විසින් සම්මා සම්බුදු පියාණන්වහන්සේට ඒ බව පවසනවා.  එවිට සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් අනුන්ට දහම් දෙසුම එතරම් පහසු කාරණයක් නොවන බව පෙන්වා දෙමින්, අනුන් හට දහම් දෙසනවා නම් තිබිය යුතු ලක්ෂණ කිහිපයක් පෙන්වා දෙනවා. 

අඩංගු ත්‍රිපිඨක ග්‍රන්ථය - අංගුත්තර නිකාය 3 <  පඤ්චක නිපාතය < චතුක්ක පණ්ණාසකය < 1. සද්ධම්ම වග්ගය < 9. උදායී සූත්‍රය < පිටු අංකය  300 (PDF පිටු අංකය 321)

 

  1. “අනුපූර්ව කතාව කියන්නෙමි” - පිළිවෙලින් කල යුතු කතාව කියමින් අනුන් හට සත්ධර්මය දෙසිය යුතුයි.

  2. “පරියාය දක්වන්නෙම් කථා කියන්නෙමි” - දහම් කරුණු දක්වමින් අනුන් හට සත්ධර්මය දෙසිය යුතුයි.

  3. “කරුණාව දයාව අනුකම්පාව පිණිස කියන්නෙමි” - අනුන් කෙරෙහි කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් යුතුව සත්ධර්මය දෙසිය යුතුයි.

  4. “ලාභාපේක්ෂා නැතියෙම් කතා කියන්නෙමි” - ලාභ කීර්ති ප්‍රශංසා ආදීවූ ලාභයක් අපේක්ෂාවෙන් තොරව සත්ධර්මය දෙසිය යුතුයි.

  5. තමා හා මෙරමා නොගටා, නොපෙලා කතා කියන්නෙමි” - තමන්වත් දහම් අසන අන් පිරිසත් නොගැටෙන අයුරින්... නොපෙලෙන අයුරින්... තමන්වත් අනුන්වත් නොනසා සත්ධර්මය දෙසිය යුතුයි.

අනුන් හට දහම් දෙසනුයේ නම් තමන් තුල මේ කියන්නාවූ කරුණු 5 තිබේදැයි නැවත නැවත විමසා බලමින් අනුන් හට දහම් දෙසීම යෝග්‍ය වේ.

සැබැවින්ම සත්ධර්මය අවබෝධයෙන් යුතුව කටයුතු කරන විට මේ කියන්නාවූ කරුණු 5 ඔවුන් තුල විමසීමක් සිදුවෙනවා.  එයට හේතුව තමයි සත්ධර්මය අවබෝධ වන්නට වන්නට... සත්ධර්මයේ ගැඹුර දකින්නට දකින්නට ඒ පුද්ගලයා තෝරාගන්න කාරණය නම් සත්ධර්මය යනු අනුන්ට පහදා දෙන්නට පහසු කාරණයක් නොවන බවමයි. 

කරුණාව දයාව අනුකම්පාවම පෙර දැරිව මෙත් සිතින් යුතුව වචනයක් හෝ කියන්නට උත්සාහ දරන්නේ නම්, එය පිළිවෙලින් මුල මැද අග නිවෙන දහම් කැටිකොට පිළිවෙලින් නිවීම පිණිසම කරුණු ගොනු කරමින් තමන්වද අනුන්වද නොනසා... නොපෙලා... ඉතාමත් ගෞරවයෙන් යුතුව සත්ධර්මය ප්‍රකාශ කරයි.  සත්ධර්මය අවබෝධයෙන් යුතුව අන් අයටද පෙන්වා දෙන්නා තුල සත්ධර්මාවබෝධයෙන්ම ලැබූ ලෝකයේ යථා ස්වභාවය කෙරෙහි වූ ඥානයන් සහ ඒ කෙරෙහි වූ සිහිය කිසිදු ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් අපේක්ෂා නොකරයි. 

අන්න ඒ නිසාම, මොහොතකට හෝ අන් අයට දහමක් පෙන්වා දෙන්නට කටයුතු කරන විට මේ කරුණු 5 ඔබතුල ක්‍රියාත්මක නොවේ නම් සත්ධර්මාවබෝධයෙන් තොරව දහම් දැනුමක්මක් ප්‍රකාශ කරන බවද හඳුනාගෙන ප්‍රවේශම්වීම ඉතාමත් වැදගත් වෙනවා.  මන්ද එසේ නොවුනහොත්, ඔබ සත්ධර්මය ලෙසින් ප්‍රතිරූපකයක්ම ලෝක සත්වයාට ප්‍රකට කොට තමන්ද තවත් බොහෝ පිරිසක්ද නොමඟ යවන්නට කටයුතු සිදුකරන නිසාවෙනි. 

සත්ධර්මය යනු පරහට දෙසන්නට මත්තෙන් තමන් විසින් නිසි ඵල නෙලාගත යුත්තකි.  තමන් නිසි ඵල නෙලාගන්නා තරමින් තෙරුවණ කෙරෙහි ඉමහත් වූ ගෞරවයත් සත්ධර්මය අසත්ධර්මය හා මුසු නොකරන්නට වගකීමෙන් යුතුව කටයුතු කිරීමත් සිදුවෙනවා.  ඒ වගකීම තමන් තුල වේදැයි සොයා බලා නිවන් මග නිසි ඵල ලැබගන්නට තෙරුවනේ රැකවරණය නොඅඩුවම ලැබේවා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා