කව්ද හොඳම මෝඩයා?

අප්‍රේල් 2024 කතු වැකිය

කව්ද හොඳම මෝඩයා?

සටහනේ අන්තර්ගතය

මේ කාලය වන විට ඕනෑම මාතෘකාවක් ඔස්සේ තර්ක වාද විවාද නම් ඉතාමත් බහුල බවක් දැක ගන්නට තියෙනවානේ. ඉතින්, මේ ක්‍රම වේදයෙන් තමයි බහුතරයක් පිරිස බුදු හිමියන්ගේ ධර්මය පවා විමසන්නට පුරුදු වෙලා තියෙන්නේ. එය එසේ කල හැකි දෙයක් නොවේ කියලා කොතරම් පෙන්වා දෙන්නට උත්සාහ කලත් තර්ක වාදයට නැඹුරු හිතට මේ දේවල් වල ගැඹුර වටහා ගන්නට තරමක් අපහසුයි. ඉතින්, මෙය අද ඊයේ සිදු වන දෙයක් නෙවේ. සම්මා සම්බුදු රඳුන් ජීවමාන අවදියේත් සිදු වී ඇති බව ත්‍රිපිටක ධර්මයට අනුව දැක ගන්නට හැකියි.

එක්තරා අවස්ථාවක දී අපගේ සම්මා සම්බුදු පිය රජුන් මහා කාශ්‍යප හිමියන්ට පවසනවා භික්ෂූන් හට අවවාද කරන්න... දැහැමි කතා කරන්න කියලා.  එතකොට අපගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පවසනවා, දැන් භික්ෂූන් අකීකරුයි.  අකීකරු කම් කරනවා... ඉවසීමක් නෑ... ඒ ගැන පෙන්වා දුන් විටත් ඒ අනුශාසනාව නුහුරට ගන්නවා කියලා.  ඉතින්, ඒ විතරක් නෙවේ උන්වහන්සේ පවසනවා ආනන්ද හිමියන්ගේ සහ අනුරුද්ධ හිමියන්ගේ ඇසුරේ ඉන්න භික්ෂූන් වහන්සේලා දෙනම ක් උගත්කමින් කව්ද වඩා ඉහල කියමින්, කව්ද ධර්ම කතාව වැඩියෙන් කියන්නේ, කව්ද ලස්සනට ම කියන්නේ... කව්ද වැඩි වෙලාවක් ධර්ම කතා කරන්නේ... මෙන්න මේ විදියට තර්ක වාද කර ගන්නවාත් දැක්ක කියලා.  ත්‍රිපිටකයේ - සූත්‍ර පිටකයේ - සංයුත්ත නිකායේ - නිදාන වග්ගයේ - කස්සප සංයුක්තයේ - 1. කස්සප වග්ගයේ - 06. ඔවාද සුත්‍රය

ඉතින්, අපගේ සම්මා සම්බුදු පිය රජුන් මේ හිමිවරුන් දෙදෙනා ව ඒ වෙලාවේ ම කැඳවනවා.  කැඳවලා “ඇත්ත ද මේ කව්ද ධර්ම කතාව වැඩියෙන් කියන්නේ, කව්ද ලස්සනට ම කියන්නේ... කව්ද වැඩි වෙලාවක් ධර්ම කතා කරන්නේ... මෙන්න මේ විදියට තර්ක වාද කර ගන්නවා කියලා කියන්නේ?“ කියලා අහනවා.  උන්වහන්සේලාත් ඉතින් අවංකවම උත්තර දෙනවා.  එහෙමයි කියලා. 
ඉතින්, අපේ බුදු රජුන් උන්වහන්සේලාගෙන් අහනවා “කවරෙක් ඉතා වැඩියෙන් දහම් කතා කරයි ද... කව්ද ලස්සනට ම බණ කියන්නේ... කව්ද දිගු වේලාවක් බණ කියන්නේ... මේ විදියට වැඩි උගත්කමින් යුතු කෙනා කව්ද කියලා කතා බහ කරන්න කියලා මම ධර්ම දේශනාවක් කරලා තියෙනවා ද? කියලා.  උන්වහන්සේලා කියනවා ඉතින්, එහෙම නම් දේශනාවක් අහලා නෑ කියලා. 
එතකොට ඉතින්, අපේ සම්මා සම්බුදු පිය රජුන් පවසනවා... “එහෙනම් හිස් පුරුෂයනි, මම ඒ වගේ දේශනාවක් කරලා නැත්නම්, මේ මනා සේ අඩුවක් නැතිව පෙන්වා දී ඇති ධර්මයක් ඇති ශාසනයක පැවිදි වෙලා මේ වගේ “කව්ද වඩා හොඳ“ කියලා තර්ක වාද කර ගන්නේ මොකද? කියලා අහනවා. 
ඉතින්, ඒ හිමිවරුන් දෙදෙනා බුදු රඳුන් ඉදිරියේ වැඳ වැටී සමාව ගෙන, අපේ අනුවණකම... වරද අපි පිළිගන්නවා යැයි වරද, වරද සේ දැක සමාව ගන්නවා.  ඉතින්, අපේ සම්බුදු රඳුන් පවසනවා මේ ශාසනයේ යමෙක් වරද, වරද වශයෙන් දැක ඒ වරදට පිළියම් කර, මතු සංවරයට පැමිණෙන්නට අදිටන් කර ගැනීමත්, ඒ අනුව කටයුතු කිරීමත් මේ ආර්ය ශාසනයේ ඒ පුද්ගලයාගේ වැඩීමක් කියලා කියන්නට පුළුවන් කියලා.

ඉතින්, තර්ක වාද හරිම සුවයි තමයි.  විශේෂයෙන්ම ඔබ වඩාත් දැනුවත් නම් අනෙක් පාර්ශවය ඉක්මවා කතා කරමින් තමන්ගේ තර්කය ජය ගන්නට හැකි නම් එය වඩාත් සුවයි.  ඉතින්, මේ විදියට මේ වන විට ධර්මය පුරුදු පුහුණු කරන පිරිස අතරත්... ගිහි පැවිදි දෙපාර්ශව අතරත්... මේ වගේ තර්ක වාද වැඩි දුර ගිහින් මේ වන විට විවිධ නම් වලින් බෙදා ගෙන ඇති බුදු දහමේ ම කොටස් වන ථෙරවාද, මහායාන, වජ්‍රයාන ආදී බෙදීම් අතරත්... ආගම් අතරත්... දර්ශන අතරත්... මේ සෑම දෙයක් තුලම කව්ද වඩාත් හොඳ... කව්ද වඩාත් දැනුවත්... කව්ද වඩාත් අලංකාර අන්දමින් ප්‍රකාශ කරන්නේ... කව්ද වඩාත් උගත්... කව්ද වඩාත් දීර්ඝ වෙලාවක් බණ දහම් කියන්නේ... කව්ද වඩාත් හොඳින් ධර්මය පුහුණු කරන්නේ ආදී විවිධ කාරණා මුල් කර ගෙන තර්ක වාද ඇති කර ගන්නවා.  පෙන්වා දුන් විට මෙය වරදක් විදියට නම් දකින්නේ අතලොස්සක් වැනි පිරිසක් තමයි.  බහුතරයක් පිරිස මහා කාශ්‍යප හිමියන් පැවසූ පරිදි නුහුරට තමයි ගන්නේ.  මේ වගේ උතුම් සම්මා සම්බුදු ඔවදන් සිහිපත් කරනවාට වත් බහුතරයක් පිරිස කැමති නෑ!  ඒ වෙලාවටත් සම්බුදු ඔවදන සිහි කරන්නට අපට ඇති සුදුසුකම් අසමින් තර්ක වාදයට ම තමයි එන්නේ. 

ඉතින්, ඔබ නැණවත් නම්... ඔබට සම්බුදු රඳුන් දැනෙනවා නම්... ඔබට මේ උත්තම ශාසනයේ ගැඹුරු වූ මුල මැද අඟ කළණ දහම් තුල සැඟව ඇති මහා ගුණ කඳ දැනෙනවා නම් ඔබට තර්ක වාද කර, කර ඉන්නට අවශ්‍ය වෙන්නේ නෑ!  කුමක් වෙනුවෙන් තර්ක කරන්නද?  කුමක් රැක ගැනීම පිණිස තර්ක කරන්නද?

අපේ සීමා වූ දැනුම් පද්ධතියට හසු නොවන කාරණයක් තමයි “වරෙක යමක් රැක ගැනීම පිණිස කටයුතු කල අපි ම තවත් වරෙක ඒ දේම විනාශ කරන්නට පෙලඹෙන බව“  උදාහරණයකට දැන් බුදු දහම රැක ගන්නට වෙනත් ආගමක් දහමක් සමඟ තර්ක වාද කරන ඔබ නො දකින කාරණය තමයි පෙර ජීවිත වල ඔබ දැන් විනාශ කරන්නට පොර බඳින ඒ ආගම දහම ම රැක ගන්නට තර්ක වාද කරමින් බුදු දහම විනාශ කරන්නට වුවමනාවෙන් තර්ක වාද කල බව...“ මෙන්න මේ වගේ... තර්ක වාද කරන්නේ ම තමන් දන්නා සීමා සහිත වූ දැනුම් පද්ධතියකට කොටු වෙලාමයි.

යථාර්ථය නොදන්නා මෝහය මුල් කර ගෙන හැම දෙයක් ම සකස් වෙන මුලාවෙන් ම හට ගත් මුලාවෙන් ම පිරුණු ලෝකයක... "මේක තමයි හොඳම... අපි තමයි හොඳම... අපිට ඉහළින් කවුරුත් නෑ... මම තමයි හොඳම... මම තමයි ලොක්කා..." මේ ආකාරයෙන් තර්ක වාද විවාද කර ගැනීමේ අනුවණකම් වටහා ගන්නට හැකි උතුම් තථාගත ධර්මය තවමත් විද්‍යාමානයි!

“සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති - අථ නිබ්බින්දති දුක්ඛෙ එසා මග්ගො විසුද්ධියා“ යමෙක් සියලු දේ ආත්ම රහිත වූ හර සුන් බව නුවණින් දකිද්දී, දුකෙන් මිදෙන්නට හැකිවෙයි.  විශුද්ධිය පිණිස මගක් වේ නම් ඒ මේ මාර්ගයයි.

අවිද්‍යාව නිසාම හට ගන්නා... යථා ස්වභාවය නොදැනීම නිසාම හට ගන්නා... අවිද්‍යාවෙන්ම උපන් තර්ක වාද විවාද තේරුමක් නැති දෙයක්... හරයක් නැති... මම යැයි මගේ යැයි ගැනීමට සුදුසු නැති අනිසි වූ අනර්ථකාරී දෙයක් බව සියලු ලෝ සත හට වැටහේවා!!!

ගැඹුරු වූ සත්‍යය අවබෝධ කර ගැනීමට ඔය ජීවිත කැප කර ගන්නට අප්‍රමාදී වෙත්වා!!!  පොත පත, පරම්පරා ආදී සම්මත ලෝකය තුල සම්මත කර ගත් මුලාවෙන් පිරුණු ඇත්තක් අනුව යමින් තර්ක වාද විවාද කර ගනිමින් සැබෑම යථාර්ථය... විමුක්තිය ලැබිය හැකි සත්‍ය මඟ නොහැර ගනිත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා