බුදු දහම තුල “විවේඡනය”?

පෙබරවාරි 2013 කතු වැකිය

බුදු දහම තුල “විවේඡනය”?

සටහනේ අන්තර්ගතය

බොහෝ පිරිස් අතර දකින්නට තියෙන දෙයක් තමයි එකිනෙකා විවේඡනය කිරීම්. යම් භික්ෂුවක් හෝ වේවා භික්ෂුණියක් හෝ වේවා අරමුණු කරගෙන පුද්ගලික විවේඡන වාද විවාද මෙතෙකැයි කියන්නට නොහැකියි. ඒ වගේම තමයි අනෙකුත් ආගම් දහම් සමගින් සංසන්දනය කරමින් ඒ ආගම් දහම් පහත් බව ඔප්පු කරන්නට විශාල වශයෙන් කාලය වැය කිරීම. ඉතින් මේ සැබෑ බුදු දහමදැයි විමසීමට මෙවර කතු වැකිය වෙන් කරමු.

වචන හමුවේ වාද විවාද, ධර්මය හමුවේ වාද විවාද, විවේඡන, සංසන්දනයන්, ඇලීම් බැඳීම්, ගැටීම්, මුලාවන්... මේ සියලු දෑහි එකතුවක් කෙලෙසකින් නම් බුදු දහම වෙන්නේද?  ඔබ "බුදු දහම" ලෙසින් හෝ බෞද්ධ ලෙසින් හෝ යමක් කියවන්නට, අසන්නට, ඇසුරු කරන්නට යෙදෙනවා නම් බොහෝම බුද්ධිමත්ව තම තම නැණ පමණින් විමසා බලා නිසි දේ තෝරාගැනීම ඔබගේ ගැලවීම පිණිසම හේතුවේවි.

මෙසේ කථා කරන්නට යෙදුන මාතෘකා නම් බොහෝම රසවත් තමයි.  ඇස, කණ, දිව, නාසය, කය සහ මන කියන්නා වූ පංච ඉන්ද්‍රීයයන්ම පිනවන්නට උපකාර වෙනවා.  එහෙනම් ඒ කියන්නේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් යුක්ත වූ ලෝකයටම පැවැත්මටම හේතු වෙන්නා වූ දේවල් රැසක් වටා තමයි පුරුද්දට වගේ මේ සිත් යොමුවෙන්නේ.  ඒ වගේ දේවල් දැක්ක ගමන්ම ඇසුන ගමන්ම වහ වහා ඒවාට පිළිතුරු දෙන්නට, ඒවාට කැමැත්ත ප්‍රකාශ කරන්නට, ඒවා වෙනුවෙන් පෙනී සිටින්නට කටයුතු කරනවා වගේම තමයි ඒ වගේ දේවල් බොහෝම ඉක්මනටම ඉතාමත් ජනප්‍රියත් වෙනවා.

මෙවන් වූ දෑ සඳහා වැය කරන කාලය, මේ බුදු දහම තුල පෙන්වන උත්තරීතර ගුණයන් වඩාගැනීමට යොදවනවා නම් මේ සියලු කෙලෙස් නැතිවී යනවා නෙවේදැයි සිතා බැලිය හැකි නම් ඔබ සැබැවින්ම දිනුමක් ලද ප්‍රඥාවන්ත පුද්ගලයෙක් වේවි. 

එසේ නම් දැන් ගැටලුවක් තියෙනවාය...  සැබෑම බුදු දහම ලෙසින් අනුකාරක රැසක් හඳුනාගෙන තිබෙනවාය...  කියලා අපි විස්තර කරගත්තානේ.  එතකොට සැබෑ බුදු දහම හඳුනාගැනීමට අපහසු වෙලා තියෙන්නේ ඒ සැබෑ බුදු වදන හඳුනාගන්නා ක්‍රමය නොදන්නාකම නිසාය කියලාත් විස්තර කරගත්තානේ එහෙනම් ගැටලුවට විසඳුම තමයි "බුදු දහම" ලෙසින් ඇසුරු කරන ඕනෑම දෙයක් තුලට බුදු දහම තෝරාගන්නට තියෙන ක්‍රමය යොදාබැලීම. 

මොකක්ද මේ ක්‍රමය?  බුදු හිමියන් බුදු දහම මතු කරලා දුන්නේ ඇයි?  අපි රාගයක් නිසාවෙන් ද්වේශයක් නිසාවෙන්, මෝහයක් නිසාවෙන් මහා දුක් රැසක් ලංකරගන්නවාය ඉතින් ඒ දුක් රැසකට හේතු වෙන රාගය, ද්වේශය මෝහය නැති කරලා දාන්න අන්න එතකොට දුකක් නැතිව සැනසීමෙන් කටයුතු කරගන්නට හැකිය කියලයි.  නැවත පැවැත්මක් නැතිව නිවී සැනසීමට පත්වෙන මාර්ගයක් තමයි බුදු දහම කියලා කියන්නේ. 

එහෙනම් බුදු හිමියන් විසින්ම පෙන්වා දෙනවා යම් බුදු දහම ලෙසින් හෝ බුදු වදන ලෙසින් හෝ පෙන්වන යමක් තුලින් ඔබගේ රාගය අඩුවෙනවා නම් නැතිවෙනවා නම් ද්වේශය අඩුවෙනවා නම් නැතිවෙනවා නම් මෝහය අඩුවෙනවා නම් නැතිවෙනවා නම් අන්න ඒ දේ කව්රු කිව්වත් කොතැන තිබුණත් බුදු දහම, බුදු වදන ලෙසින් පිළිගන්නටය කියලා.  ඉතින් සරලව විමර්ශනය කරලා බලන්න ඔබ ඇසුරු කරන දේවල් තුලින් ඔබට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද කියලා.   ඒ සඳහා ඔබට ප්‍රඥාවම ලැබේවා!  තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා