අනතුර හඳුනාගනිත්වා!!!

පෙබරවාරි 2017 කතු වැකිය

අනතුර හඳුනාගනිත්වා!!!

සටහනේ අන්තර්ගතය

බොහෝ පිරිසක් ධර්මය යැයි ඇසුරු කරන්නේ ධර්මය යැයි හඳුනාගෙන සිටින්නේ ධර්ම ප්‍රතිරූපකයන් මිස පිරිසිදු ධර්මය නොවන බව බොහෝ විට දැකගන්නට හැකි කරුණකි... රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ පසුපස දුවන ඒ කෙලෙස් බරිත හිත් තම තම නැණ පමණින් විමසා අනතුර හඳුනාගනිත්වා!!!

පෙනෙන රූප, ඇහෙන ශබ්ද, දැනෙන ගන්ධ, රස, ස්පර්ශ, මේ සැම හමුවේ වින්දනය ලබන තම තමන්ගේ කෙලෙස් කහටින් කහට ගැන්වෙන සිත හඳුනා නොගෙන... ඒ වෙනුවෙන් කාලය වැය නොකර... රූපයක, වේදනාවක, සංඥාවක, සංකාරයක, විඤ්ඤාණයක අරුමය හඳුනා ගන්නට කාලය වැය නොකර... විජ්ජාව නොදැක අවිජ්ජාවේම වැලලී යන කෙලෙස් බරිත තම හිත හඳුනා නොගෙන... බාහිර වූ ශක්තීන්ගෙන්... නොපෙනෙන අමනුස්සයින්ගෙන්... මියගිය රජවරුන්ගෙන්... ධර්මයක් සොයන නිවනක් පතන අරුම පුදුම දහම් සොයන්නාහට තෙරුවණ මඟ හැරෙන්නේ... පෙර නොඇසූ විරූ දහම මඟ හැරෙන්නේ... මැණික නොදකින අන්ධයෙකු සේමයි... ඇස් තිබුණද මැණිකක් හඳුනාගන්නට ඥානයක් නොමැති අඥානයෙකු සේමයි!

විටෙක අමනුස්සයෝ පසුපස දුවන...

විටෙක යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයින් පසුපස දුවන...

විටෙක දෙවි දේවතාවුන් පසුපස දුවන...

විටෙක අතීතයේ වැළලීගිය රජවරුන් පසුපස දුවන...

විටෙක ගහක ගලක සැඟව ගිය අතීතයක් පසුපස දුවන...

විටෙක විශ්වයේ විහිදී ඇති ශක්තීන් පසුපස දුවන...

විටෙක තමන්ගෙන්ම නැඟෙන ආලෝකයන් පසුපස දුවන...

විටෙක නොපෙනෙන ලොවෙන් ඇසුන ශබ්දයක් පසුපස දුවන...

විටෙක මාරයා හෝ මාර පාක්ෂිකයක් පසුපස දුවන...

අහෝ කෙලෙස් බරිත හිත...

ධර්මය යැයි කියා මොනවද මේ සොයන්නේ?

කුමක් පසුපසද මේ දිව යන්නේ? 

පෙර නොඇසූවිරූ අපුරු දහම තුල...

දැකීම් මාත්‍රය, ඇසීම් මාත්‍රය, දැනීම් මාත්‍රය, විඳීම් මාත්‍රය

සොයනවා වෙනුවට...

අහෝ කෙලෙස් බරිත හිත...

ධර්මය යැයි කියා මොනවද මේ සොයන්නේ?

රූප පසුපස... ශබ්ද පසුපස... දැනීමක් විඳීමක් පසුපස...

දුවමින් හති දම දමා තවත් මේ මොනවද සොයන්නේ?

නැතිද විඩාවක් දැනෙන්නේ?

අප බොදුනුවන් වේ යැයි පවසමින්...

බොදුනු වැඩදෝ මේ කරන්නේ?

විටෙක දැහැනකට වශී වී...

විටෙක එහි සුවයට වශී වී...

විටෙක එහි දැනීමකට වශී වී...

අහෝ කෙලෙස් බරිත හිත...

කුමන නිවනක්දෝ මේ සොයන්නේ...

ධර්මය යැයි කියා මොනවද මේ සොයන්නේ?

කෙලෙස් විනිවිද දැකගන්න...

සැබෑ දහම කුමක්දැයි විමසන්න...

දහම් ප්‍රතිරූපක හමුවේ වශීවන කෙලෙස් හිත දැන...

අති දුලභව ලත් මිනිස් දිවියෙන් නිසි ඵල නෙලා ගන්නට...

අහෝ! දැන්වත් අප්‍රමාදීවන්න!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා