රැඩිකල් ද??

පෙබරවාරි 2020 කතු වැකිය

රැඩිකල් ද??

සටහනේ අන්තර්ගතය

රැඩිකල් චින්තනයෙන් යුතු බව පෙන්වීමට උත්සාහ දරමින් සම්මත සියලු දෑ විවේචනය කරන... පුද්ගල විවේචනයේ නිරත වෙන... බුදු දහම ඇතුලු අනෙකුත් ආගම් දහම් පටලවා ගෙන මඟ නොමඟ කර ගන්නා... යමකේ වේ නම් රැඩිකල් බව කුමක්දැයි නිසි ලෙසින් හඳුනාගැනීම පිණිස මෙවර කතු වැකිය වෙන් කරමි.

යම් දෙයක් කෙරෙහි අන්තයටම ගියාවූ හෝ ඊට පෙර පැමිණ ඇති ඕනෑම දෙයකට වඩා බෙහෙවින් වෙනස් නම්, එය රැඩිකල් ලෙස හඳුන්වයි. රැඩිකල් යන නාම පදය ලතින් රේඩික්ස් "මූලයෙන්" පැමිණ ඇති අතර ඇත්ත වශයෙන්ම රැඩිකල් සහ මූල ගණිත හා වාග් විද්‍යාව වැනි ක්ෂේත්‍රවල තාක්ෂණික යෙදුම් ලෙස සමාන වේ.

එදිනෙදා භාෂාවෙන්, රැඩිකල් යනු අතිශය ආන්තික අදහස් ඇති අයෙකි, එබැවින් ඔවුන්ගේ අදහස් අපේ භාෂාවෙන් කියනවා නම් “හිසේ සිට පාදාන්තය දක්වාම” අන් අය දරන අදහස් වලට වඩා වෙනස් යැයි ඔබට පැවසිය හැකිය.  ඒ හා සමානව, රැඩිකල් වීම යම් දෝෂයක් හෝ වෙනසක් මූලික කරගන්නා අතර රැඩිකල් වීම යන්න තුල ඇති සැලසුම් සහ අදහසක් ඉතා නව්‍යකරණයෙන් යුක්ත වේ.

මේ අනුව බලන කල මෙකල රැඩිකල් යැයි පවසාගන්නා බොහෝ පිරිස් ඇත්තටම රැඩිකල් නොවන බව මගේ නම් අදහසයි.  කෙටියෙන් පවසනවා නම්;
  • සැබෑ රැඩිකල් බව ඇත්තේ භෞතිකත්වයක් පදනම් කරගෙන කෙස් පැලෙන තර්ක කෝටියක් ඉදිරිපත් කරමින් ඉදිරියේ සිටින්නා පරදවා ඔවුන්ව මෝඩයන් සේ හුවා දක්වන පුහු වීරයන් තුල නොව...

    භෞතිකත්වයත්... භෞතිකත්වයෙන් ඔබ්බට ගියාවූ සෑම දෙයක්මත්... තතු සේ අවබෝධ කරගෙන... ඉදිරියේ සිටින්නාට මනාව සෑම කාරණයක්ම හේතු ඇතිව පෙන්වා ඒ පුද්ගලයා තුලද ප්‍රඥාවන්තයෙක් අවදි කරවන සාකච්ඡාවක් කරන්නට හැකි... ඒ සෑම දේම තමන්ටද අවබෝධ කරගන්නට හැකි මඟ පෙන්වා දෙන... සැබෑම ප්‍රඥාවන්ත  මානයෙන් තොරවූ පුද්ගලයෙකු තුලයි!!!

  • සැබෑ රැඩිකල් බව ඇත්තේ භෞතිකත්වය කර පින්නාගෙන භෞතිකය නොඉක්මවූ දත්ත රැසක් මනසේ පුරවාගෙන තමන්ගේම මනස ක්‍රියා කරන්නේ කෙසේ දැයිවත් නොදැන අනුන්ගේ මනස මෝහයෙන් පිරිලාද නැත්ද යන බව... අනුන්ගේ මනස අනුවණද නැත්ද යන බව.... භෞතික සාධක මතම පදනම් කරගෙන තර්ක වාද කරන පුහු මනෝ විද්‍යාධාරීන් සේ හැසිරෙන්නවුන් තල නොව...

    පළමුව තමන්ගේ මනස තතු සේ අවබෝධ කරගෙන... ඒ මනසේ ක්‍රියාකාරීත්වය තතු සේ දැනගෙන... ප්‍රඥාවන්තයෙකු හෝ අනුවණයෙකු බිහි කරන සාධක හඳුනාගෙන... භෞතිකත්වයෙන් ඔබ්බට ගියාවූ මහා පෙරළියක් තමන් තුලම සාර්ථකව සිදුකරගෙන, තමන්ගෙන් ප්‍රශ්ණ කරන්නවුන්ටද ඒ පෙරළිය සිදුකරගන්නට හේතු ඇතිවම මඟ පෙන්වා දෙන සැබෑම ප්‍රඥාවන්ත මන සහ සියලු මනෝභාවයන් පිරිසිද දැක්කාවූ පුද්ගලයෙකු තුලයි!!!

භෞතිකය පදනම් කරගෙන භෞතිකය නොඉක්මවූ දත්ත මත යැපෙන ලෝක සත්වයාට එයින් විමුක්ත වීම පිණිස සැබෑවටම මඟ පෙන්වූයේ සැබෑම රැඩිකල්භාවය දැරූවන්ය. 
පෙනෙන ඇහෙන දැනෙන විඳින දේට මුලාවී රැවටී පැවැත්ම තුල අනාථ වීදැයිවත් නොදැන අනාථ බවින් පෙලෙන ලෝක සත්වයා හට නව සැලසුමක්... නව අදහසක් ගෙන හැර පාමින් ඒ තත්වයෙන් මිදෙන්නට විමුක්ත වන සැබෑ විමුක්තිකාමීන්වන්නට මඟ පාදා දුන්නේ... ඉදිරියටත් දෙන්නේ ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රැඩිකල් භාවය දැරූවන්ය.

මා දකින ඒ “හිසේ සිට පාදාන්තය දක්වාම” අන් අය දරන අදහස් වලට වඩා වෙනස්ම වූ අවබෝධයක් අදහසක් දරන... සෑබෑම දෝෂය හඳුනාගෙන... වෙනස් විය යුතු තැන හඳුනාගෙන... නව අදහසක්, නව සැලසුමක් යටතේ ප්‍රඥාවන්තව මඟ පෙන්වන... ලෝක සත්වයාට සැබෑම නව මඟක් පෙන්වන ඒ සැබෑම රැඩිකල්භාවයෙන් යුතු සැබෑ රැඩිකල් වාදීන් නම් ඒ උතුම් සම්මා සම්බුදු පියවරුන් වන සේක... උතුම් පසේ බුදු පියවරුන් වන සේක... මහ රහතන්වහන්සේලා වන සේක... ආර්ය මහා සංඝ රත්නයම වන සේක!!!

තුන් කල්හිම පහල වුණාවූ... පහල වෙන්නා වූ... ඒ සැබෑම රැඩිකල්වාදී වූ උතුම් ආර්ය භාවය දැරූ උතුමන් හට මාගේ නමස්කාරයම වෙත්වා!!!

රැඩිකල් යන වචනයේ අදහසවත් හරි හැටි අවබෝධ කර නොගෙන පැවැත්ම තුල තව තවත් අසරණ වන බොරු රැඩිකල්වාදී වූ අනාථ ලෝක සත්වයන් හට නිසි මඟ විවර වේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා