කම් සැප තුල නිවීම

නොවැම්බර් 2023 කතු වැකිය

කම් සැප තුල නිවීම

සටහනේ අන්තර්ගතය

බුදු දහම ලෙසින් මේ වන විට ප්‍රතිරූපක දහම් බොහෝමයි කියලා යන්තමට හෝ නුවණක් ඇති පිරිසට නම් වැටහෙනවා. අද අපි මේ වන විට ප්‍රකට මතයක් වන “නිවන් දුටු... අතහැරීම අත් දුටු... සිතකට නො ඇලීමෙන් යුතුව ඕනෑම කටයුත්තක් කරන්නට හැකියි!” කියමින් ප්‍රකාශ කරන බුදු දහම නමින් ප්‍රකාශ වන තවත් එක් වරදවා ගත්තා වූ දෘෂ්ඨියක් ගැන කෙටියෙන් විමසා බලන්නට මෙවර කතු වැකිය තුලින් උත්සාහ ගනිමු!

පොඩි දුවගේ සිනා වැලයි - පොඩි පුතුගේ කතා පෙලයි - ප්‍රිය බිරිඳගේ සෙනේ විලයි - මගේ නිවන මගේ පැල්පතයි....// මෙන්න මේ වගේ නිවනක් ගැන, තථාගත ධර්මයේ නාමයෙන් ප්‍රකාශ කරන “නිවන් දුටු... අතහැරීම අත් දුටු... සිතකට නො ඇලීමෙන් යුතුව ඕනෑම කටයුත්තක් කරන්නට හැකියි!” යැයි යමෙක් පවසන විට “අන්න ඒක තමයි හරි! ඒක කරන්න පුළුවන්” කියලා එකවරම ඒ අදහස් වලට ආකර්ශණය නොවී නුවණක් වේ නම් ඔබ මෙන්න මේ ගැන සිතා බලන්නට උත්සාහවන්ත වෙන්න ඕන කියලා තමයි මගේ නම් අදහස!

විමුක්තිය ලෙසින් විවිධාකාර අදහස් මතවාද ලෝකය පුරා හැමදාම තිබුණා... තියෙනවා... මතුවටත් එහෙමයි.  ඒ වගේ ලෝකයකට තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන සියලු දේ තතු සේ දන්නා ප්‍රඥාවන්තයෙක් පහල වෙලා “සැබෑ විමුක්තිය” කියන්නේ මොකක්ද කියලා පෙන්නලා දෙන්නේ.  ඉතින්, මෙය අවබෝධ කර ගන්නට ඉතාමත් අපහසු කාරණයක් නිසාම බහුතරයක් දෙනා මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් පෙන්වා දෙන්නෙත් තමන් විශ්වාස කර ගෙන ඉන්න විමුක්තියම තමයි කියලා රැවටීමත් සාමාන්‍ය දෙයක්.  ඒ නිසා තමයි “නැණවත් පර්යේෂණයක්... විමර්ශනයක් අවශ්‍යයි... එසේ කර ගන්නා ප්‍රඥාවන්තයින්ට නම් ඒ සැබෑම විමුක්තිය අවබෝධ කර ගැනීමට මඟ විවර වෙනවා!” කියලා කියන්න පුළුවන් වෙන්නේ!

එසේ නම් දැන් මේ ලෝකයට සැබෑම විමුක්තිය හෙවත් “නිවන” කියන විෂය ඉදිරිපත් කල ශාස්තෘන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් යම්, යම් අදහස් මත ප්‍රකාශ කරන විට ඒ ශාස්තෘන් ගැන සොයා බලන්න... උන්වහන්සේ ගැන ප්‍රකට කතා විමසා බලන්න තරම් වත් නැණවත් භාවයක් තියෙන්න ඕන.

රජකම... රජ සැප... අති සුන්දර බිරිඳ... පුංචි පුතා... ආදී අධික වූ සැප සම්පත් රැසක් අතහැර සැබෑම විමුක්තිය උදා කර ගත්ත ඒ ශාස්තෘන්, සැබෑම “නිවන” ගැන පෙන්වා දුන්නා වූ ඒ ශාස්තෘන් “නිවන් දුටු... අතහැරීම අත් දුටු... සිතකට නො ඇලීමෙන් යුතුව ඕනෑම කටයුත්තක් කරන්නට හැකියි!” කියමින් දැන් බහුතරයක් කරන සාමාන්‍ය ගිහි කටයුතු කරලා තියෙනවද කියලා උන්වහන්සේ ගැන ඇති කතා තුලින් වත් විමසා බලන්න ඕන ඉතින්!

මේ විශ්වයේ ම සියල්ල දැන ගෙන සිටිය සර්වඥතා ඥාන සහිත සම්මා සම්බුදු කෙනෙකුට මේ සාමාන්‍ය පිරිස වගේ නෙවේ නේ ඕනෑම දෙයක් කරන්නට හැකියාවක් තියෙනවා.  ඒකත් ඔය කියන විදියට අතහැරීමෙන් යුතුව.  ඉතින්, නැවත තිබුණේ නැද්ද නැවත රාජ්‍ය පාලනයක් කරන්න යන්න?  සක්විති රජකම් කරන්නට තරම් හැකියාවක් ඥානයක් තිබූ උන්වහන්සේට තිබුණා නේ “මම දැන් නිවන් දැකලා ඉන්නේ... අත හැරිලා ඉන්නෙ... අතහැරීමෙන් යුතුව ඕනෑම දෙයක් කරන්නට මට හැකියි... ඔයාලත් මේ පැවිදි ජීවිතයට එන්න එපා... අතහැරීම කියන්නේ ඔය වගේ දුක් විඳින වැඩක් නෙවේ... සැපට ඉඳ ගෙන අතහරින්න පුළුවන්... ඔය ඔක්කෝම එළු බැටළුවෝ හරක් බලා ගෙන ගොවිතැන් කරගෙන... දරුවන් හදා ගෙන, විවාහයක් කර ගෙන...  ඔයාලා ඔය දැනට කරන ගිහි වැඩ සියල්ල කරගෙන රටක් රාජ්‍යයක් උනත් අතහැරීමෙන් යුතුව පාලනය කරන හැටි මම කියලා දෙන්නම්... ඕවා අල්ලා ගන්නේ නැතිව කර ගන්න ලබන්න ඕන අවබෝධය ගැන මම කියලා දෙන්නම්... ඔයාලා ඔය විදියට ම කරගෙන යන්න” කියලා උන්වහන්සේට නේද එහෙනම් හොඳින් ම කියන්න හැකියාවක් තිබුණේ? 

උන්වහන්සේට තිබුණා නේ විනය ශික්ෂා ආදිය පනවන්නේ නැතිව පැවිද්දට ආව පිරිසටත් “මේ පද්ධතිය හොඳින් නඩත්තු කරන්න ඕන... මේ දේවල් ගිහි අයගෙන් දායක පාර්ශව වලින් ඉල්ලා ගන්න ආධාර එකතු කරන වැඩපිළිවෙලක් සකස් කර ගන්න ඕන... මුදල් හෝ භාණ්ඩ හෝ වේවා නිසි විදියට නඩත්තු කර ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන... අතිරික්තය ගිහි අයට බෙදා දෙමින් ඒ අයගේ හිත දිනා ගෙන වැඩ කරන්න ඕන... මතක තියා ගන්න මේ දේවල් අපි කරන්නේ අතහැරීමෙන් යුතුවයි... නිවන් දැකලා ඉන්න අපට ඕවායේ කිසිම ආසාවක් නෑ... මේ දේවල් අපි කරන්නේ නිවන් දැකල යි... මේ දේවල් වලින් විමුක්ත වෙලා නිසා අපට මේ දේවල් කරන්න කිසිම වෙහෙසක් නෑ... ප්‍රශ්ණයක් නෑ...” කියලා අපේ සම්මා සම්බුදු පිය රජුන්ට ඉතින්, හොඳින් ම ඔය විකාර සහගත වූ පොරයේ නිරත වෙන්නට උපදෙස් දෙන්න හොඳින්ම පුළුවන්කම තිබුනා නේ!

රජවරු... සිටුවරු... අති සුන්දර කුමාරිකාවන්.. සිටු දියණියන්... විවාහ වෙන්නෙත් නැතිව පැවිද්දට එන විට... ගිහි ජීවිතයේ පවා ගිහි කටයුතු අතහැර විමුක්තිය පිණිසම කැප වන විට... “ඔහොම කරන්න ඕනෑ නෑ... අතහැරීමෙන් යුතුව ඕවා කර ගන්න පුළුවන්... නිවන් දැකලත් ඕවා කරන්න පුළුවන්... ඒ නිසා ඔය කටයුතු ඔහොම ම කර ගෙන යන්න කියලා” උන්වහන්සේටත් උපදෙස් දෙන්න තිබුණා නේ.    

“ජීවිත ආශාව තියේ නම් මේ විමුක්තිය කියන කාරණය අභව්‍ය යැයි” කියලා පෙන්වා දෙන්නේ නැතිව “ජීවිතය කෙරෙහි ආශාවෙන් නිවන් දැකීම පිණිස ජීවිතය රැක ගෙන කටයුතු කරන්න” නිවන් දකින්නත් ඉතින් හොඳින් සැපට නිරෝගීව ඉන්න එපැයි... තියෙන ප්‍රශ්න විසඳා ගෙන එපැයි නිවන් දකින්න!” කියලා මේ තථාගත දහම ලොවට විවර කල මූලස්ථානය වූ අපගේ සම්මා සම්බුදු ශාස්තෘන් වහන්සේට ම කියන්න තිබුණා නේ.  ඒ කාලේ විමුක්ත වූ මහ රහත් වූ ශ්‍රාවක උතුමන්ට ඒ ගැන කියන්න තිබුණා නේ. 

ඉතින්, මේ පහත් වූ... ග්‍රාම්‍ය වූ... “ගිහි” හෙවත් හිස් වූ වැඩපිළිවෙලක්... අර්ථයක් නො ලැබෙන අනර්ථයක් ම ගෙන දෙන ඉතාමත් වෙහෙසකාරී පොරයක් මහත් වූ වින්දනයක්... සැපයක් ලෙසින් දකින, කෙලෙස් සහගත වූ පැවැත්මට කැමැත්තෙන් බැඳුණු තමන් තුල වූ මේ උමතු මානසිකත්වය හඳුනා ගන්නවා වෙනුවට “නිවන් දුටු... අතහැරීම අත් දුටු... සිතකට නො ඇලීමෙන් යුතුව ඕනෑම කටයුත්තක් කරන්නට හැකියි!” කියමින් “ධර්මානුකූල ව කාමයේ හැසිරෙන ආකාරය පෙන්වා දෙන” මේ මොට්ට වූ අනුවණ සහගත වූ වරදවා ගත්තා වූ මිත්‍යා දෘෂ්ටියක් වූ තථාගත සත්ධර්මය ලෙසින් ප්‍රතිරූපකයක් ලෙසින් ප්‍රකට වෙමින් පවතින මේ පුද්ගලික කෙලෙස් සහගත මත නැණවත් ඔබ විසින් හඳුනා ගත යුතුයි! 

ගිහි පරිසරයේ ගිහි කටයුතු කරමින් “මමත් රහත් වෙලා” යැයි ප්‍රකාශ කරන ගිහි පිරිස අතරටත්... පැවිදි ජීවිතයේ දී “තෙරුවනේ නාමයෙන් කල යුතු යැයි” පවසමින් නො කල යුතු සියලු ගිහි කටයුතු කරමින් “මමත් රහත් වෙලා... මමත් ආර්ය වූ මාර්ග ඵල ලාභියෙක්...” යැයි ප්‍රකාශ කරන පැවිදි පිරිස අතරටත් එකතු වෙන්නට ඔබට වැඩි කාලයක් ගත නොවේවි! 

ඇයි දන්නවද?  එය තමයි පහසු ම නිවන! කෙලෙස් සහගත සිත අපව යොමු කරන විමුක්තිය එය තමයි!  මෙන්න මේ දෘෂ්ඨි ජාලාවන් වලට පත් වන ස්වභාවය තමන් තුල විනිවිද දකින ඤාණ ලබා ගැනීම පිණිස කැප වෙන්න! 

ගිහි වේවා පැවිදි වේවා මේ කියන හීන වූ... පහත් වූ... ග්‍රාම වූ... ගිහි වින්දනය අවබෝධ කර ගනිමින් කෙලෙස් සහගත වූ... පැවැත්මට හේතු වූ වැඩපිළිවෙල හඳුනා ගනිමින් අති දුලභව ලැබූ සම්මා සම්බුද්ධ ශාසනයක දී පමණක් අවබෝධ කර ගන්නට අවස්ථාව ලැබෙන “සැබෑම විමුක්තිය... සැබෑම නිවන” අවබෝධ කර ගැනීම පිණිස කැප වෙත්වා!!! 

අප විසින් නිරන්තරයෙන් පෙන්වා දෙන්නට උත්සාහ කරන ගිහි බව සහ ගිහි වත අතර ඇති වෙනසත් පැවිදි බව සහ පැවිදි වත අතර ඇති වෙනසත් නුවණින් විනිවිද දැක ගන්නට කැප වෙත්වා!!!  ගිහි වතක හෝ පැවිදි වතක ගිහියෙක් නොවන්නටත්... ගිහි වතක හෝ පැවිදි වතක පැවිද්දෙක්ම වන්නටත් ප්‍ර‍ඥාවන්තව කටයුතු කර ගනිත්වා!!! නිදහසේ ආශාවන් භුක්ති විඳීමට සටන් කරන එවැනි විමුක්තියක් සොයන අඥානයෙකු නොවී ආශාවන් ගෙන් නිදහස් වීමට සැබෑම නිරාමිස සුව ඇති සැබෑ විමුක්තිය සොයන ප්‍රඥාවන්තයෙකු වෙත්වා!!!    

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා