තමා රැකීමෙන් අනුන් රැකීම

මාර්තු 2018 කතු වැකිය

තමා රැකීමෙන් අනුන් රැකීම

සටහනේ අන්තර්ගතය

ත්‍රිපිටකය > සංයුත්ත නිකාය > මහා වග්ගය 1 > 3. සතිපට්ඨාන සංයුත්තය > 2. නාලන්ද වග්ගය > 9. සේදක සූත්‍රය > පිටුව 302 (පී.ඩී.ෆ්. පිටුව 329) මෙම සූත්‍ර දේශනාව තුලින් බුදු පියාණන්වහන්සේ විසින් ඉතාමත් අපූරු උපමා කතාවක්ද සමඟින් නිවන් මඟට මහෝපකාර වන්නාවූ ඔවදනක් ලබාදෙනවා. මෙවර කතුවැකියට එකතු කරන්නට සිත්වූයේ මෙකලට ඔබින නිසාත් අසිහියෙන් නිවන් මඟ අවුරා ගන්නා පින්වත් පිරිසට සිහියට පත්වීම පිණිස මේ සම්බුදු ඔවදන මහෝපකාර වේවි යැයි සිතෙන නිසාත්වේ.

“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උණගසින් ක්‍රීඩා දක්වන්නෙක් උණගස ඔසවා මේදක ථාලිකා නම් අතවැසියා ඇමතුවේය. යහලු මේදක ථාලිකය, නුඹ මෙහි එව, හුණගසට නැගී මගේ කරපිට සිටුවයි කීය. මහණෙනි, මේදක ථාලිකා නම් අතවැසියා එසේය, ආචාර්‍ය්‍යයෙනි,යි උණගසින් ක්‍රීඩා දක්වන්නාට උත්තර දී උණගසට නැගී ආචාර්‍ය්‍යයාගේ කරපිට සිටියේය. මහණෙනි, එකල්හි ක්‍රීඩා දක්වන්නා මේදක ථාලිකා නම් අතවැසියාට මෙය කීවේය. ‘යහළු මේදක ථාලිකය, නුඹ මා ආරක්ෂා කරව, මම නුඹ ආරක්ෂා කරන්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් ප්‍රවේශම් කරන්නාහු ඔවුනොවුන් රකින්නාවූ ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු, සැපසේ උණගසින් බසින්නෙමු’ යනුයි.

“මහණෙනි, මෙසේ කීකල්හි මේදක ථාලිකා අතවැසි තෙම ආචාර්‍ය්‍යවරයාට මෙසේ කීය. ‘ආචාර්‍ය්‍යයෙනි, මෙය එසේ නොවන්නේය. ආචාර්‍ය්‍යයෙනි, ඔබ තමා රකින්න, මම තමා රකින්නෙමි. මෙසේ අපි තම තමාම ප්‍රවෙශම් වූවාහු තම තමාම රැකුනාහු ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු. සැපසේ උණගසින්ද බසින්නෙමු. එය එහි උපායයි’ (සුදුසු පිළිවෙලයි.) භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

“මේදක ථාලිකා අතවැසිතෙමේ ඇඳුරාට යම්සේ කීයේ නම් එය එහි න්‍යයය”  භාග්‍යවතුන්වහන්සේ වදාල සේක.

“මහණෙනි, තමා රකින්නෙමි” යි සතිපට්ඨානය සේවනය කළ යුතුයි.  “අනුන් රකින්නෙමියිද” සතිපට්ඨානය සේවනය කළ යුතුයි. මහණෙනි, තමා රකින්නේ අනුන්ද රකියි (උණ ගසින් ශිල්ප දක්වන සර්කසයක තම තමන්ගේ ක්‍රියාව පිළිබඳව සිහියෙන් සිටීම තුලින්ම තමනුත් රැකෙන අතර අන් අයද රැකෙන්නා සේමයි) මහණෙනි, තමා රකින්නේ කෙසේ නම් අනුන් රකියිද? මහණෙනි පුරුදු කිරීමෙන්, වැඩීමෙන් බහුල වසයෙන් කිරීමෙන්ය.”

සතර සතිපට්ඨානය අවබෝධයෙන් යුතුව ඇසුරු කිරීමෙන්, වැඩීමෙන්, බහුලව පුරුදු කිරීමෙන්මයි තමා මෙන්ම අනුන්ද රැකෙන්නේ.  මන්ද සතර සතිපට්ඨානයෙන් ගිලිහිණු සිතක් කිසිම විටෙක සිහියෙන් කටයුතු කරනවා යන්න සිද්ධ වෙන්නේ නෑ.  ඔවුන් අනුන්ගේ දේමයි සොයන්නේ.  ඔවුන්ට තමන්ගේ දේ සොයාගැනීමට වෙලාවක් නෑ.  තමන් කෙරෙහි යොමුවුන සිතක් ඔවුනට නෑ.  මෙන්න මේ නිසාම නිවන් මග යනවා යැයිද සිතාගෙන නොමඟමකමයි කටයුතු කරන්නේ.  මේ සම්බුදු ඔවදන් දැඩිව අවබෝධ කර නොගත හොත් නිවන් මඟ වැසී යන්නේ තමන්ටමයි.  ඒ නිසා මේ දේවල් සිහි නුවණින් විමසා අවබෝධ කරගත යුතුයි. 

“මහණෙනි, අනුන් රකින්නේ තමාද රකියි (තවත් කෙනෙක් රැකගැනුමට අවශ්‍ය නම් කල යුත්තද තමන්ගේ ක්‍රියාවලිය දෙපාර්ශවයේම යහපත පිණිස ක්‍රියාත්මක කිරීමමයි).  කෙසේ නම් අනුන් රකින්නේ තමාද රකින්නේ?  ඉවසීමෙන් හිංසා නොකිරීමෙන් මෛත්‍රී සිතින් කරුණාවෙන්ද වේ. මහණෙනි, මෙසේ වනාහි අනුන් රකින්නේ තෙමේ රැකෙයි. මහණෙනි, තමා රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළයුතුයි. අනුන් රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළයුතුයි. මහණෙනි තමා රකින්නේ අනුන්ද රකියි. අනුන් රකින්නේ තමාද රකියි” යනුයි.

සතර සතිපට්ඨානයේ යෙදෙන සිහියෙන් යුතු සිතක් සැමවිටම ලෝක සත්වයා කෙරෙහි මහත්වූ ඉවසීමකින්, හිංසාවෙන් තොරවූ මෙත් සිතින් කරුණාවෙන් කටයුතු කරනවා.  මන්ද සිහිය පිහිටන සිත තුල සිහිය පිහිටා ඒ මඟ වැඩීමේ තවත් අරමුණක් වනුයේ ලෝක සත්වයා කෙරෙහිම අවබෝධ කරගත්තා වූ මෙත්‍රියයක් කරුණාවක්මයි.  තමන් පැවැත්ම තුල පවතින තාක් තමන්ගෙන් සිදුවන හානිය අවබෝධයෙන් අප්‍රමාදීව නිවනින් සැනසී පැවැත්මෙන් නික්ම යන්නට ගත්තාවූ තීරණය තුල... සසර පැවැත්ම තුල නැවත නැවත කයක් සකසමින් දඬුමුගුරක් දරාගෙන හිංසා පීඩා කරන්නාවූ අසාධාරණ වැඩපිලිවෙල හඳුනාගෙන සිහියෙන් යුතුව තමන්ටද අනුන්ටද දෙපාර්ශවයටම යහපත පිණිස සිහිය පිහිටුවයි.  මෙන්න මේ ගැඹුරු දහම් කාරණය මේ කෙටි සම්බුදු ඔවදන තුල ගැබ් වෙලා තිබෙනවා. 

ඒවා දීර්ඝ වශයෙන් වෙනමම අවස්ථාවක විග්‍රහ කරගනිමු.  දැනට තමන් රැකීමෙන් තමන් මෙන්ම තවත් බොහෝ පිරිසකටද සිදුවන යහපත අවබෝධ කරගෙන... අනුන්ව හදන්නට නොයා... අනුන්ගේ වැඩපිලිවෙලවල් ගැන විමසා බලන්නට කාලය අපතේ නොයවා... තම තමන්ගේ ක්‍රියාපිලිවෙත කෙසේදැයි සොයා බලන්නට සිහිය පිහිටුවාගන්නට අප්‍රමාදීව කටයුතු කරගන්නට පෙළඹීම අප්‍රමාදීව නිවන් ලැබුමට හේතු උපකාර වේ!  තෙරුවන් සරණින් නිවනම වෙත්වා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා