චෝදනාවට පෙර සිතන්නට යමක්!

අගෝස්තු 2014 කතු වැකිය

චෝදනාවට පෙර සිතන්නට යමක්!

සටහනේ අන්තර්ගතය

ධර්මය සම්බන්ධ කරුණු කාරණා තුලදී පුද්ගලත්වයෙන් ගෙන හෝ වේවා කරුණු වශයෙන් ගෙන හෝ වේවා නොයෙක් දෘෂ්ඨි මතවාද ගෙන හෝ වේවා අන් වූ පුද්ගලයන් හට, දේශකයාණන්වහන්සේලා හට චෝදනා ස්වරූපයෙන් කරුණු කාරණා ගෙන හැර පෑම මෙකල බහුලව යෙදෙන්නක්. ධර්මයේ නාමයෙන් තෙරුවණේ නාමයෙන් මේ ආකාරයට සිද්ධ වෙන බොහෝ දෑ ධර්මානුකූල හෝ විනයානුකූල නොවන බව බොහෝ අවස්ථාවලදී දැකිය හැකි පැහැදිලි කරුණක්. බොහෝ අවස්ථාවල මෙම කරුණු නොයෙක් ආකාරයෙන් ගෙන හැර පා තිබුණද මෙවර කතු වැකිය යොමුවෙන්නේ ඉතාමත් වැදගත් කරුණු රැසක් ඉතාමත් කෙටියෙන් ගොනු කොට දැක්වීමටයි.

බුදු රදුන් වැඩ සිටි කාලයේදී පවා අනුන්ට චෝදනා නැගීම තිබූ දෙයක්.  එවැනි අවස්ථාවලදී බුදු හිමියන් විසින් අනුන්ට චෝදනා කිරීමට මත්තෙන් තමන් තුල විමසා බැලීමට ඉතාමත් වැදගත් කරුණු කීපයක් පෙන්වා දුන්නා.  අංගුත්තර නිකාය 6 < ඡට්ඨ භාග < දසක නිපාතය < 1.5 අක්කොස වග්ගය < 4. කුසිනාරා සූත්‍රය තුල ගැබ්වෙන්නාවූ කරුණු ඉතාමත් කෙටියෙන් ගොනු කොට සටහන් තබන්නෙමි. 

සෑම අවස්ථාවකදීම සිහිපත් කරනවා වගේ මෙවරත් සිහිපත් කරන්නේ බුදුහිමියන් "මහණෙනි" ලෙසින් යම් ඔවදනක් නිවීම පිණිස ලබා දී තිබෙනවා නම් ඒ පොදුවේ නිවන් අවබෝධකරගැනීමට කැමති ගිහි පැවදි දෙපාර්ශවයම පිණිසමයි.  ඉතින් ප්‍රඥාවන්තව මේ දේවල් ඔබගේ ජීවිතයට ලං කරගැනීම බුද්ධිමත් සැබෑම මිනිසුන් වන ඔබටම අයත් කරුණකි.

අනුන්නට චෝදනා කරන්නට කැමැති චෝදක පාර්ශවය විසින් තමන් තුල පහත කරුණු 5 තිබේදැයි විමර්ශණය කර බැලිය යුතුයි.

  1. කිසිදු දෝෂයක් නැති අනුන් හට සමකරන්නට නොහැකි සෙයින් තමන් තුල කායික සංවරත්වය පිහිටා තිබේදැයි විමර්ශණය කොට බැලිය යුතුය. එසේ ඇත්නම් පමණක් ඔබ පළමුව කායික සංවරත්වයට පත්ව සිටින්නැයි චෝදනා කල හැකිය.
  2. කිසිදු දෝෂයක් නැති අනුන් හට සමකරන්නට නොහැකි සෙයින් තමන් තුල වාචික සංවරත්වය පිහිටා තිබේදැයි විමර්ශණය කොට බැලිය යුතුය. එසේ ඇත්නම් පමණක් ඔබ පළමුව වාචික සංවරත්වයට පත්ව සිටින්නැයි චෝදනා කල හැකිය.
  3. තමාගේ සිත තුල සබ්‍රහ්මචාරීන් කෙරෙහි ගැටීමෙන් යුතු ස්වභාවයක් පවතින්නේදැයි විමර්ශනය කොට බැලිය යුතුය. මෛත්‍රී සහගත චිත්තයෙන් යුතුවම කටයුතු සිද්ධ වන්නේදැයි විමර්ශණය කොට බැලිය යුතුය. එසේ ඇත්නම් පමණක් ඔබ පළමුව සබ්‍රහ්මචාරීන් කෙරෙහි මෙත් සිතින් යුතුව කටයුතු කරන්නැයි චෝදනා කල හැකිය.
  4. තමා බහුශ්‍රැතද මුල මැද අඟ කල්‍යණ වූ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන්නට හැකිද, යම් ධර්මයක් ප්‍රකාශ කරනවාද ඒ ධර්මය තමන්ට අවබෝධයෙන් යුතුව ප්‍රඥාවෙන් දැක දෘෂ්ඨිය පිරිසිදුව වචනය භාවිතා කරන්නේද යන්න විමර්ශණය කොට බැලිය යුතුය. එසේ ඇත්නම් පමණක් ඔබ පළමුව ඔබගේ දෘෂ්ඨිය පිරිසිදුකරගන්න, ධර්මය පරිපුර්ණ කරගෙන සිටින්නැයි චෝදනා කල හැකිය.
  5. තමා තුල උභය ප්‍රාතිමෝක්ෂය තුල පෙන්වා දී ඇති දහම් කොටස් හෙවත් භික්ෂු භික්ෂුණීන් වෙත ලබා දී ඇති විනය සික්ෂාපද සම්බන්ධව පරිපූර්ණ දැනුමක් වැටහීමක් මෙන්ම පූර්ණ හික්මීමක් තිබේදැයි විමර්ශනය කොට බැලිය යුතුය. එසේ ඇත්නම් පමණක් බුදු හිමියන් මෙවැන්නක් කොහිදෙසන ලද්දක්දැයි විමසූ විට පිලිතුරු ලබාදීමට නොහැකි වන්නෙකුට ඔබ පළමුව විනය තුල හික්මී සිටින්නැයි චෝදනා කල හැකිය.

මේ පිළිබඳව විමසා බැලිය යුතු තවත් කරුණු රැසක් මීලඟ කතු වැකිය තුලින් ගෙන එන තෙක් ප්‍රඥාවන්ත ඔබට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා