පාරමිතාව තුල කැපවීම
ඔක්තෝබර් 2024 කතු වැකිය
සටහනේ අන්තර්ගතය
පසුගිය කතු වැකිය තුලින් තෙරුවන උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කරන්නෙක් දුටු විට හෝ... එවැනි ක්‍රියාවන් දෙස බැලිය යුතු ආකාරය සිහිපත් කර දුන්නා නේ. ඉතින්, මෙවර කතු වැකිය මේ කාරණාව හා සම්බන්ධ කරලා වටහා ගන්නට හැකි තවත් මෙකල මඟ නො මඟ කර ගන්නට පෙලඹෙන අදහසක් ගැන කෙටියෙන් හෝ විග්‍රහ කරලා දෙන්නට කටයුතු කරන්නම්.
ඉතින්, බණ දහම් අසන්නට පැමිණෙන පිරිසට අප්‍රමාදීව කැපවීමෙන් කටයුතු කරන්නට මඟ පෙන්වන විට මේ අතර සමහර කෙනෙක් සිටිනවා මේ අදහසට එතරම් එකඟ වෙන්නේ නෑ! ඒ අය තමන්ගේ හේතුව විදියට ඉදිරිපත් කරන්නේ “මම වෙනත් ශාසනයක මේ වගේ ප්‍රාර්ථනාවක් කර ගෙන යන කෙනෙක් ය... මට මේ වගේ ප්‍රාර්ථනාවක් තියෙනවා ය... මම මේ වගේ ශ්‍රාවකයෙක් වෙන්නට... බුද්ධ ශාසනයක මේ වගේ තනතුරක් දරන්නට කැමති යි...“ වගේ මෙන්න මේ අදහස්...!!! ඉතින්, තමන්ට කැපවීම් කරන්නට... අප්‍රමාදීව බුදු සසුනේ කල යුතු කටයුතු කර ගන්නට සිත් පහල වෙන්නේ නැත්තේ තමන් ඒ වගේ පැතුම් තියෙන පුද්ගලයෙක් ය කියලා තමන් විශ්වාස කරනවා ය කියලා තමයි මේ අය කියන්නේ! අප්‍රමාදීව කටයුතු කර ගන්න... මේ ආකාරයෙන් කැප වෙන්න කියලා සිහිපත් කිරීමක් සිදු කරන විට කියන්නේ “මේ ශාසනයේ එතරම් කැප වුණා කියලා මාර්ග ඵලයක් වත් ලබන්නට නො හැකියි නේ මේ වගේ ප්‍රාර්ථනයක් තියෙන නිසා... ඒ නිසා එච්චර කැප කිරීම් කරන්න අවශ්‍ය නෑ“ කියලයි.
කෙලෙස් කියන්නේ මහා පුදුමාකාර විදියට අපව වටේ යවන... මං මුලා කරවන... වංචනික දහමක්...!!! කෙලෙස් දහම් හරි හැටි අවබෝධ කරගන්නට තියෙන එකම අවස්ථාවත් බුදු සසුනක් තියෙන කාලයක් නේ. ඉතින් සසරේ කැප වීම් කරලා කොහොම හරි බුදු සසුනක් තියෙන කාලයක මේ අවස්ථාව උදා කර ගත්තා කියමු කෝ... එතකොටත් මොකද කරන්නේ? ඒ ගමන වළක්වන්නට ඔය ඉහත ආකාරයේ අදහස් දෘෂ්ඨි වලට යට වෙනවා. සංසාර උගුලේ ස්වභාවය ගැන වැටහීමක් ගන්නට අවස්ථාවක් ලබා ගැනීමත් අති දුර්ලභයි කියලා තථාගත ධර්මය තුල විවිධ වූ පැතිකඩ ඔස්සේ පෙන්වා දෙන්නේ ඒ නිසාමයි!
ඉතින්, දීර්ඝ වශයෙන් මේ කෙලෙස් දහම් ගැන විස්තර කරලා දෙන්නට කතු වැකියක් ඔස්සේ නොහැකියි නේ. ඒ නිසා මේ අදහස් වංචනික වූ කෙලෙස් මට්ටමක් පමණයි කියලා හඳුනා ගන්නට හැකි දහම් කොටසක් මතු කර දෙන්නම්. නැණවත් නම් ප්‍රඥාවන්තයෙක් නම් මේ කියන කාරණයේ අදහස සහ ගැඹුර ඔබට වැටහේවි!
දැන් ඔබ මතු ශාසනයක ශ්‍රාවකයෙක් වෙන්නට හෝ වේවා... තනතුරක් හෝ වේවා... එහෙමත් නැත්නම් බුදු පසේ බුදු ආදී බුද්ධත්වයන් පිණිස හෝ වේවා යම් කිසි ප්‍රාර්ථනාවක් කරන පුද්ගලයෙක් විය හැකියි කියලා දැන ගන්නට ලැබුණේ කොහොමද? ඔබට ගෞතම සම්මා සම්බුදු පිය රජුන් විසින් විවරණ දුන්නා ද? නැත්නම් එය එසේ වූ බව ඔබ භාවනා අත්දැකීමකින් හෝ අත් දුටුවා ද? නැත්නම් කව්රුන් හෝ ඔබට ඒ බව පැවසුවා ද? පැවසුවා නම් ඒ පුද්ගලයා කිව්වේ කුමන පදනමක් සහිතව දැයි ගැඹුරින් විමසුවා ද?
හොඳයි මේ ඔක්කෝම හොඳින් ගැඹුරින් විමසා මේක නම් ඇත්ත තමයි කියලා ඔබටම දැන් ඔප්පු වුනාමයි කියමු කෝ! දැන් ඔබ සාසනික කටයුතු ඇසුරු කර ගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙනවා නේ එතකොට නේද? ත්‍රිපිටක ආදී දහම් කොටස් තුලින් ඔබට ශ්‍රාවක පාරමිතා, සම්බුද්ධත්ව පාරමිතා, පසේ බුදු පාරමිතා අනුව පිරිස් කැප වූ ආකාරය ඒ, ඒ බුද්ධ ශාසන තුල ඒ අය කැප කිරීම් කල ආකාරය අසන්නට, කියවන්නට, විමසන්නට තියෙනවානේ. දැන් ඒ ආකාරයෙන් ඔබ එතකොට කැප වෙනවද කියලා බැලුවා ද?
දිවි දෙවැනි කරලා කැප වෙන්න කියන කොට “අනේ මම මේ පාරමිතාවක් අනුව යන කෙනෙක් වෙන්නැති ඒ නිසා මට එහෙම හිතෙන්නේ නෑ“ කියන කොට ඔබට දාරුචීරිය තෙරුන් කාශ්‍යප බුද්ධ ශාසනයේ දී ගල් පර්වතයක් මතට නැඟී ඉනිමඟටත් පයින් ගහලා නොකා නොබී සත්‍යාවබෝධය පිණිස දිවි දෙවැනි කර කැපූ වූ බව කියැවෙන කතාව වත් අඩුම තරමේ සිහිපත් වෙන්නේ නැත් ද? දවස් ගණන් සති ගණන් උත්තරීතර සංඝයා උදෙසා දන් පැන් පූජා කරමින් තමන්ගේ ලෞකික වැඩ කටයුතු වලින් මිදී තමන්ගේ ශ්‍රාවක පාරමිතාව උදෙසා පවා කැප වූ ආකාරය දැක්වෙන කතා ගැන අහලවත් නැත්ද? අහන්න ඕනෙත් නැත් ද?
ගෞතම බුදු පිය රජුන්ගේ අවසාන මනුස්ස ජීවිතය... කාශ්‍යප බුදු රජුන්ගේ කාලයේ ජෝතිපාල නම් වූ තරුණයා... තමන්ගේ හොඳම යාළුවා අනාගාමී ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ඝටීකාර බ්‍රාහ්මණයා විසින් තමන්ව බලහත්කාරයෙන් ඇඳ ගෙන ගොස් බුදු රඳුන් මුණ ගැස්වූ විට “අනේ මම මේ ඊළඟ බුද්ධ ශාසනයේ බුදු වන කෙනා නේ... මට මොනවා කැප වෙන්න ද... ආර්ය ශ්‍රාවකයෙක් වෙලා ඔයාවත් පැවිදි වෙලා නෑ... මම මොකටද ඔච්චර කැප වෙන්නේ“ කියලා කිව්ව ද? නැත්නම් මහණ වුණා ද?
ඉතින් සාමාන්‍ය බුද්ධියකින් බැලුවත් යම් කිසි උත්තම භාවයකට ප්‍රාර්ථනාවක් ඇති තැනැත්තාගේ කැප කිරීම... අධිෂ්ඨානය... ඒ වෙනුවෙන් කටයුතු කර ගැනීම සාමාන්‍ය අශ්‍රැතවත් පෘතග්ජන මානසිකත්වය තුල බැස ගෙන ආශ්වාදයන් විඳිමින් උමතු ආකාරයෙන් හැසිරෙන මට්ටමක් නෙවේ. මාසයකට හෝ අවුරුද්දකට සැරයක් දානයක් දීලා... තමන්ගේ ආශ්වාද මට්ටම් හොඳින් කරගෙන ඉතිරි වුනොත් විතරක් පින් කටයුත්තක් කියලා තමන්ට හිතෙන කොන්දේසි සහිතව කරලා... කව්රුන් හෝ ඔබට ඔයිට වඩා කැප වෙන්න කියන විට “අනේ මම මේ පාරමිතාවක් ඔස්සේ යන කෙනෙක් නේ“ කියනවා නම් ඔබ ඔබටම කර ගන්නා විනාශය... කෙලෙස් සතුරාගේ ග්‍රහණයේ ඉන්න බව හඳුනා ගන්නට උත්සාහ කරන්න අඩුම තරමේ මේ කතු වැකිය ඔස්සේ ලබා දෙන්නට උත්සාහ කරන පණිවිඩයවත් ඔබට දැනේවා!
පාරමිතාව කුමක් වුවත් ශාසන පුරාවට සියල්ලෝ කැප වූ ආකාරය විමසා බලන්න. අඩුම තරමේ තමන් පාරමිතාවක් ඔස්සේ යන කෙනෙක් කියලා හිත තදින් ම කියනවා නම් ඒ වගේ අය කටයුතු කලේ කොහොමද කියලා හොයලා බලන්නටවත් අවංක වෙන්න! බුද්ධ සාසනයක් තුල තපස් ජීවිත ගත කල බෝසත් චරිත ඔබට දැනෙන්නේ නැත්ද? කාම මඩේ, මඩ තවරා ගෙන පිනුම් ගසමින් ඉන්නා අතරේ උත්තම ජීවිතයක් ලෙසින් තමන්ව හුවා දැක්වීම තුල තමන්ගේ විමුක්තිය පිණිස වූ සියලු අවස්ථාවන් වැසී යන බව ඔබට වැටහේවා!!! අමතක කරන්න එපා උත්තම සම්මා සම්බුද්ධ රත්නයක් වීමට පෙරුම් පිරූ පිරිස්... උත්තම පසේ බුද්ධත්වය පිණිස පෙරුම් පිරිස්... උත්තම ශ්‍රාවක රත්නයන් වීමට පෙරුම් පිරූ වූ පිරිස්... ඒ වගේ එක, ප්‍රතිඵල ඔළුවේ තියා ගෙන පෙරුම් පිරූ පිරිසක් නෙවේ. ඒ උත්තමයන් වහන්සේලා සත්‍යාවබෝධය පිණිසයි කැප වුණේ... ඒ උත්තමයන් වහන්සේලා සැබෑම අවංකව විමුක්තිය පිණිසයි කැප වුණේ! තවත් ආකාරයකින් කියනවා නම් ආත්ම ගණන්... කල්ප ගණන් පිස්සුවෙන් වගේ සත්‍ය ගවේෂණය කලා!
සසරේ උතුමන් වීම පිණිස පැතුම් පතන්නෝ කියලා කියන්නේ, පොත් කියවලා මාර්ග ඵල වල ස්වභාවය හොයලා බුද්ධත්වයේ ස්වභාවය හොයලා වංචනික ආකාරයෙන් කම්මැලිකමට කැප වූ පිරිසක් නෙවේ. ඔවුන් විමුක්තිය පිණිසයි කැප වුණේ... “මට මේ ශාසනයේ බුදු වෙන්න බෑනේ ඒ නිසා කැප කිරීම් කරලා ඵලක් නෑ“ කියලා සිතන්නට සිතිවිල්ලක් වත් පහල වුණේ නෑ... “මට මේ ශාසනයේ මේ ශ්‍රාවක තනතුර ලබන්නට බෑනේ ඒ නිසා කැප කිරීම් කරලා ඵලක් නෑ“ කියලා හීනෙකින්වත් හිතෙන පිරිසක් නෙවේ.... ඒ අයගේ අවංක වූ ඒ ප්‍රාර්ථනාවම ඒ අයට දැඩි සේ අධිෂ්ඨානශීලී කැප කිරීම් කරමින් දිවි දෙවැනි කරලා කටයුතු කර ගන්නට මඟ පෙන්වුවා මිස ඒ අයව කම්මැලි වංචනිකයන් කලේ නෑ! තෙරුවනේ ගුණ දැක උපහාර පිදුවා මිසක් තමන්ගේ ඵලය, ප්‍රාර්ථනාව ඉටු කර ගැනීම පිණිස පින් කරන්නට තෙරුවන ප්‍රයෝජනයට අර ගෙන අවභාවිතා කල ආත්මාර්ථකාමීන් බවට පත් කලේ නෑ! කෙටියෙන් කියනවා නම් බුදු හිමියන්ට ආර්ය සංඝයාට දන් හැන්දක් බෙදුවේ තමන්ට බුදු වෙන්න ඕන නිසා නෙවේ... තමන්ට එවැනි උතුම් තත්වයන් ලඟා කර ගන්නට මඟ පෙන්වා දෙන මේ උතුමන්ට ජීවිතය පිදුවත් මදි කියන අදහස කෘතගුණය හදවත වලටම දැනුණ නිසයි.
ඒ නිසා නැණවත්ව මේ පහත් වූ අශ්‍රැතවත් පෘතග්ජන ගති ස්වභාවයන් හඳුනා ගන්නට උත්සාහවන්ත වෙන්න. අශ්‍රැතවත් පෘතග්ජන මානසිකත්වයට උතුමන්ගේ කැප කිරීම් වටහා ගන්නට අපහසු බව අප පෙර කතු වැකිය ඔස්සේත් කතා කලා නේ. සත්පුරුෂ ගුණ වැටහෙන්නෙ නෑ... ආර්ය දහම් ගැන අදහසක්වත් ගන්නට අපහසුයි!
ඒ නිසා පින්වත් මිනිසුනේ... ධර්මයට කන් යොමන්නට කල්‍යාණ මිත්‍ර ඇසුර ලබන්නට පින් කර ගෙන ඒ අවස්ථාව උපරිමයෙන්ම පහසුවෙන්ම උරුම කර ගෙන, කෙලෙස් වංචාවට හසු වී දෘෂ්ඨි වලට බැස ගෙන පුණ්‍ය නිධානයේ බලයෙන් අත ලඟට ම ලැබුණු ඒ දුර්ලභ අවස්ථාව ගිලිහී යන්නට නො දෙන්නට වග බලා ගනිත්වා!!!
සිහියෙන් නුවණින් යුතුව තමන්ගේ වැඩපිළිවෙල විමසා බලන්නට... අවංකවම උත්තම ජීවිතයක් බවට පත් වීම පිණිස කැප වෙන්නට ඔබට තෙරුවනේ අනන්ත ආශීර්වාදය රැකවරණය ම ලැබේවා!!! මේ වගේ සුළු පණිවිඩයක් පවා නො මඟ යන ඔබට මඟ නිවැරදි කර ගැනීම පිණිස ඒ උතුම් තෙරුවන් ආශීර්වාදය, රැකවරණය නිසාම ලැබුණු පණිවිඩයක් බව දැනේවා!!!
පෙර පිටුවට
නොවැරදුන දිවි පිදුම
මීළඟ පිටුවට
අනතුරුදායක කලබලය