නූපන් කුසල වඩන්න

අගෝස්තු 2012 කතු වැකිය

නූපන් කුසල වඩන්න

සටහනේ අන්තර්ගතය

ත්‍රිපිඨක සූත්‍ර ධර්මයන් ඇසුරු කරන අවස්ථාවක නිවනක් කැමැති ඔබ හට වැදගත් වේයැයි සිතිය හැකි කරුණු කීපයක එකතුවක් මෙසේ සටහන් තබන්නට සිත්විය. බුදු හිමියන් නිතරම පෙන්වා දුන් පරිදි නූපන් කුසල් උපදවා ගැනීමත් උපන් අකුසල් නසා දැමීමත් නිවීම පිණිස වැදගත් වෙනවා.

එසේ නූපන් කුසල් උපදවාගැනීමටත් උපන් අකුසල් නැසීමටත් මෙන්න මේ කරුණු කීපයත් උපකාර වෙන බව පෙන්වා දෙනවා.

  1. "මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද කුශල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූද අකුශල ධර්මයෝ පිරිහෙත් නම්,වීර්යාරම්භය වැනි අන් එකදු ධර්මයක් මම නොදක්මි.  මහණෙනි, ඇරඹු වැර ඇත්තාහුට නූපන්නා වූද කුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූද අකුශල ධර්මයෝ පිරිහෙත්"
  2. "මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද කුශල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූද අකුශල ධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි,අල්පෙච්ඡතාව (අල්පයක් අල්ලාගෙන සිටින / බොහෝ දෑට කැමැත්ත නැති බව) බඳු අන් එකදු ධර්මයක් මම නොදක්මි.  මහණෙනි, අල්පෙච්ඡතාවය ඇත්තාහුට නූපන්නා වූද කුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූද අකුශල ධර්මයෝ පිරිහෙත්"
  3. "මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද කුශල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූද අකුශල ධර්මයෝ පිරිහෙත් නම්, ලද දැයින් සතුටු බව වැනි අන් එකදු ධර්මයක් මම නොදක්මි.  මහණෙනි, ලද දැයින් සතුටු වන්නාහට නූපන්නා වූද කුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූද අකුශල ධර්මයෝ පිරිහෙත්"
  4. "මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද කුශල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූද අකුශල ධර්මයෝ පිරිහෙත් නම්, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එකදු ධර්මයක් මම නොදක්මි.  මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නා වූද කුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූද අකුශල ධර්මයෝ පිරිහෙත්"
  5. "මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද කුශල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූද අකුශල ධර්මයෝ පිරිහෙත් නම්, සම්‍යක්ප්‍රඥාව වැනි අන් එකදු ධර්මයක් මම නොදක්මි.  මහණෙනි, සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට නූපන්නා වූද කුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූද අකුශල ධර්මයෝ පිරිහෙත්"

ඒ වගේම නූපන් අකුසල් ඉපදීමටත් උපන් කුසල් පිරිහීමටත් මෙන්න මේ කරුණු කීපය උපකාර වෙන බව පෙන්වා දෙනවා.

  1. "මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූද කුශල ධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මහෙච්ඡතාව (බොහෝ දෑට කැමති බව / බොහෝ දෑ අල්ලාගෙන සිටීම)බඳු එකදු ධර්මයක් මම නොදක්මි.  මහණෙනි, මහෙච්ඡතාවය පුද්ගලයාහට නූපන්නා වූද අකුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූද කුශල ධර්මයෝ පිරිහෙත්"
  2. "මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූද කුශල ධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ලද දැයින් නොසතුටු බව වැනි එකදු ධර්මයක් මම නොදක්මි.  මහණෙනි, ලද දැයින් නොසතුටු වන්නාහට නූපන්නා වූද අකුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූද කුශල ධර්මයෝ පිරිහෙත්"
  3. "මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූද කුශල ධර්මයෝ පිරිහෙත් නම්, නුනුවණින් මෙනෙහි කිරීම වැනි අන් එකදු ධර්මයක් මම නොදක්මි.  මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූද අකුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූද කුශල ධර්මයෝ පිරිහෙත්"
  4. "මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූද කුශල ධර්මයෝ පිරිහෙත් නම්, අසම්පජඤ්ඤය (විමසුම් නුවණක් නැතිවීම / සිහිය නැති බව) වැනි අන් එකදු ධර්මයක් මම නොදක්මි.  මහණෙනි, සම්මූඨ (අසිහියෙන් යුක්ත විමසුම් නුවණක් නැති) පුද්ගලයා හට නූපන්නා වූද අකුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූද කුශල ධර්මයෝ පිරිහෙත්"
  5. "මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූද කුශල ධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි පාප මිත්‍රතාවය වැනි අන් එකදු ධර්මයක් මම නොදක්මි.  මහණෙනි, පාපමිත්‍රයන් ඇත්තාහුට නූපන්නා වූද අකුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූද කුශල ධර්මයෝ පිරිහෙත්"

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා