ගොම කුරුමිණියාගේ සුභ වසර!

ජනවාරි 2024 කතු වැකිය

ගොම කුරුමිණියාගේ සුභ වසර!

සටහනේ අන්තර්ගතය

ඉතින්, කොහොමද? අවුරුදු ජයයි ද? අලුත් අවුරුද්දේ බලාපොරොත්තු ගොඩයි ද? මේ අවුරුද්දේ ඔබ ජරාවට පත් වෙමින් පවතින බව... රෝග ආදියෙන් පෙලෙන බව... මරණය කරා ලං වෙන බව... සිහිපත් වෙනවද? “මොනවා කියනව ද මන්දා! අවුරුද්දේ මුල අසුභ කතා කියන්නේ පිස්සු ද මන්දා නේද?

ඉතින්, තවමත් අමු අමුවේ දැක ගන්නට හැකි යථාර්ථය පවා අසුභයක් සේ දැනෙනවා නම්... ඒ යථාර්ථය ගැන සිහියෙන් කටයුතු කරන්නට තවමත් ඔය හිත අදිමදි කරනවා නම්... ඔබට ඔබ ගැන හිතන්න දේ බොහෝමයි!  ඉතින්, මේ අසුභයේ සුභ සංඥාව පහල වන... සුභ යැයි සිතූ දේහි අසුභය හඳුනා ගන්නට හැකි ප්‍රඥාවන්තව ගත කරන වසරකට මෙත් සිතින් සෙත් ආශීර්වාද මෙසේ එකතු කරමි!!!

ඉතින් මේ අවුරුද්දෙත් බලන්න මෙහෙම ද කරන්න ඉන්නේ කියලා!

පෙර පිනට ලැබූ නිධානයක් සේ...
මට ම පමණක් හිමි වූවක් සේ...
පොර කා වෙහෙස වී...
මහත් වූ වෑයමකින්...
දිවා රෑ නො බලා රැක ගන්නට...
සුදුසු වූ... නිසි වූ... නිච්ච වශයෙන් ලැබූ...
සුව වූ... සාර වූ... සුභයක්ම ගෙන දෙන...
මගේ මුතු ඇටය...
ඔබ නිසාම උපත ලදිමි...
ඔබ නිසාම ජීවත් වෙමි...
ඔබ නිසාම විනාශ වෙමි...
ඔබ ම මා ද විය...
මා ද ඔබ ම විය...
මා තුල ඔබ ද විය...
ඔබ තුල මා ද විය...
අහෝ සාර වූ අසූචි පිඬ!
කෙලෙස නම් වෙන් වෙමු ද? 

පෙර අවුරුදු ගණන් එකතු කල අසූචි පිඬ කෝ?  ඒවාට ම යට වෙලා මැරී ගිය ගොම කුරුමිණියන් කෝ?  මේ අවුරුද්දත් එහෙම ම ගත කරන්න ද කල්පනාව?

ඉතින්, කොපමණ බණ ඇහුවත් තවමත් අසාර වූ වැඩපිළිවෙල තුල සාරත්වයක් දකිනවා නම්... හරයක් හමු වෙනවා නම්... සුවයක් දැනෙනවා නම්... මේ බුද්ධ ශාසනයත් නොදැනීම ඉවර වෙනවා මිස ලැබෙන ඵලයක් නම් නැති වේවි! 

හැමදාම බණ එකතු කරමින් දාර්ශනික වදන් තෙපලමින් ගොම කුරුමිණියන් සේ එය ද තමන් පෙරලා ගෙන රැක ගෙන යන අසූචි බෝලයට ම එකතු කර නො ගෙන, මේ අනාථ වූ සසරෙන් මිදෙන නිවන් මඟ කළ එළි කර ගන්නට ගත හැකි උපකාරයක් වේ නම් ඒ අංශු මාත්‍ර හෝ උපකාරය අපගේ මේ වෑයමෙන් ලැබේවා!  අතිශයින්ම අප්‍රමාදීව නිවී සැනසෙන්නට කැමැත්තෝ උදෙසා පමණමයි!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා