සිතේ කැළල් පරීක්ෂණය

අගෝස්තු 2021 කතු වැකිය

සිතේ කැළල් පරීක්ෂණය

සටහනේ අන්තර්ගතය

කණ්ඩියකින් මූණ බලලා මූණේ පිරිසිදු නිකැළැල් බව දැකලා සතුටු වෙනවා වගේ සිත ගැන නිරන්තරයෙන් පරීක්ෂා කරලා කුසලතාවය ගැන සතුටු විය යුතුයි කියලා අපේ උතුම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් දුන්න අවවාදය ගැන අපි පසුගිය කතුවැකිය තුලින් විග්‍රහ කර ගත්තා මතකයි නේ නේද?

පිරිහෙන දහම නො දරන පුද්ගලයෙක් කියන්නේ කව්ද?  කැළල් වලින්... කිලිටි වලින් තොර වූ සිතක් කියන්නේ මොකක්ද?  උතුම් සත්ධර්මය දරනවා කියන්නේ මොකක්ද?  සතුටු විය හැකි කුසලතාවය කුමක් ද?  අන්න ඒ දේවල් දැන අවබෝධ කර ගන්නට හැකි වෙන්නේ මෙන්න මේ පරීක්ෂණය ඔබ තුල නිරන්තරයෙන් සිදු වුනොත් පමණයි!

  1. මම දැඩි ලෝභයෙන් ආශාවෙන් තොර වූ සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම් අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?

  2. මම දුකට පත්... අසහනයට පත්... ගැටීමට පත්... ආදී විපතට පත් වූ ව්‍යාපාදයෙන් තොර වූ සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම් අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?

  3. ධර්මයේ හැසිරීමට අලස බවින් මැලි බවින් යුතු දුර්වල බවින් තොර සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?

  4. උඩඟු... උද්ධච්ච... බවින් තොර සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?

  5. බුද්ධා දී තෙරුවන කෙරෙහි වූ සැක සංකා වෙන් තොර සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?

  6. කිපෙන සුළු සිතින් තොර ව තොර සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?

  7. කිලිටි කෙලෙස් වලින් තොර සිතින් යුතුව බහුලව වාසය කරනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?

  8. අධ්‍යාත්මයෙහි දහම් ප්‍රමෝදය ලබනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?

  9. අධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබනවා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?

  10. අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව ලබන වා ද? මට ඒ දහම අවබෝධයි ද, අවබෝධ වී නැත්ද?

ලෞකික වශයෙන් වේවා ලෝකෝත්තර වශයෙන් හෝ වේවා පිරිහීමට පත් නොවී අභිවෘද්ධිය ම ලබමින් සසර සුවපත් වන්නට මෙන්න මේ පරීක්ෂණය ඔබ තුල නිරන්තරයෙන් සිදු විය යුතු මයි.

මේ පරීක්ෂණයේ දී ඔබට මේ ඉහත දහම් ඔබ තුල නැති බව දැනුනොත්... එකක් හෝ නැති බව දැනුනොත් ඔබ ඉතාමත් ඕනෑ කමින්... මහා උත්සාහයක් විරියක් දරලා සතියෙන් සිහියෙන් යුතුව අප්‍රමාදී ව පසුබැසීමකින් තොර ව  ඒ අඩුපාඩු සකසා ගන්නට කැප විය යුතුයි කියලා පෙන්වා දෙනවා. 

හරියට තමන්ගේ හිස හෝ වේවා ඇඳ ගෙන ඉන්න ඇඳුම් හෝ වේවා ගිනි ගත්තොත් ඒ ගින්න හැකි ඉක්මනින් නිවන්නට ඉතාමත් වෙහෙස වෙලා උනන්දුවෙන් කටයුතු කරනවා හා සමානව කැප විය යුතුයි කියලා පෙන්නලා දෙනවා. අන්න එවිට නම් ඔබට නිවන බොහෝ දුර වෙන්නෙ නැති බව අවබෝධ කර ගත යුතුයි!

අනුන්ගේ දේවල් පරීක්ෂා කරමින් කාලය නාස්ති කර ගන්නේ නැතිව තමන්ගේ පරීක්ෂණය සිදු කර ගන්න... මූණ... ඇඟ පිරිසිදුව ලස්සනට තියා ගන්න කැප වෙනවා වගේම සිත පිරිසිදුව ලස්සනට තියා ගන්න කැප වෙන්න!

ඔබ වෙහෙස වෙලා ලස්සන කර ගත්ත කය තාවකාලිකයි... මම කියන්න ඕන නෑනේ ඒ ගැන නේද?  එහෙත් ලස්සන කර ගත්ත සිතක් ඔබට සසර සුවපත් භාවය ම ගෙන දෙනවා!  ඒ ගැන නිති සිහියෙන් කටයුතු කර ගන්නට කැප වෙන්න!  ඔබට තෙරුවන් ම සරණයි!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා