ලැබුණ වට්ටෝරුවෙන් සතුටු වීම!

සැප්තැම්බර් 2011 කතු වැකිය

ලැබුණ වට්ටෝරුවෙන් සතුටු වීම!

සටහනේ අන්තර්ගතය

යම් කෑමක් හදාගන්නට කෑම වට්ටෝරුවක් ලැබෙන්නා සේ ඒ ලැබූ වට්ටෝරුව භාවිතා කොට රසවත් ආහාර වේලක් සකසා ගන්නට තම තමන්ගේ දක්ෂකම් මත හැකිවෙනවා සේ ජීවිතය නම් වූ කෑම වේල සකසාගන්නට ලැබී ඇති වට්ටෝරුව භාවිතා කරගන්නා අයුරු විමසා බලමු.

කෙනෙකුට පිටි, සීනි, බිත්තර ආදී දේ පමණක් නොවේ වැඩිපුර චොකලට්, අයිසිං, පලතුරු ආදියත් ලැබෙනවා.  ඒ වට්ටෝරුවෙන් ඒ පුද්ගලයා කැමති සේ ඒවා යොදාගෙන කේක් එකක් හදන්න පුළුවන්.  එහෙම නේද?

තව කෙනෙකුට පිටි, සීනි, බිත්තර ආදී මූලික දේ පමණක් තියෙන්නටත් පුළුවන්.  ඒත් ඒ පුද්ගලයටත් පුළුවන් කේක් එකක් හදන්න.

තව කෙනෙකුට පිටි, සීනි, විතරක් තියෙන්න පුළුවන් ඒ පුද්ගලයටත් පුළුවන් එයින් කේක් එකක් හදන්න.

ඔය වගේ තමන්ට වට්ටෝරුවක් ලැබුනාම එය කෙසේ භාවිතා කරනවාද කියන හැකියාව මත රසවත් ඵලයක් කෙක් එකක් ලෙස ඒ වට්ටෝරුවෙන් ලබාගන්නට හැකියාවක් තිබෙනවා.

මේ අයගෙන් කොයි කෙනාගේ කේක් එකද වඩා රස කියලා ලැබී තිබෙන වට්ටෝරුවෙන් නිගමනය කරන්න නොහැකියි. මන්ද ඒ රසවත් භාවය ලැබෙන්නේ ඒ ලැබුණ දේ ඔවුන් යොදාගන්නට තිබෙන හැකියාවේ ආකාරය අනුවයි.

පිටි, සීනි, විතරක් තිබුණ කෙනා අනික් දෙදෙනාටම වඩා රසවත්ම කේක් එක හදන්න පුළුවන් බව අමතක කරන්න එපා.  හැබැයි එයා මට ලැබුනේ පිටි, සීනි, විතරයි මේකෙන් කොහොමද කේක් හදන්නේ කියලා බැන බැන අනෙක් අයට දොස් කියමින් ඒ පිටි සීනි ටික විසි කලොත්?  ඒ ලැබුණ වට්ටෝරුවෙන් කේක් හදනවා තබා තමන්ට ඒ ලැබුණ දේත් නැතිවුණා නේද?

මට ඔක්කෝම ලැබුණා කියලා උදම් අනමින් නොලැබුන අය උපහාසයට ලක්කරමින් තමන්ට ලැබුණ දෙයින් ප්‍රයෝජන ගත්තේ නැතිනම් ඒ පිටි, සීනි, බිත්තර, චොකලට්, අයිසිං, පලතුරු කොච්චර ලැබුණත් ඒත් ඵලක් වෙන්නේ නෑ.

ඔන්න ඔය වගේ අපි හැමෝටම වට්ටෝරුවක් ලැබී තියෙනවා. ඒ ලැබිලා තියෙන්නේ "ජීවිතය" කියන කෑම හදාගන්නටයි.

දුප්පත්ද, පොහොසත්ද, මධ්‍යම පාන්තිකද, ඇස් කණ් දිව නාසය කය කියලා දෙයක් ලැබිලද, ඇස් පෙනීම නැතිව අන්ධද, බිහිරිද, ගොළුද, ලෙඩෙක්ද, අතක් පයක් නැතිද, ස්වාභාවික විපත් වලින් කරදරද නැත්ද, අම්මා තාත්ත ඉන්නවද නැත්ද, ජාතකද අවජාතද, පවුලේ ගැටලුද නැතිද, ආදරය ලැබෙනවාද නැත්ද ආදී එකී නොකී මෙකී ඔය වගේ කුමන හෝ අවස්ථාවක් අත්දකිමින් ඔබ මේ වන විට ඔබේ ජීවිතය ගත කරනවා වෙන්නට පුළුවන්!

අන්න ඒක තමයි ඔබට ලැබිලා තියෙන වට්ටෝරුව! ඒ වට්ටෝරුවේ අඩංගු දේ මදකම නිසා ඔබ දුකට පත් නොවිය යුතුයි.  ඒ වට්ටෝරුවේ බොහෝ සේ වර්ග තියෙනවාය කියලා උදම් ඇනීමද නොවිය යුතුයි.  එවිට කෙසේ කෙසේ ප්‍ර‍ථිඵල වේදැයි මීළඟ කතු වැකියෙන් විග්‍ර‍හ කරගන්නට යෙදෙමු!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා