සත්ධර්මය අතුරුදහන් වීම

මැයි 2018 කතු වැකිය

සත්ධර්මය අතුරුදහන් වීම

සටහනේ අන්තර්ගතය

එක් අවස්ථාවක මහා කාශ්‍යප තෙරුණ් සම්මා සම්බුදු පියාණන්වහන්සේගෙන් විමසූ කාරණයක් අප පෙර කතුවැකිය තුලින් විමසා බැලුවා. ඒ අවස්ථාවේදී බුදු හිමියන් විසින් පෙන්වා දුන්නාවූ ඉතාමත් වැදගත් අප විසින් ගැඹුරින් අදහස වටහාගෙන පිලිපැදිය යුතු කාරණයක් මෙවර කතුවැකියෙන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නම්.

සූත්‍ර පිටකය > සංයුක්ත නිකාය 2 > නිදාන වග්ගය > 4 කස්සප සංයුත්තය > 1. කස්සප වග්ගය > 13. සද්ධම්මප්‍රතිරූපක සූත්‍රය > පිටුව 338 – 342 (පී.ඩී.ෆ් පිටුව 359 – 168)

යමක් විනාශ කරන්නට නම් එය ඇතුලෙන්ම තමයි විනාශ කරන්නට පටන්ගන්න ඕන.  සාමාන්‍ය ලෝක සම්මත ක්‍රමයත් එහෙමනේ.  යම් පුද්ගලයෙක්ව විනාශ කරන්නට අවශ්‍ය නම් ඒ පුද්ගලයාගේ හිතවතෙක් සේ වෙස් ගෙන ලගින්ම ඇසුරු කර ඒ රහස් දැනගෙන ඒ පුද්ගලයාව විනාශ කරන්නට කටයුතු කරනවා.  එය තමයි සාර්ථකම ක්‍රමය.  අන්න ඒ කාරණය ශාසනයටත් පොදුයි. 

මේ ශාසනය තුලම අන්‍යවූ ශාසනිකයන් බහුල වෙනවා.  බුදු හිමියන්ගේ කාලයේ සිටි දේවදත්ත හිමියන් වගේ.  දේවදත්ත හිමියන් බැලූ බැල්මට නම් ශාසනිකයෙක් වගේමනේ නේද?  ඒත් හැබැයි බුදු වදනට ගරු නොකල... බුදු ඔවදනට ගරු නොකල... තමන්ගේම මතකයක් ප්‍රකට කරමින් හැසිරුණ චරිතයක්.  මේ අය ශාසනිකන් වගේ බැලූ බැල්මට පෙනුනාට මේ අයට තමයි අන්‍ය ශාසනිකයන් කියලා කියන්නේ.  ඒ අය මේ වන විට බහුල වෙමින් පවතිනවා.  ගිහි පැවදි දෙපාර්ශවය තුලම සත්ධර්මය ඉගෙන ගෙන අවබෝධයක් නැතිව වචන පද පෙරලමින් අර්ථය ධර්මය යටපත් වෙන සේ කටයුුතු කරන පිරිස් බහුල වෙමින් පවතිනවා. 

බුදු හිමියන් විසින් මේ සත්ධර්මය අතුරුදහන් වෙන්නට මූලිකවන කරුණු 5ක් පෙන්වා දෙනවා.  ඒවා එකින් එක වෙනමම  පසුව ගැඹුරින් විග්‍රහ කරගන්නට කටයුතු කරමු.  එතෙක් ඒ ඉතාමත් වැදගත් කරුණු ගැන විමසා අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නට උත්සාහවන්ත වෙමු.

බලන්න! ඔබ තුලත් මේවා ක්‍රියාත්මක වෙනවද කියලා.  බලන්න! ඔබත් ශාසනිකයෙක් වගේ යැයි රැවටී සිටින අන්‍ය ශාසනිකයෙක්ද කියලා සොයා බලන්න.  මන්ද නොදැනුවත් හෝ ඔබත් එවැන්නෙක් නම් එහි අනතුර ඔබට පමණක්ම නොවේ! 

  1. ශාස්තෘන්වහන්සේ කෙරෙහි ගෞරවයක් කීකරු බවක් නැතිවීම.

දැන් මෙහෙම හිතන්නකෝ... සරලවම ඔබ ශාස්තෘන්වහන්සේ කිවූ දස අකුසලය හෙවත් ප්‍රාණඝාතය, නුදුන්දේ ගැනීම, අබ්‍රහ්මචරියාව, බොරු, කේලම්, පරුෂ වචන, ලෝභය, ද්වේශය, මෝහය (රාග, ද්වේශ, මෝහ) නැතිකරන්නට කටයුතු කරනවාද?  දිනකට ඒ වෙනුවෙන් ඔබ යොමුවී සිටින කාලය කොතරම්ද? කෝ ඉතින් කියපු දේ කරන්නේ නෑනේ. කියපු දේ නොකර කොතරම් අපේ ශාස්තෘන්වහන්සේ බුදු හිමියන් කිව්වාට ඵලක් වේද?  විමසා බලන්න!

  1. ධර්මය කෙරෙහි ගෞරවයක් කීකරු බවක් නැතිවීම.

ධර්මය බොහෝම සැහැල්ලුවට ගන්නවා.  පොත් පාඩම් කරගෙන ධර්මය අවබෝධ වූවා සේ හැසිරෙනවා.  වචන පද ඔසවාගෙන් මේ තමයි ධර්මය යැයි කෑ මොර දෙනවා.  ධර්ම කොටස් තම තමන්ගේ වාසියට ගෙන පැවැත්ම පිණිසම විකෘති කරගනිමින් තර්ක වාදය පිණිස යොදාගන්නවා.  කෝ දැන් දහමට ගෞරවයක්?  කෝ ඒ දුලභ පෙර නොඇසූ විරූ දහම ඇසුරු කිරීමක්?  මේ දේ තෝරගන්නේ නැතිව අපේ දහම තමයි උසස්ම උතුම්ම යැයි කියමින් කෑ මොර දුන්නාට ඵලක් වේද?  විමසා බලන්න!

  1. සංඝයා කෙරෙහි ගෞරවයක් කීකරු බවක් නැතිවීම.

මම නම් භික්ෂු සංඝයාට බොහෝම ගරු කරනවා.  අරණ්‍ය ගත වෙලා ඉන්න... නිර්මාංශ වෙලා ඉන්න... පිණ්ඩපාතයෙන් යැපෙන... පාංශුකූල චීවර දරන... රුක් මුල් ඇසුරු කරගෙන ඉන්න... එවන් වූ භික්ෂූන්වහන්සේලාට පමණයි හැබැයි.  පන්සලේ ඉන්න හාමුදුරුවන්ට කොයින්ද සිල්?  මේ වගේ අදහස් ගෙන දෙව්දත් හිමියන් ප්‍රකට කල ආකාරයේ භික්ෂූන්ට පමණක් ලැදිව බුදු හිමියන් ප්‍රකට කල සංඝරත්නයට ගරහනවා නොවේද?  කෝ දැන් සංඝයා කෙරෙහි ගෞරවයක්?  සංඝයාගේ සිල් දුසිල් මනිමින් ඔවුන්ව හදන්නට අපටත් අයිතියක් තියෙනවා යැයි කෑ මොර දෙමින් නොවේද කටයුතු කරන්නේ?  විමසා බලන්න!

  1. ශික්ෂාව කෙරෙහි ගෞරවයක් කීකරු බවක් නැතිවීම.

ශික්ෂාව තියෙන්නේ හාමුදුරුවන්ට විතරයි.  ඒ අය රෑට කනවා... ඒ අය රකින්නේ නැතිවනේ අපිට කියන්නේ.  එහෙනම් ඉතින් අපි මොකටද ඕවා කරන්නේ?  ඔවායේ කෝ නිවන්?  ගිහියෝ ශික්ෂා පද රැක්කාම මදැයි.  අපි කොහොමත් සමාදන් වෙලානේ ඉන්නේ.  මේ ආකාරයෙන් දෙපිරිසම දෙපාර්ශවයට චෝදනා කරමින් අවසන මග හැරෙන්නේ ශික්ෂණයයි.  පද ඉතිරි වුණත් ශික්ෂණයක් නම් දැකගන්නට නොහැක්කේ ඒ නිසා නොවේද?  විමසා බලන්න!

  1. සමාධිය කෙරෙහි ගෞරවයක් කීකරු බවක් නැතිවීම.

මෙතරම් විසරුණු මනසක් ඇති කල්හි විදසුන් වඩන්නට... දහම් අවබෝධයක් ලබන්නට කෝ සමාධියක්?  දේශකයාගේ දොස් හොයමින්... තම තමන් බැසගත් ධර්මය යැයි වරදවාගත් ධර්මයක්ම අසන්නට කන් යොමු කරමින් වික්ෂිප්ත වූ මනසක සමාධියක් ඇතිවේද?  ඒ විතරක් නෙවේ සමාධිය වටහාගන්නට නොහැකිවීම නිසාම අන්‍යවූ කාරණා සමාධිය ලෙසින් ප්‍රකට කරනවා මෙන්ම ඒ මත සිටිමින් නිවැරදි ශාසනික සමාධියද සඟවා යටපත් කරන්නට දැන හෝ නොදැන කටයුතු කරනවා නොවේද?  විමසා බලන්න!

මේ කරුණු 5 හොඳින් තෝරාගෙන අවබෝධයෙන්, සිහියෙන් යුතුව ශාසනය විනාශ කරන්නෙක් නොවන්නට කටයුතු සම්පාදනය කරගැනීම තම තම නැණ පමණින් ගත යුතු තීරණයක්ම වේ!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා