නොදකින තුන් බිය
අගෝස්තු 2024 කතු වැකිය
සටහනේ අන්තර්ගතය
සත්‍ය ගවේෂණයක් නැති... විමුක්තියක් සොයන්නට වෙහෙස වන්නට සිත් පහල නොවන බහුතරයක් පෘතග්ජන පුද්ගලයින් “ඇත්ත“ කියලා බොහෝ විට හිතා ගෙන ඉන්නේ තමන්ට පෙනෙන - ඇහෙන - දැනෙන - විඳින සීමාවේ එකවර හසු කර ගන්නට හැකි තත්වයන් තමයි. ඉතින්, මේ වගේ සීමා සහිත දැක්මක් ඇති, “ඇත්ත“ ලෙසින් සීමා සහිත වූ දත්ත මත යැපෙන පුද්ගලයාට නොයෙක් ආකාරයෙන් “බිය“ උපදිනවා. ඒ කියන්නේ එක, එක ජාතියේ “භය“ වර්ග තියෙනවා.
මෙන්න මේ බිය වර්ග කිහිපයක් උපමා කර ගනිමින් දිනක් අපගේ සම්මා සම්බුදු පිය රජුන් හරි ලස්සන ධර්ම කාරණයක් ඉස්මතු කරනවා. තමන්ගේ ජීවිතය දිහා ගැඹුරින් දැක්මක් ඇති කර ගන්නට කැමති නැණවතුන්ට මේ දහම් කොටස තුලින් ගත හැකි බොහෝ දේ තිබේවි!
පෘතග්ජන පුද්ගලයා හට විවිධාකාර බන්ධන තියෙනවානේ. ඒ අතරින් දෙමව්පිය දූ දරු සම්බන්ධය කියන්නේ ඉතාමත් තද බන්ධනයක්. ඒ අතරිනුත් අම්මා කෙනෙකුට දරුවෙක් සමඟ ඇති බැඳීම ගැන අපේ සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේ ඉතින්, නිතරම පාහේ උදාහරණ උපමා වශයෙන් දක්වමින් ගැඹුරු වූ ධර්මය පහදා දෙනවා. මොකද මේ ලෝකයේ අම්මා කෙනෙක් සහ දරුවෙක් අතර ඇති වන බන්ධනය ඉතාමත් ගැඹුරු වගේම දරුණු බන්ධනයක්. තමන්ගේ කුස තුල මාස ගණනක් දරා ගෙන තමන්ගේම කොටසක් බවට පත් කර ගනිමින්... බිහි කරන විට අධික වූ දුකක් දරා ගෙන ක්ෂණයකින් ඒ සියලු දුක් දරුවා වෙනුවෙන් අමතක කර දමමින්... තමන්ගේ රුධිරය හෙවත් තමන්ගේ ලේ මව් කිරි කියලා අපි හඳුන්වන ආහාරයක් ලෙසින් පරිවර්තනය කර ලබා දෙන්නට තරම් ඒ බන්ධනය ඉතාමත් ශක්තිමත්. සසර දුකින් එතෙර වෙන්නට අවශ්‍ය වන විට මව් පාර්ශවයට සේම දරුවන්ගේ පාර්ශවයටත් ඉතින් ලොකුම බාධාවක් වන දරුණුතම බන්ධනයත් මේ බන්ධනය ම තමයි. ඒ නිසාම තමයි අපගේ අමා මෑණියන් වහන්සේ... සම්මා සම්බුදු පිය රජුන්... මේ ඒ මවක් සහ දරුවෙක් අතර ඇති බන්ධනය නිතරම පාහේ උපමාවට ගනිමින් ඒ තුලින් ම සංසාර දුක් කෙළවර කර ගැනීම පිණිස අවශ්‍ය කරන දහම් පෙන්වා දෙන්නට කටයුතු කර තිබෙන්නේ.
අන්න ඒ වගේ මවක් සහ දරුවෙක් අතර ඇති බන්ධනය මුල් කර ගත්ත දහම් කොටසක් තමයි මෙවර කතු වැකිය ඔස්සේ අප කෙටියෙන් විග්‍රහ කර ගන්නට උත්සාහ කරන්නේ. මවක් සහ දරුවෙක් අතර වූ බන්ධනය ඉතාමත් තදින් ම දැනෙන බහුතරයක් වූ පෘතග්ජන පිරිස තුල ඇති වන බිය වර්ග තුනක් ගැන අපගේ සම්මා සම්බුදු පිය රජුන් පෙන්වා දෙනවා.
එකක් තමයි ලෝකයේ ගිනි ඇති වන කාලයට, ඒ කියන්නේ හිතන්නකෝ... ලැව් ගිනි වගේ ගම් නියම්ගම්, නගර ආදිය සියල්ල දවන ගින්නක් ඇති වන අවස්ථාවක් කියලා... එහෙමත් නැතිනම් වෙනත් කුමන හෝ ආකාරයකින් මහා ගින්නක් ඇති වන අවස්ථාවක් කියලා... අන්න ඒ වගේ අවස්ථාවට මව් වරුන්ට තමන්ගේ දරුවා සොයා ගන්න බැරි වෙනවා... දරුවාට තමන්ගේ අම්මව සොයා ගන්න බැරි වෙනවා... මේ ආකාරයට ගින්දර නිසා මවකට දරුවෙක් සහ දරුවාට මව අහිමි වෙනවා.
ඒ වගේම තමයි මහා ඝන කළු වලාකුළු එකතු වෙලා පරිසරයම අඳුරු වෙලා කුණාටු සහිත කාලගුණික තත්ව ඇති වෙලා ගං වතුර තත්ව ඇති වෙන වෙලාවටත් මවකට දරුවා අහිමි වීම... දරුවාට මව අහිමි වීමේ බිය ඇතිවෙනවා.
ඉතින්, ඒ වගේම තමයි සොර බිය ඇති වන වෙලාවට... සොරුන් ගම් දනව් සැරි සරන විටත් මවකට දරුවා අහිමි වීම... දරුවාට මව අහිමි වීමේ බිය ඇතිවෙනවා.
ඒ වගේම තමයි මේ ගිනි බිය නිසාම මව දරුවාටත්... දරුවාට මවත් හිමි වෙන අවස්ථාත් තියෙනවා. ඒ අය එකතු වෙනවා. ඒ වගේම තමයි මේ වගේ තත්වයන් විසින්ම මව සහ දරුවා අතර බන්ධනය වැඩි වීමත් වෙනවා. ඒ වගේම තමයි මේ සොර බිය තත්වය විසින්ම මව සහ දරුවා එකට එකතුත් කරනවා. මේ කාරණය වැටහෙනවද බලන්න... මේ වගේ දරුණු යැයි ලෝක සම්මත අවස්ථා වල දී අම්මා කෙනෙකුට දරුවෙක් එක්ක තරහා වෙලා හිටියත්... ඉතින් තමන්ගේ දරුවා ව තමයි මුලින්ම මතක් වෙන්නේ... ඒ වගේම තමයි දරුවන්ටත්... ඒ කියන්නේ යම්, යම් කාරණා මත මවක් සහ දරුවෙක් අතර ගැටීමක්... තරහා වීමක්... ඈත් වීමක් තිබුණත් මේ වගේ බිය ඇති වන අවස්ථා වල දී ඒ සියල්ල දෙවැනි වෙලා ඒ බන්ධනය ශක්තිමත් වෙනවා. අන්න ඒ වගේ.
ඉතින්, මේ ධර්ම කොටසේ වැදගත්ම කාරණය තමයි සර්වඥ වූ සියල්ල තතු සේ දන්නා අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙතැන කියන්නේ මේ වගේ ගින්දර... කුණාටු... සොර සතුරු ආක්‍රමණ මහා බියක් ලෙසින් දකින්නේ තවමත් අසා ගත යුතු “ඇත්ත“ හරි හැටි අසා නොගත්, තවමත් අර්ථවත් දේ හරි හැටි අවබෝධ කර නොගත් අනර්ථකාරී දේම අර්ථවත් දේ ලෙසින් විශ්වාස කරන ඒ ඔස්සේ ම හිතන පතන අශ්‍රැතවත් පෘතග්ජනයා ගේ මානසිකත්වයට තමයි මේ කාරණා මේ විදියට දැනෙන්නේ. ඒ කියන්නේ ගින්දර... කුණාටු සැඩ සුළං... සොර සතුරු කරදර... අමනුස්ස කරදර ආදී තත්වයන් තුල දී “බිය“ වෙනවා. ඒ විතරක් නෙවේ නේ ඒ වගේ තත්වයන් ඇති වන විට මවකට දරුවන් අහිමි වීමේ බිය වගේම මවකට දරුවන් ලැබීමකුත් තියෙනවා කියලා මේ පෘතග්ජන මානසිකත්වයට විශ්වාසයක් ඇති වෙනවානේ. මේ තමයි පෘතග්ජන මානසිකත්වයට ඇති එක, එක ජාතියේ බිය වර්ග... ඒ අයගේ විශ්වාසයන්. ඒ කියන්නේ සරලවම මේ වගේ අවස්ථා වල දී මවකට දරුවා අහිමි වෙන්නත් පුළුවන්, නො වෙන්නත් පුළුවන්. “අනිවාර්යයෙන්ම “අහිමි“ වෙනවා කියලා දෙයක් වෙන්නේ නෑ!“ කියන කාරණය තියෙනවානේ නේද? ඔබටත් එහෙම දැනෙනවද බලන්න... ඒ නිසා පෘතග්ජන මානසිකත්වයට මේ කියන එක, එක ජාතියේ බිය නැති කර ගන්න ඒ කියන්නේ ගින්නෙන්... ස්වාභාවික තත්වයන්ගෙන්... සොර සතුරු කරදර ආදියෙන් ආරක්ෂා වෙලා ඉන්න... රැකෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් යුතුව... මවට දරුවා අහිමි නොවන අයුරින්... දරුවාට මව අහිමි නොවන අයුරින් පිළියම් කර ගන්නවා නේ නේද?
අන්න ඒ නිසා, සර්වඥ වූ සම්මා සම්බුදු පිය රජුන් පෙන්වා දෙනවා මේ වගේ හිතන පතන විශ්වාසයන් ඇති, මේ වගේ මේ වගේ කලින් කලට ඇති විය හැකි එක, එක ජාතියේ බිය ගැන මේ විදියට කතා කරන, මේ විදියට විශ්වාස කරන, මේ ආකාරයෙන් දකින අශ්‍රැතවත් පෘතග්ජනයා විසින් දකින්නට උත්සාහ නොකරන ඇත්තටම මව සහ දරුවන් වෙන් කරන බිය විය යුතු බිය තුනක් තියෙනවා කියලා.
ඒ මොනවද? ජරා භය, ව්‍යාධි භය, මරණ භය කියන භය තුන.
ජරාවට පත් වන... මහළු බවට පත් වෙන දරුවා දැක “අනේ මාව මහළු වුණාට කමක් නෑ... නමුත් මගේ දරුවා නම් ජරාවට මහළු බවට පත් නොවේවා“ කියලා අම්මා කිව්වත්... මහළු බවට පත් වෙන අම්මා දැක “අනේ මගේ අම්මා මහළු නොවේවා... ජරාවට පත් නොවේවා... ඒ වෙනුවට මාවම මහළු වෙන්න... ජරාවට පත් වෙන්න“ කියලා දරුවා කිව්වත්... කිසිම ඵලක් නෑ... මොකද ජරාවට පත් වීම මවටත් උරුමයි... දරුවාටත් උරුමයි!
රෝග ආබාධ වල ගොදුරු වන තමන්ගේ දරුවා දැක මව විසින් “අනේ සියලු රෝග මට වේවා... මගේ දරුවාට නම් රෝගයක් නොවේවා නීරෝගී වේවා“ කිව්වාට හෝ රෝගාබාධ වල ගොදුරු වන තමන්ගේ මව දැක දරුවා විසින් “අනේ මගේ අම්මාට රෝගයක් නොවේවා... නීරෝගී වේවා.. හැදෙන ලෙඩක් මට ම වේවා“ කිව්වාට හෝ කිසිම ඵලක් නෑ... රෝගී බව... ව්‍යාධිය කියන දේ මවටත් උරුමයි... දරුවාටත් උරුමයි!
“මගේ දරුවා නම් මැරෙන්න එපා... ඒ වෙනුවට මාව මැරෙන්න ඕනෑ...“ කියලා හෝ “මගේ අම්මා නම් මැරෙන්න එපා... ඒ වෙනුවට මාව මැරෙන්න...“ කියලා හෝ මව දරුවා කිව්වා කියලා මරණය ඉක්මවන්නට මවට හෝ දරුවාට කිසිසේත්ම නොහැකියි!
පෘතග්ජන මානසිකත්වය මේ ගැන කතා කරන්න... හිතන්නවත් කැමති නෑ... ඒ අය කැමති “සියක් ආයු ලැබ... මගෙත් ආයු ගෙන... මටත් වඩා කල් ඔබ ජීවත් වේවා...“ කියලා පැතුම් පතන්නටයි. “මට වේවා... මවට නම් නොවේවා... මට වේවා මගේ දරුවාට නම් නොවේවා“ කියලා පැතුම් තුලින් ලැබිය හැකි... ජය ගත හැකි කාරණා තුනක් නෙවේ මේ ජරා බිය, ව්‍යාධි බිය, මරණ බිය කියලා කියන්නේ. ගින්දර... ස්වාභාවික විපත්.... සොර සතුරු ආක්‍රමණ ආදිය තුල ඇති වන බිය සකස් වෙන්නෙත් මේ බිය තුන පදනම් වෙලාමයි. නමුත් පෘතග්ජන මානසිකත්වයට මේ කියන කාරණා 3 සිහිපත් කරන්නටවත් කැමති කාරණා නොවේ. මේ ජරාවට පත්වීම, ව්‍යාධියට පත් වීම, මරණය කියන කාරණා දරා ගෙන ඉන්න නිසාම නේ මෙච්චර ආරක්ෂා වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
නමුත් බහුතරයක් පිරිස ඒ ගැන කතා කරන්නට කැමති නෑ... ඒ කාරණා තුන උපක්‍රමශීලීව ජය ගන්නට හැකියි කියලා තමයි විශ්වාස කරන්නේ. ප්‍රඥාවන්තව බලන්න... එය කල හැකි දෙයක් නෙවේ. ජය ගන්න පුළුවන්! එකම එක ක්‍රමයයි තියෙන්නේ... ඒ තමයි බුදු පියාණන් වහන්සේ විසින්ම මෙතැන පෙන්වනවා මේ ඇත්තටම මවකට දරුවා අහිමි කරන... දරුවාට මව අහිමි කරන බිය වර්ග තුනෙන් මිදෙන්නට නම්... සඳහටම මේ බිය තුන ජය ගන්නට නම් එකම ක්‍රමයයි තියෙන්නේ... ඒ තමයි ඇත්තම ඇත්ත හෙවත් ආර්ය සත්‍යාවබෝධයෙන් විමුක්තිය පිණිස වූ මඟ අනුගමනය කිරීම! කියන කාරණය!
ඉතින්, මේ ඉතාමත් කෙටියෙන් පෙන්වා දුන් දහම් කොටස ගැබ් වන සම්පූර්ණ සූත්‍ර දේශනාව ඔබට ත්‍රිපිටකයේ - සූත්‍ර පිටකයේ - අංගුත්තර නිකායේ - තික නිපාතයේ - දුතිය පණ්ණාසකයේ - 2. මහා වග්ගයේ - 2. දුතිය සූත්‍රය (භය සූත්‍රය හෝ අමාතා පුත්තික භය සූත්‍රය) නමින් ඇසුරු කරන්නට පුළුවන්.
බුදු වදන විමසන්න... සත්‍ය ගවේෂණය කරන්න... පෘතග්ජන මානසිකත්වයෙන් මිදී ඇත්තටම ඇත්ත විමසන්න! බොරු දේවල් ඇත්ත කර ගෙන අන්ධ වෙලා මත් වෙලා පිස්සුවෙන් තාවකාලික ආරක්ෂාවක් පිණිස කටයුතු කර ගන්නෙ නැතිව සැබෑම විසඳුම ලබා ගන්නට උත්සාහවන්ත වෙන්න! ඔබ සැමට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!
පෙර පිටුවට
යාචක මානසිකත්වය
මීළඟ පිටුවට
නොවැරදුන දිවි පිදුම