අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස?

දෙසැම්බර් 2018 කතු වැකිය

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස?

සටහනේ අන්තර්ගතය

අන්තර්ජාලයේ සැරිසරන විට ලොව පුරා නොයෙක් පුද්ගලයන්ගේ අදහස් මතවාදයන් විවිධ මාතෘකා ඔස්සේ දැකගන්නට ලැබෙනවා. විටෙක මා ලියන කියන දේවල් වලට සෘජුවමද තවත් විටෙක වෙනත් පුද්ගලයන් සහ මාතෘකා ඔස්සේ ගොඩනැගී ඇති සැටිද දැකගන්නට හැකිවෙනවා. ඔබත් කමෙන්ට්ස් ලෙසින් ඔබගේ අදහස් විවිධාකාර ලෙසින් ප්‍රකාශ කරනවා ඇති. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යැයි පවසමින් පවසන දේ සැබැවින්ම මානුෂීයදැයි විටෙක සිතෙනවා. මෙම ප්‍රකාශන කොතරම් අමානුෂීයදැයි දැනුන මොහොතක සිතට නැඟුන අදහස් පෙලක් මෙසේ මෙවර කතු වැකියට එකතු කරන්නට සිත්විය.

ගත යුත්තක් වේ නම් ගෙන නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්නෙකු බවට පත්වෙත්වා!

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නම් සැබැවින්ම විනාශකාරීයි...

කොතරම් විනාශකාරීද යත් මනුස්සකම විනාශ කර දමන්නට තරම් විනාශකාරීයි...

නිවසේ සිට නගරයටත්... නගරයෙන් සමාජයටත්...

අන්තර්ජාලය... මුහුණු පොත... ආදී එකී නොකී සෑම තැනකම...

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය...

සමාජ ජාලා... සමාජගතවීම පිණිසයි...

සමාජ ජාලාවන් ඇත්තේ මිත්‍රශීලීබව වැඩිකරගැනීම පිණිසයි...

සතුටින් නිදහසෙන් තමන් සතු යහපත්ම දේ එකිනෙකා අතර බෙදාහදාගැනීමටයි...

සමාජ ජාලාවන් ඇත්තේ එකිනෙකා වෙනුවෙන් එකතුමුව නැඟී සිටින්නට උපකාරයක් වන්නයි....

එහෙත් දැන්?  සිදුවන්නේ කුමක්ද?

සමාජ ජාලා ඔස්සේ එකිනෙකාට විරෝධය පෑම්...

තව කෙනෙක්ගේ සිතන පතන හැසිරෙන සැමදේම තුලින් පුද්ගල විවේඡනයන්...

මමත්වයෙන් පිරීගොස් උමතුවෙන් අදහස් ප්‍රකාශ කිරීම්...

ගෝලීයකරණය සිදුවිය යුත්තේ යහපත පිණිසයි...

අප තුල ඇති අපූරු දේ එකිනෙකා සමඟ බෙදා හදා ගැනීම පිණිසයි...

එහෙත් බලන්න... ඒ වෙනුවට අප මොනවද උරුම කරගෙන තිබෙන්නේ?

අප තුල පවතින කුණු ගොඩවල් නොවේද?

එකිනෙකා මත හෙලන්නට අවස්ථාවක් ලැබෙන තුරු පොදි බැඳන් සිටින කුණු ගොඩක්ම නොවේද? 

මනුස්සයෙකුට හැකියි තවත් ජීවියෙකුට යහපත් දේ උරුම කර දෙන්නට...

එහෙත් බලන්න අප කොතනද නතර වී ඇත්තේ?

අප තුල මනුස්සකම හැරෙන්නට හැමදේම තිබෙනවා!!! 

ආගමික වදනක් බෙදා ගත යුත්තේ තවත් හිතක් සුවපත් කරන්නටයි...

ඒ වෙනුවට බලන්න අප කරනදේ...

ආගම් සසඳනවා... එකිනෙකාට ආගමික විශ්වාස තුලින් පහර ගසාගන්නවා...

කොතරම් වේදනාකාරී ලෙසින් සිත් තුවාල කරනවාද කියනවා නම් ඒ සිත් සුවපත් කරන්නටත් නොහැකි තරම්...

බලන්න... අප මොනවද මේ උරුම කරගෙන තිබෙන්නේ?

ඔබට හිතෙනවද මෙය නිදහසක් කියලා? මට නම් හිතෙන්නේ මෙය සිරගතවූ මනසක ඇති පීඩනයක් කියලයි...

නිදහස් වන්න... නිවැරදි ක්‍රමයට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබන්න...

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ නාමයෙන් තවත් ජීවියෙකුට හානි නොකරන්න...

මුළු මහත් මනුස්ස සංහතියටම කෲර ලෙස බලපෑම් කරන්නාවූ ඔබගේ ප්‍රකාශන මමත්වයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඉරිසියාවෙන්, කුහකබවින් තොරවූ විස සහිත අදහස් මතවාදයන්ගෙන් තොරවූවක් බවට පත්කරන්නට වග බලාගන්න!!!

හිතන්න... තේරුම් ගන්න... ඉන්පසුව ප්‍රකාශ කරන්න!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා