ඇයි මෙතරම්ම අපහසු?

ජූලි 2017 කතු වැකිය

ඇයි මෙතරම්ම අපහසු?

සටහනේ අන්තර්ගතය

ධාරානිපාත වර්ෂාව, ගංවතුර, සුළි සුළං, නාය යෑම් ස්වාභාවික විපත් මෙතෙක් යැයි කිව නොහැකියි. මේ කොයි ආකාරයෙන් හෝ වේවා බොහෝ ජීවිත නැති වෙනවා. ඒ නිසා මෙකල පවතින මේ තත්වයත් සමඟින් තම තමන් ගැනම සිතා බලන්නට විමසා බලන්නට යමක් එකතු කරන්නම්.

ඔබ සැබෑම යහපත් ආගමික අනුගාමිකයෙක් වෙන්නට හැකියි... ඔබ ආගම දහම හොඳින්ම දන්නා ඒවා පිළිපදින්නෙකු විය හැකියි.  ඔබ බොහෝම උගත් බුද්ධිමත් පිළිගත් චරිතයක් විය හැකියි... ඔබ සුගතිය සොයන්නෙක් හෝ භෞතික වාදියෙක් විය හැකියි... ඔබ කව්රුන් කව්රුන් හෝ විය හැකියි.  එහෙත් මේ ස්වාභාවික විපතක් ඔබට අත්දකින්නට ලැබෙන විට ඔබට එයින් ගැලවෙන්නට හැකියාවක් තියෙනවද?

මේ වගේ විපතකට මුහුණ දෙන්නට තරම් ශක්තියක් හැකියාවක් ඔබ තුල ඇතිවෙලා තියෙනවද?  හැමදේටම කාට කාට හෝ බනින දොස් කියන පුරුද්ද ඔබටත් තියෙනවද?  මේ වගේ ස්වභාවික විපතකදී බනින්නට කව්රුවත් නැතිනම් දෙවියන්ට හෝ බනිනවද? නැතිනම් මේ දේවල් වලට වග කියන්නට ඕනෑ යැයි ඔබට සිතෙන්නන්හට දොස් කියනවද?

ඔබ තුලට කිඳා බසිමින් ඔබවම විමසන්නට මේ දේවල් අවස්ථාවක් කරගන්න. 

ඔබට නැතිවේ යැයි බියක් ඇත්තේ මොනවද?  ඔබට මිය යන්නට බියක් ඇතිවෙනවද?  ඔබට අහිමි වේවි යැයි බියක් නැගෙනවද?  මේ මිය යන අසරණ තත්වයට පත්වෙලා ඉන්න පිරිස සම්බන්ධයෙන් ඔබට අනුකම්පාවක් නැඟෙනවද?  නොයෙක් ආකාරයෙන් හැඟීම් ඇතිවී කම්පනයට පත්වෙලාද සිටින්නේ?  ඒ තුල ඔබට දැනෙන්නේ සහනයක්ද අසහනයක්ද? 

කැමති නැත්ද කිසිවෙකුටත් දොස් නොනඟා... කිසිඳු කම්පාවක් අසහනයකින් තොරව මරණයට මුහුණ දෙන්න... මෙවන් විපත් වලට මුහුණ දෙන්නට?  එවන් මඟක් තියෙන බවවත් දන්නවද?  එවන් අත්දැකීමක් ජීවත් වෙලා ඉන්නාවිටදීම ලබන්නට හැකි බව දන්නවද?  එවැනි වටිනා අවස්තාවක් තිබෙත්දීත් තවමත් අසහනය දුක සහිතවම දිවි ගෙවන්නට දෙස් දෙවොල් තබමින් කාලය ගත කරන්නටම ඔතරම් කැමති ඇයි? 

අහන්න තමන්ගෙන්ම... කිඳා බහින්න ඔබ ගෙවන ඔය ජීවිතය ගැන... විඳිනවද? විඳවනවාද?  විමසා බලන්න... මොහොතක් ඔබ ඔබවෙනුවෙන් කැපකරන්න... අහන්න ඔබෙන්ම ඇයි මෙතරම් අපහසු කියලා... විඳිනවා යැයි සිතාගෙන විඳවන ජීවිතය ගැන සොයාබලන්නට... වෙනස අත්දැකගන්නට ඇයි මෙතරම් අකමැති යැයි තමන්ගෙන්ම විමසා බලන්න!

සැ.යු.  

නැවතත් තමන් වටා සිටිනා පිරිසට වගකීම දී ඔවුන් නිසා එසේ කල නොහැකි යැයි අනුන්ට දොස් නොතබා අවංකවම විමසන්න! නැතිනම් නොකියා එන මරණය තරම් බිය ජනක අත්දැකීමක් ඔබට තවත් නම් නැති වේවි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා