ඇහුම්කන් දෙන අලුත් වසරක්

ජනවාරි 2022 කතු වැකිය

ඇහුම්කන් දෙන අලුත් වසරක්

සටහනේ අන්තර්ගතය

දියෙන් ගොඩ දාපු මාළුවෙක් දඟලනවා වගේ එක එක අරමුණු හමුවේ මේ හිත දඟලන්නේ. ඒ නිසාමයි මේ මාර බන්ධනයෙන් නිදහස් විය යුත්තේ. වසරක් අලුත් වෙන්නේ නෑ අසිහියෙන් දඟලන සිත පුරුදු පරිදි ම නම්... ඒ නිසා මාර බන්ධනයෙන් නිදහස් වෙන්න අප්‍රමාදී ව කටයුතු කල යුතු බව ම දැනෙන නුවණ ම පහළ වන වසරක් බවට 2022 වසර පත් වේවා යැයි මේ නිර්වාණ ධර්ම අපගෙන් ඔබට මේ වසර ආරම්භයේ දී ලබා දෙන සෙත් පැතුමයි!

එක්තරා අවස්ථාවක සම්මා සම්බුදු පියාණන් වහන්සේ සමඟ වැඩ සිටි මෙඝිය නම් වූ හිමි නමක් අඹ වනයක් දැකලා භාවනා කරන්නට නම් ඉතාමත් සුදුසු ස්ථානයක් කියලා එතැනට යන්න ඕන කියලා හිතුවා.  බුදු හිමියන්ට මේ බව පැවසූ විට බුදු හිමියන් නම් පැවසුවේ ටිකක් ඉඳලා යන්න කියලයි. 

බුදු හිමියන් කිව්වත් ඉතින් සිතට වහල් වූ විට කව්රුවත් ඇහුම්කන් දෙන්නේ නැති බව ඔප්පු කරමින් මේ හිමියන් තමන්ට කැමැත්තක් ඇති වූ අඹ වනයට ගියා භාවනා කරන්න. නමුත් ගිය වෙලාවේ ඉඳලා සිතට නැඟෙන්නේ ම කාමයට සම්බන්ධ අදහස්... තරහ සහිත අදහස්... හිංසාකාරී අදහස්... කිසිම භාවනාවක් කර ගන්නට බැරි වුනා.  දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ එක එක සිතිවිලි ඔස්සේ දඟලමින් සිත කටයුතු කලා. මේ සිදු වන දේ වරදක් බව හඳුනා ගත්ත මේ මෙඝිය හිමියන් මේ ඇබැද්දිය ගැන දැන ගන්න නැවත බුදු හිමියන් සොයා ගෙන ගියා.

බුදු හිමියන් ඉතින් පැවසුවා... “කෝ ඉතින් ඇහුවේ නෑනේ මම ටිකක් ඉන්න කියලා කිව්ව නේද ඔබට... හිතට වසඟ වෙලා වැඩ කරන එක නම් එතරම් හොඳ දෙයක් නෙවේ” කියලා හරිම ලස්සන දහම් කොටසක් පෙන්වා දුන්නා.

“මෙඝිය, නිවීම පිණිස... චිත්ත විමුක්තිය මුහුකුරා යෑම පිණිස... කාරණා 5ක් අවශ්‍ය වෙනවා.

පළමු කාරණාව තමයි; කල්‍යාණ මිත්‍රයන් ඇති බව, කල්‍යාණ මිත්‍රයන් කියන දේට ඇහුම් කන් දෙමින් කල්‍යාණ මිත්‍රයාගේ ඒ සහාය ලබන බව. 
දෙවන කාරණාව තමයි; සිල්වත් බව... ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර බව... ආචාරගෝචර සම්පන්න බව... සුළු මාත්‍ර වරදෙහිත් බිය දකින සුළු බව... ශික්ෂා පදයන් සමාදන් ව ශික්ෂාවේ හික්මෙන සුළු බව කියන වරද වරද සේ දැක හික්මීම ඇති කර ගැනීම පිණිස කටයුතු සිදු කර ගැනීම.
තෙවන කාරණාව තමයි; දෙ තිස් කතාවෙන් මිදිලා අල්පේච්ඡ කථා, සන්තුෂ්ටි කථා, ප්‍රවිවෙක කථා, අසංසර්‍ග කථා, වීර්‍ය්‍යාරම්භ කථා, ශීල කථා, සමාධි කථා,  ප්‍රඥා කථා, විමුක්ති කථා, විමුක්ති ඥාන දර්ශන කථා යන කෙලෙස් තුනී කරන, සිතේ ආවරණ දුරැලීමට, සමථ විපස්සනා වැඩීමට යෙදෙන යම් කථාවෙක් ඒකාන්තයෙන් සසර දුකෙහි කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සියලු කෙලෙස් සංහිඳීම පිණිස, දත යුතු දෑ දැනීම පිණිස, සම්බෝධය පිණිස, නිවන පිණිස පවතී ද, මෙබඳු කථාවෙහි නියැලෙන්නට හැකි බව සහ එබඳු කතාවන් සුව සේ ලබන සුලු වේ ද, මහත් සේ ලබන සුලු වේ ද අන්න ඒ තුන්වැනි කාරණය විමුක්තිය පිණිස අවශ්‍ය වෙනවා.
හතර වන කාරණාව තමයි; අකුසල් දහම් දුරලීම පිණිස, කුසල් දහම් හි පිහිටා සිටීම පිණිස, කුසල් දහම් රැක ගැනීමට සහ අකුසල් උපදවා ගන්නේ නැතිව සිටීමට මහත් වූ වීර්යයකින් යුතුව කටයුතු කිරීම... උත්සාහවන්ත වීම... වීර්ය අත නො හැර කැප වීම කියන්නා වූ විමුක්තිය පිණිස වූ වීර්ය අවශ්‍ය වෙනවා.
පස් වන කාරණාව තමයි; නිවීම පිණිස වූ ප්‍රඥාව.  සියලු දුක් කෙළවර කර ගැනීම පිණිස වූ උදය වැය දකින්නා වූ ස්කන්ධ ධර්මතාවය ආදිය කෙරෙහි වූ ප්‍රඥාව හෙවත් චතුරාර්ය සත්‍ය හේතු ඵල දහම් කෙරෙහි වූ අවබෝධය.”

ඉතින් ඒ කාරණා පහට තවත් විස්තර එකතු කරමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කල්‍යාණ මිත්‍රයන් ඉන්නා... කල්‍යාණ මිත්‍රයන්ගේ වචනයට නැමෙන ඒ සහාය ලබන්නා විසින් අනෙකුත් කාරණා සියල්ලම ලබන බවයි.

ඉතාමත් සියුම් වූත්... කුඩා අනු කුඩා විතර්කයන් දැක ගන්නට දක්ෂ නොවන සිතට ම වසඟ වෙලා කටයුතු කරන පුද්ගලයා භවයෙන් භවය සකස් කරමින් සසරට ම දිව යනවා.  සිහිය ඇති වීර්ය ඇති පුද්ගලයන් මේ විතර්කයන් හඳුනා ගන්නවා.  ප්‍රඥාවෙන් ඒ විතර්කයන්ට පිළියම් යොදනවා.  මතු පහල වන්නට නියමිත විතර්කයන් ගේ ද මුල සිඳ දමන්නට ප්‍රඥාවන්තයා දක්ෂ වෙනවා.

ඉතින් මේ කාරණා තේරුම් ගැනීමට... සිතට වසඟ වෙලා සිතට එකඟ ව වැඩ කරමින් අනතුරට පත් නොවන, ධර්මය අවබෝධ කරමින් ධර්මයට එකඟ ව වැඩ කරන්නට හැකි වෙන, කලණ මිතුරන් වැඩියෙන් ලබන... කලණ මිතුරන්ගේ වචනයට නැමෙමින් ඒ සහාය ප්‍රඥාවන්ත ව ලබන සුභ වසරක් වේවා යි මෙත් සිතින් සෙත් පතන්නෙමු!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා