අනුකරණ වලට නොරැවටෙන්න!

ජනවාරි 2013 කතු වැකිය

අනුකරණ වලට නොරැවටෙන්න!

සටහනේ අන්තර්ගතය

මේ කාලේ බුදු දහම ලෙසින් දැක්වෙන බොහෝ දෑ නම් ගැටලු සහගත තත්වයක් තමයි තියෙන්නේ. බොහෝ පිරිසක් බුදු දහම ගැන කථා බහ කරන්නට යෙදුනත් ඒ "බුදු දහම" යන ලේබලය යටතේ කථා කරන්නේ සැබෑවටම බුදු දහමද කියලා නම් සොයාබැලීම වැදගත් වෙනවා. මෙවර කතු වැකිය එවන් වූ විමසුමක් උදෙසායි.

බොහෝ පිරිසක් බුදු දහමට ලැදිය කැමැතිය ආදරය කරනවාය කියලා ඇලී බැඳී රැඳී තිබෙන්නේ නම් බුදු දහම ලෙසින් පෙන්වන අනුකරණ ලේබලයන් එකතුවකට බව තමයි බොහෝ විට දක්නට තිබෙන්නේ.  ඉතින් මේ ප්‍රවේශම තමන් තුලට ලංකරගන්නට කොතරම් ක්‍රම දුන්නත් ප්‍රමාණවත් නැති තරම්.  ඒ ප්‍රවේශම ඇතිකරගත යුත්තේ තම තම නැණ පමණින්ම නම් තමයි.  ඉතින් මේ ගැන කෙටියෙන් විස්තර කරගන්නට සුපුරුදු පරිදි උත්සාහ කරමු.

අන්තර්ජාලයේ පමණක් බුදු දහම යන ලේබලය යටතේ ඉදිරිපත්වන දෑ ගැන සිතා බැලුවොත් පැහැදිලිවම ඒවා නම් බුදු දහම නොවේය යන්නට හඳුනාගන්නට හැකියි.  ඒ කොහොමද?  වැරදිලා තියෙන්නේ කොතැනද?  මේ දේවල් ගැන කෙටියෙන් විස්තර කරගන්නට උත්සාහ කරමු.

උදාහරණයක් විදියට බොහෝ විට දක්නට තියෙන දෙයක් තමයි බුදු දහම වැළඳගත්තාය කියලා ප්‍රසිද්ධ රංගන ශිල්පීන්, ගායකයන් වගේ ලෝක ප්‍රසිද්ධ චරිත හුවා දැක්වීම.  "මෙන්න මෙයත් ඔන්න අපේ ගොඩේ" මහා මාන්නයක් සිත් දරාගෙන තමන්ගේ ගොඩ වැඩි කරගන්නට උත්සාහ දැරීමක් මේ "බුදු දහම" යන ලේබලය යටතේ සමහරවෙලාවට දක්නට තියෙනවා.  ඉතින් ගොඩ වැඩිවුණාය කියලා ඇති ඵලක් වේවිද? මේ දේවල් බුදු දහම වෙන්නට හැකිද?  විමසා බැලීම බුද්ධිමත් ඔබටම භාරයි.

යමෙක් පන්සල් යනවා නම්, මල් පූජා කරනවා නම් වන්දනා කටයුතු කරනවා නම් භාවනා කරනවා නම් ඒ පුද්ගලයා බෞද්ධයෙක් ලෙසින් හඳුනාගන්නට තමයි බොහෝ විට පෙළඹිලා තියෙන්නේ.  ඒත් ඇත්තටම බුදු හිමියන් විසින් මෙය නම් අනුමත කල දෙයක් නෙවේ.  යමෙකුගේ බාහිර කටයුතු ඔස්සේ ඒ ඒ පුද්ගලයා ගැන නිගමනය කරන්නට කිසිදු හැකියාවක් බුදු රජාණන්වහන්සේට හැරෙන්නට වෙනත් කිසිවෙකුටත් නොහැකියි කියලා තේරුම් ගැනීමත් වැදගත් වෙනවා.  ඉතින් බුදු හිමියන් අනුමත නොකරන දේවල් "බුදු දහම" ලෙසින් හුවා දැක්වීම එතරම් සුදුසු දෙයක් නම් නෙවේ.

ටිකක් හිතන්න ඔබට බුදු දහම ලෙසින් කියවන්නට ලැබෙනවා ප්‍රසිද්ධ පුද්ගලයන් මෙච්චර පිරිසක් බුදු දහම වැළඳගෙනයි ඉන්නේ කියලා.  දැන් මේ දේ කියවන විට ඔබගේ සිතට දැනෙන්නේ කුමන ආකාරයේ දැනීමක්ද කියලා ඔබ විසින්ම විමර්ශනය කල යුතුයි.  අන්න එවිට ඔබට දැනේවි මහා දාහයක් සිත තුල ඇතිවෙනවාය කියලා.  මේ දාහයේ ප්‍රතිඵල ලෙසින් පිටතට එකවරම නැගෙන සිතිවිලි මොනවගේ ඒව වෙන්න පුළුවන්ද?  "ෂා නියමයි... මෙයත් ඉන්නවා මෙයත් ඉන්නවා... බුදු දහම නියමයි ඒ නිසානේ මේ අය මේ එකතුවෙලා ඉන්නේ... හොද වැඩේ අර ආගමට... හොද වැඩේ මේ ආගම්කාරයන්ට... බුදු දහම තමයි ලොව ශ්‍රේෂ්ඨතම ආගම... මේ වගේ කට්ටියත් ඉන්නේ මේ ආගමේ..." මෙන්න මේ වගේ කොතරම් නම් ප්‍රතිචාර දැක්වෙනවාද කියලා හිතලා බලන්න.

දැන් මේ ඇලුනේ බැදුනේ තීරණය ගත්තේ බාහිර වූ දත්තයන් රැසක් නිරීක්ෂණය කරලා මිසක් ඇත්ත දැනගෙන නෙවෙයි.  ඒ නිසාම ඔබගේ තීරණයත් මේ කියන බාහිර දත්තයන් මත රඳා පවතිනවා.  ඒ ප්‍රසිද්ධ චරිත බුදු දහම අතෑරියොත් ඔබ ඔය විදියට හිතන්නේ නැතිව බුදු දහම වැඩක් නෑ කියලා හිතලා ඔබත් ඒ අය ගන්න තීරණයම ගන්නට යෙදෙන්නට පුළුවන්.  ඒ අය කරන වැඩපිලිවෙල විතරක් නවතා සිතින් බුදු දහම තුල සිටින අය නම් ඔබ ඒ ගැන දන්නෙත් නෑ.  සමහර වෙලාවට බුදු දහම වෙනුවෙන් සටන් වදින්නේ නෑ කියලා බැන වදින්නේ ඒ වගේ බුදු දහමින් උපරිම ඵල නෙලාගත්ත උත්තරීතර පිරිසකට වෙන්නටත් පුළුවන්.  අන්තගාමී වෙලා ඉන්නතාක් නිවැරදි පිරිසිදු බුදු දහම ඔබට අත්දැකගන්නට නොහැකි වෙනවා.  ඒ අන්තයන්ගෙන් මිදීමක් ලබන මනසට ඒ අන්තයන්ගෙන් ලබන මිදීමේ තරමටම නිවීමේ සුවය අත්දැකගන්නට හැකිවෙනවා.

ඉතින් මේ භයානකත්වය වටහාගෙන කටයුතු කලේ නැතිනම් අමාරුවේ වැටෙන්නේ ඔබමයි.  ඉතින් භාණ්ඩයක් ගත්තත් අනුකරණ කොහොමත් වැඩියිනේ.  නියම ප්‍රමිතිය සහිත දේ බොහෝම සීමිතයි.  ඉතින් ප්‍රඥාවන්තයා ඒ සීමිත ප්‍රමිතියෙන් යුක්ත දේ කොහොම හරි හොයාගන්නවා.  අන්න ඒ නිසාම බුදු හිමියන් විසින් මාගේ ධර්මය ප්‍රඥාවන්තයින් වෙත පමණයි කියලා පෙන්වා දී තිබෙනවා.  එහෙම නැතිවුණොත් වෙන්නේ හැමදාම බුදු දහම කියලා අනුකරණ වලට රැවෙටෙමින් සිටින්නටයි.  ඉතින් බුද්ධිමත්ව ප්‍රඥාවන්තව කටයුතු කරගන්නට තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන්ම ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා