තමන්ටම වල නොකපා ගැනීම පිණිස! (02 කොටස)

ඔක්තෝබර් 2017 කතු වැකිය

තමන්ටම වල නොකපා ගැනීම පිණිස! (02 කොටස)

සටහනේ අන්තර්ගතය

“ධර්මය හොඳයි තමයි ඒත් ඕවා අහලා මාර්ග ඵල ලබන්නට හැකිදැයි කියන එක ගැටලුවක්” මෙන්න මෙවැනි වැකි සුලභ වීගෙන යයි... මාර්ග ඵල ලබන්නට හේතු වාසනා ඇත්තවුන්ට ඒ දේ කරගැනීමට අනිවාර්යෙන්ම මාර්ගය සැකසී ඒවි... අනුන් වෙනුවෙන් යැයි තම සිතේ වංචනික ධර්මයන්ට හසුව තමන් අමාරුවේ දාගැනීමෙන් වැලකී සිටීමට තම තමන් ප්‍රඥාවන්ත වීම මෙකල කල යුතු දෙයකි... පසුගිය මස කතුවැකිය තුලින් සිතා බලන්නට විමසා බැලිය යුතු කරුණු එකතුවේ ඉතිරි කොටස මෙසේ ලියා දක්වමි!

බුද්ධ ශාසනය කෙමෙන් කෙමෙන් අවසන්වී යයි... ඒ අතර මේ බුද්ධ ශාසනයෙන් ඵල ලබාගන්නට හිමිකම් ඇති හේතු වාසනා ඇති පින්වතෙක් වන්නට ඔබටද අවස්ථාව තියෙනවා විය හැකියි... ඒත් වැඩකට නැති පද අතර අතරමංව... වැඩකට නැති සම්මතයන් අතර අතරමංව... වැඩකට නැති පොත පත තුල අතරමංව මේ කරගන්නා විනාශය වැටහෙත්වා!  අති දුර්ලභව ලැබෙන්නාවූ අවස්ථාව  මඟ හරවා ගැනීමට තරම් අනුවණ වෙනවා දැයි තම තමන්ගෙන්ම විමසත්වා!!!

පොත පතින් ධර්මාවබෝධයට පත්වන්නට හැකි නම් බුදු හිමියන් මේ කළණ වැට නොකඩන්න අවසාන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මේ ලෝකයෙන් නැතිවන දිනයට මේ ශාසනයද අවසන් වෙන බව පෙන්වා දී ඇති කරුණ සුළු පටු සේ නොදකින්න... කළ්‍යණ මිත්‍රත්වය මතම මේ බුද්ධ ශාසනය 100%ක් පවතින බව පෙන්වා දුන්නේ මේ වටිනාකම හඳුනාගත යුතු නිසාමයි...

මෙකල පොත පතකට දෙන වටිනාකමවත් ජීවත්ව සිටින තමන් අතරම සිටින කළණ මිතුරන්ට නොදෙන ආකාරය දුටු විට සැබැවින්ම පෙනෙන්නේ අවසාන වී යන බුද්ධ ශාසනයේ පෙර නිමිතිමය... පොතට නොගැලපේ නම් රහතුන්වහන්සේ කෙනෙක් වුවත් කම් නැත අපට එපා ඒ බණ යැයි පවසන්නට තරම් නුවණ වැසී යන ආකාරය සැබැවින්ම බියකරුය...

ඉතින් දහමක් නොදන්නා පෘතග්ජන පිරිස පමණක් නොවේ මේ අඩුපාඩුව සෝතාපන්න ආර්ය ශ්‍රවකයන්ව සිටින ඇත්තන්ගෙන් පවා විය හැකියි... තමන්ට වැටහෙන පමණින් අන් අයගේ ආර්ය භාවයන් නිගමනය කරමින් මහා අපවාදයන්ට කරගසා නොගෙන අප්‍රමාදීව අවසන් කරගත හැකි ගමන ප්‍රමාද කර නොගෙන අනුන් ගැන නොව තමන් ගැන සොයන්නටම විදසුන් වඩමින් වහ වහා නිවන් සුවයෙන්ම සුවපත් වන්නට තෙරුවණේ ආශිර්වාදය රැකවරණය එවන් වූ අරි උතුමන්ටද ලැබේවා!

තමන්ට අවබෝධ වූවා යැයි සිතෙනා දහම... තමන් දෙසනා දහම... තමන් තුල වේදැයි ප්‍රායෝගිකව ඒ දහම තමන් තුල ක්‍රියාත්මක වේ දැයි නිති සිහියෙන් නුවණින් විරියෙන් යුතුව විමසා බලත්වා!!! 

මාරයාට හෝ වේවා මාර පාර්ශ්වික බලවේගයන්ට හෝ වේවා අමනුශ්‍යයින්ට හෝ වේවා අසුරයන්ට හෝ වේවා දොස් නඟමින් මේ දහම යට ගහන්නට ඔවුන් කරනා වැඩ යැයි අනුන්ට වරද පටවන මොහොතක් පාසා තමන් තුල ඒ දහම් නැඟී තමන් ඒ පිරිස සේ ක්‍රියාත්මක වී ඇති අයුරු යෝනිසෝ මනසිකාරයෙන්ම දැකගනිත්වා!   දහම අවබෝධ වූ සත පියාගේ භූමියේ රැඳෙත්වා!!! තවමත් මඟ සොයන සත පියාගේ භූමියට පත්වෙත්වා!!!

තවමත් ප්‍රමාද නැත... අති දුලභ සත්ධර්මය වචනයකින් පවා මතු කර දෙන... ඒ වදනින් ඒ කරුණින සාධුනාද දිය හැකි උතුමන් මේ වන විට අප අතරම ඇත... ඒ ඇසුරේ වැදගත්කම වටහාගන්නට ප්‍රඥාවම පහල වේවා! තෙරුවණේ ආශිර්වාදය රැකවරණය නොඅඩුව ලැබේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා